Sri Lanka's Best Cinema Portal

 

විහඟුන් දැවී යාම හෙවත් ජාත්‍යන්තර සපත්තුවේ තරමට අපේ කකුල කපා ගැනීමට නොහැකි වීම

0
Posted July 2, 2018 by Nisanka Weheraduwa in Cinema Reviews
Burning-Birds-_large

සටහන : සහන් කසීර වික්‍රමසිංහ

“දැවෙන විහඟුන්” හි කියැවෙන්නේ 88-89 භීෂණ සමයේ දරුවන් අට දෙනෙක් සහ නැන්දම්මා ද සමග අසරණ වන වැන්දඹු ගැහැණියක ගේ ජීවන අරගලය ය. පුද්ගලික පළි ගැනීමක් බවට ඉඟි සපයමින් ගෝනි බිල්ලෙක් විසින් හඳුනා ගන්නා කුසුම්ගේ සැමියා පැරා මිලිටරි ඝාතනයට ලක් වේ. අනතුරුව කුසුම් තමාගේත් දරුවන් අටදෙනාගේත් , නැන්දම්මාගේත් කුසගිනි නිවීමේ අරගලයට පිවිසෙන්නීය.

සිනමා පටයේ කුසුම් ලෙස රංගනයේ යෙදෙන අනෝමා ජනාදරී , ඉඩෝර චරිත රඟපෑමේ තම විශේෂ ප්‍රාගුණ්‍යය මැනවින් විදහා දක්වන්නේ මධ්‍යම පාංතික රංගන ලේබලයෙන් මිදෙන්නෙට නොහැකි චාන්දනී සෙනෙවිරත්න නිතරගයෙන් අභිබවා යමිනි. සැමියාගේ වියෝවෙන් පසුව එදාවේල ද අහිමි වන කුසුම් ( අනෝමා) , චාන්දනී සෙනෙවිරත්න සොයා යන අතර ඇය කුසුම්ට ද තමා සේවය කරන ගල් කොරියේ රැකියාවක් සොයා දෙන්නීය. ගල් කොරියට නවකයෙක් වන කුසුම් , වඩාත් බුහුටි ලෙස ඒ කම්කරු සේවයේ යෙදෙනු දක්නට ලැබෙන්නේ අනෝමා මෙවන් කර්කශ චරිත අරභයා දක්වන ශක්‍යතාව පසක් කරමිනි. සමනළී ෆොන්සේකා වැඩිමල් දියණිය ලෙසින් රංගනයේ යෙදුණ ද බොහෝ විට ඇයව දක්නට ලැබෙන්නේ කුඩා දරුවන් ට කවන , පොවන , ඔවුන්ව තුරුළු කරන , පරක් කරන ආයා චරිතයක් ලෙස විනා වැඩිවියට පත් දැරියක ආකාරයකින් නොවේ. කඩේ යන්නේද ගල් කොරියේ , මස් මඩුවේ නැහී ගෙදර අම්මාම යැයි පෙන්වන පසුබිමක මේ සමස්‍ත නිවහනම පෘථිවියෙන් වෙන් ව ජීවත් වන්නේදැයි සැක සිතෙන සුළුය.

