විසිපස් වසරකට පසු අධ්‍යක්ෂණයට පිවිසෙන ජොනී ඩෙප්

Avatar Kavinu Weerakkody | August 29, 2022 80 Views 0 Likes 3 On 2 Ratings

80 Views 3 On 2 Ratings Rate it

හොලිවුඩ් නලු Johnny Deppගේ රංගන විශිෂ්ටත්වය ගැන සිනමා රසිකයින්ට අමුතුවෙන් හඳුන්වා දෙන්නට අවැසි නැහැ. 20වන සහ 21වන සියවසේ සිනමාවෙන් බිහිවුනු ප්‍රසිද්ධම රංගන ශිල්පියෙකු ලෙසට හැඳින්වෙන ඔහු ලෝක සිනමාවේ අද්විතීය නිර්මාණ ගණනාවකටම රංගනයෙන් දායක වුනා. තම සෑම සිනමාපටයකින්ම පාහේ විචාරක අවධානය මෙන්ම රසික ජනප්‍රියත්වයත් එක ලෙස හිමි කරගත් Johnny Depp, මේ වනවිට දශක 04කට අධික කාලයක් තිස්සේ සක්‍රීයව සිනමාවට සම්බන්ධ වී සිටිනවා.

2017-2018 කාල වකවානුව තෙක්ම කිසිදු බාධාවකින් තොරව රංගන කටයුතු කරගෙන යාමට ඔහුට හැකියාව ලැබුනත් එයින් පසු උද්ගත වූ පෞද්ගලික ආරවුල් කිහිපයක් නිසා Johnny Deppට මුහුණ දීමට සිදු වූයේ විශාල ප්‍රශ්න මාලාවකටයි. ජොනීගේ පෙර බිරිඳ වූ Amber Heard සහ ඔහු අතර සිදුවුනු පෞද්ගලික ආරවුල් දාමයක ප්‍රතිඵලයක් වශයෙන් Amber විසින් Johhny Deppට එරෙහිව නඩු මඟට පිවිසෙන්නට තීරණය කළා. අධිකරණයේ පිහිට පතමින් ඔහුට එරෙහිව දික්කසාද නඩුවක් ගොනු කළ ඇය Johhny Deppගේ පෞද්ගලික ජීවිතය ගැනත් ආන්දෝලාන්ත්මක ප්‍රකාශ කිහිපයක්ම මාධ්‍යයට පැවසුවා.
මෙම තත්වය මත, Walt Disney|Warner Bros. වැනි දැවැන්ත චිත්‍රපට ස්ටුඩියෝ ගණනාවක්ම ඔහුව සිය නිර්මාණවලට සම්බන්ධ කර ගැනීමෙන් වැළකුනු අතර ගිවිසුම්ගතව සිටි සිනමාපටවලින් පවා Deppව ඉවත් කළා. Pirates Of Caribbean චිත්‍රපට මාලාවේ ‘කැප්ටන් ජැක් ස්පැරෝ’… Fantastic Beasts චිත්‍රපට මාලාවේ ‘ග්‍රීන්වෝල්ඩ්’ වැනි චරිත Johnny Deppගේ රංගන ජීවිතයේ ප්‍රසිද්ධම භූමිකාවන් වුනත් වසරක් ඇතුළත ඔහුට ඒ සියල්ලම අහිමි වූවා.

ජොනී ඩෙප් සහ චිත්‍රපට නිෂ්පාදන ආයතන අතර තිබුනු සම්බන්ධතාවය මේ අයුරින් බිඳ වැටුණත් ඒ සෑම විටකදීම රසිකයින් විසින් ඔහුට සහයෝගය ලබා දුන්නා. ඔහුට සිදුවූ අසාධාරණයට එරෙහිව සමාජ මාධ්‍ය තුළ සහ ඉන් පිටත විශාල හඬක් නඟමින්, ලොව පුරා රසිකයින් Johnny Depp වටා එකතු වූවා. Johnny Depp විසින් සිය නඩු තීන්දුවට එරෙහිව නැවතත් නඩු මගට පිවිසෙන්නේ ද… ඇම්බර්ගේ ක්‍රියාවන්ට එරෙහිව අපහාස නඩුවක් ගොනු කරන්නේ ද මෙහි ප්‍රතිඵලයක් ලෙසටයි.
මාස දෙකකට ආසන්න කාලයක් පුරාවට අධිකරණය ඉදිරියේ ගොනු වූ මෙම නඩුවෙ හි තීන්දුව පසුගිය මැයි 31වනදා නිවේදනය කළ අතර එයින් ජය ලැබුනේ රංගන ශිල්පී Johnny Deppටයි.

ඔහුගේ පෙර බිරිඳ වූ Amber Heardගේ පාර්ශවයට මිලියන ගණනක දඩ මුදලක් ගෙවීමට නියම වුනේ ඇය පෙර පැවසූ බොහෝ චෝදනා සහ ආන්දෝලනාත්මක ප්‍රකාශ හුදෙක් බොරු බවට අධිකරණය ඉදිරියේ සනාථ වෙමිනුයි. මෙම නඩු විභාගය නිසා පසුගිය කාලය පුරාවට කිසිදු සිනමා කාර්යයකට සම්බන්ධ වීමට Johnny Deppට අවස්ථාව හිමි වූයේ නැහැ. නමුත් දැන් නැවතත් ඔහු සක්‍රීයව රංගනයට එක්වන්නට සූදානමින් සිටින අතර ඉදිරි නිර්මාණ කිහිපයක් පිළිබඳවත් මාධ්‍යයට අණාවරණය කොට තිබෙනවා.

නමුත් එයින් සමාජ මාධ්‍ය තුළ වැඩිම ජනප්‍රියත්වයට පත් වූයේ ඔහු අධ්‍යක්ෂණය කිරීමට නියමිත නවතම නිර්මාණයයි. වසර 25කට පසුව Johnny Depp විසින් සිනමාපටයක් අධ්‍යක්ෂණය කරන පළමු අවස්ථාව මෙය වන නිසා බොහෝ රසිකයින්ගේ අවධානය මීට යොමු වූයේ නිතැනින්මයි.

මීට වසර 25කට පමණ පෙර, 1997 වර්ෂයේදී Johnny Depp විසින් අධ්‍යක්ෂණය කළ පළමු නිර්මාණය සිනමා හල්වලට මුදා හැරුනා. The Brave ලෙස හැදින්වූ එහි ප්‍රධාන චරිත රඟපෑවේ ලෝක සිනමාවේ තවත් විශිෂ්ටතමයෙකු වන Marlon Brando විසිනුයි. ඔහු සමඟින් Depp ද එහි ප්‍රධාන චරිත නිරූපණය කළා. 1997 වසරේ කාන් (Cannes) සිනමා උළෙලේදී පවා ප්‍රදර්ශනය කළ එහි තිර පිටපත ද ඩෙප්ගේ රචනයක්. කෙසේ වුවත්, එම චිත්‍රපටයට ලැබුනු අතිශය ඍණාත්මක ප්‍රතිචාර නිසා ඔහු ඉන්පසුව නව අධ්‍යක්ෂණයක් සඳහා යොමු වූයේ නැහැ. The Brave හි ඩෙප්ගේ රංගනය ඇගයුමට ලක් වුනත් එහි අධ්‍යක්ෂණය ගැන නම් කිසිවෙකු සෑහීමකට පත් වුනේ නැහැ.

නමුත් විසිපස් වසරකට පසුව ඔහු යළිත් අධ්‍යක්ෂණයට පිවිසීමට දැන් තීරණය කොට තිබෙන අතර ඔහුගේ නඩු විභාගයෙන් පසුව Depp සම්බන්ධ වන පළමු සිනමාපටය වන්නේ මෙයයි. තවමත් මේ ගැන එතරම් විස්තරයක් නිල වශයෙන් මාධ්‍යයට නිකුත් කොට නැතත්, පිළිගත් හොලිවුඩ් මූලාශ්‍ර කිහිපයකින්ම සැලකිය යුතු තොරතුරු ප්‍රමාණයක් අන්තර්ජාලයට නිකුත් වී තිබෙනවා.

චරිතාපදාන (biographical) චිත්‍රපටයක් වන මෙහි ප්‍රධාන චරිතය රඟපෑම සඳහාත් Johnny Depp සම්බන්ධ වන බවට ඇතැම් වෙබ් අඩවි තුළ සඳහන් වුවත් එය තවමත් තහවුරු වී නැහැ. බොහෝ දුරට චිත්‍රපටයේ තිර පිටපත රචනයත් ඔහුගේම විය හැකියි.
මෙය චිත්‍රපටයට පාදක වන්නේ 1884-1920 අතර කාල පරිච්ඡේදයේදී ප්‍රංශයෙ හි වාසය කළ Amedeo Modigliani නැමැති චිත්‍ර – මූර්ති ශිල්පියාගේ සත්‍ය ජීවිත කතාවයි. උපතින් ඉතාලි ජාතිකයෙකු වූ ඔහු පසුව සිය කලා කටයුතු සඳහා ප්‍රංශයට සංක්‍රමණය වූ අතර එහිදී නූතන චිත්‍ර කලාවේ නව සංස්කෘති ගණනාවක්ම ඔහුගේ පරිශීලනයට ලක් වුනා. නමුත් Amedeo Modiglianiව හැඳින්වෙන්නේ ජීවත්ව සිටි කාලයේදී නිසි ඇගයුමකට ලක් නොවුනු චිත්‍ර ශිල්පියෙකු වශයෙනුයි. ඔහුගේ නිර්මාණ අතරෙ හි අද ලෝකයේ ප්‍රසිද්ධම කලා කෘති රාශියක් තිබුනද, Modigliani ජීවත්ව සිටි කාලයේදී ඒ කිසිවකට නිසි අවධානයක් ලැබුනේ නැහැ.

හොලිවුඩ් මාධ්‍ය විස්තර කරන අන්දමට ජොනී ඩෙප්ගේ මෙම සිනමාපටයට පාදක වන්නේ Modiglianiගේ ජීවිතයේ එම ප්‍රංශ පරිච්ඡේදයයි. ප්‍රංශය තුළදී Modigliani ගෙවූ අප්‍රසිද්ධ – දුෂ්කර ජීවන රටාව මෙම චිත්‍රපටයට පාදක වන අතර ඔහුගේ කලා ජීවිතයට සම්බන්ධ සිද්ධීන් සඳහා වැඩි ධාවන කාලයක් ලබා දෙමින් මෙය නිර්මාණය වීමට නියමිතයි.
මෙම චිත්‍රපටය නිෂ්පාදනය සඳහා එක් වන්නේ ද යුරෝපීය සිනමාවේ තවත් දක්ෂතම සිනමාකරුවෙකුයි. මෑතකාලීන යුගයේ දක්ෂතම චරිතාංග නලුවෙකු වන Al Pacino මෙහි ප්‍රධාන නිෂ්පාදකවරයා වශයෙන් සම්බන්ධ වන අතර Johnny Depp ද සම නිෂ්පාදකවරයෙකු ලෙස ගිවිසුම්ගත වූ බවට වාර්තා වනවා.
ඔවුන් වැඩිදුරටත් පවසන්නේ, එළඹෙන වසර තුළදී මෙහි රූපගත කිරීම් ඇරඹීමට සූදානම් බවයි.

Share

80 Views 3 On 2 Ratings Rate it

Written by Kavinu Weerakkody


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.