පැරා මිලිටරි සාමාජිකයින්ට සහ ගෝනි බිල්ලන්ට මිනිස් ජීවිතවල ඉරණම යුගයක් ගැන කතා කරන “දැවෙන විහඟුන්” හි කලා අධ්‍යක්ෂකවරයා සොයා සම්මානයක් පුද දෙනු වටී. මේ කතා කරන්නේ 88-89 යුගය ගැනය. කඩ වල තිබෙන්නේ මයිලෝ සැෂේ පැකට් ය. අලියා බීම අලුත්ම මාදිලියේ බෝතල් ය. ලංකාවට වෝල්ස් අයිස් ක්‍රීම් ආවේ 1996 න් පසුව වන අතර එය කාර්ගීල්ස් අයිස් ක්‍රීම් වූයේ ඊටත් වසර ගණනකට පසුවය. නමුත් පුබුදු චතුරංග සහ අනෝමා ජනාදරී තේ බොන දර්ශනය පසුබිමෙන් පෙනෙන්නේ
නූතන කාර්ගීල්ස් අයිස් ක්‍රීම් දැන්වීමකි. පුබුදු චතුරංග විශාල ෆෝල්ට් එකක් සහිත ආදිකාලීන කලිසමක් අඳින විට මිලිටරි සොල්දාදුවන් ශ්‍යාම් ප්‍රනාන්දු සහ සගයන් අඳින්නේ අද කාලයේ , දුෂ්‍යන්ත් වීරමන්ලා, කසුන් කල්හාරලා අඳින කළු පාට බොඩි ෆිට් ෂර්ට් ය. අනූව දසකය මැදක් වනතුරු ඇට්ලස් වෙළඳ නාමයෙන් තිබුණේ බෝල්පොයින්ට් පෑන් පමණකි. නමුත් සම්බාහන මධ්‍යස්ථානයේ පිළිගැනීමේ නිළධාරිනිය අත ඇත්තේ නවීන ඇට්ලස් CR පොතක් වීම ආහ්ලාදජනක කරුණකි. යුගය 88-89 ය. සම්බාහන මධ්‍යස්ථානයේ ලිංගික ශ්‍රමික කාන්තාවන් හැඳ සිටින්නේ සහස්‍රයේ විලාසිතා ය. අනෝමා ජනදරී ගේ රතු ගවුම ම කාල යන්තරයක් හරහා ගොස් මිලදී ගත්තකි. කාන්තාරයක් බඳු පළාතක , හුදෙකලාව පිහිටි නිවස තනා ඇත්තේ අමුතුම තාලේ වරිච්චියකින් ය. කැලැන්ඩරයක් හෝ ලිතක් වත් , අඩුම තරමින් කඩදාසි කැබැල්ලක් අලවා නැති කොටේජ් පෙනුමැති නිවසේ කාමරය රෙදි කඩමාල්ලකින් හෝ තොර ඉහළ පැදුරු ආනක් පමණක් ඇති ශුන්‍ය එකකි. ගෙල වැල ලාගත් නැන්දම්මාව දුරස්ත කැමරා දර්ශනයකින් පෙනේ. ඒ නැන්දම්මාව අටපට්ටමට යැවීමට සිතෙන්නේ කිසිදු උස් ආධාරකයක් හතරමායිමක නැතිව නැන්දම්මා හුස්ම හිරවන උසක එල්ලීම ලෝක පුදුමයක් වන නිසාය. නිවාඩු දවසක මූදු වෙරළට යන අනෝමා සහ දරු පවුල ද චාන්දනී ද සතුටින් දවස ගෙවනතුර පපරේ බෑන්ඩ් එකක් ඔවුන් ඉදිරියෙන් වාදනය සපයමින් ගමන් ගනිති. අඳෝමැයි ! 88-89 යුගයේ මූදු වෙරළක පපරේ බෑන්ඩ් වාදනය කරන්නේ 2010 දී පමණ භාතිය – සන්තුෂ් ගැයූ ” බයිලා ගමුද රී මික්ස් කරලා” ගීතය ය. කලා අධ්‍යක්ෂ තුමනි ; විහඟුන් දැවෙන්නට ඔබ කළ මෙහෙය අපමණය. මේ දූපතෙන් පිටස්තර ජූරියකට අයිස් ක්‍රීම් දැන්වීම් , මයිලෝ සැෂේ පැකට් , ඇට්ලස් පොත් හෝ භාතිය සන්තුෂ් ගැන නොතේරෙනවා විය හැකිය. නමුත් මේ දූපත තුළ තවමත් 88-89 පසු කර ජීවත්වන්නවුන් සිටින බව සිහිපත් නොකර බැරිය.

ඒ හැරුණු කොට “දැවෙන විහඟුන්” තුළ අපේක්ෂා භංගත්වයට ලක් කළ තවත් සිදුවීම් රාශියකි. මුල සිට අග දක්වාම අදාල පරිසරයේ මිලිටරි සාමාජිකයින්ගේ උග්‍ර හිඟයක් තිබිණිදැයි සැක සිතේ. හැඳුනුම්පත් පරීක්ෂා කරන්නට එන්නේත් , ගෝනි බිල්ලන් සමග මිනිසුන් අල්ලාගෙන යන්නේත් , බයිසිකලයක නැගී ගම පුරා කැරකෙන්නේත් ශ්‍යාම් ප්‍රනාන්දුම ය. වෙනකක් තබා සම්බාහන මධ්‍යස්ථානයේ සේවය පතා යන මිලිටරි සාමාජිකයාද ශ්‍යාම් ය. අනෙක් අතට ගල් කොරියේ පුනර් දර්ශන කෙතරම් නීරස වීද යත් , පිටපතේ හැටියට පොලිසිය ගල් කොරිය තහනම් නොකළා නම් පැය එක හමාරම ගල් කඩන , පටවන , සක්ක කෑලි කඩන හැටි බලන්නට වෙනු ඇත. ගෝනිබිල්ලා ලෙස ක්‍රියා කර අහිංසකයෙක් මරණයට කැප කළ විදුහල්පතිවරයාගේ අදාලත්වය සහ කුඩා ළමුන් හත් දෙනෙක් සමග එකවර ගමෙන් පිටත්වන සමනළී , උද්‍යෝගිමත් ජුකී මසන්නියක් වීම සහ ළමුන් ගැන සඳහනක් නොවීම ද අමතක කර නොහැකිය. අම්මා රිමාන්ඩ් ගතව සිටින මොහොතක මිත්තණිය දිවි නසා ගත් විට තනි වුණු දරුවන් නිවෙස තුළ හඬන දර්ශනයේ පසුබිමෙන් ශ්‍රියා කාරියවසම් ගයන ” කිරි මදුවැල් කිරි මදුවැල් කිරි අම්මේ ” ජනගීතය ඇසේ. දයාරත්න රටගෙදර ඒ කාලයේ පෝය දවසට පෙන් වූ ” සිත නිවන කතා “වල තිබූ ප්‍රාථමික උපක්‍රමයක් සිනමාව කරා ගෙන ආවේ ඇයි දැයි අපි විමතියෙන් යුතුව සංජීවගෙන් ප්‍රශ්න කරමු.

තෝකියෝ ෆිල්මෙක්ස් බඳු ප්‍රශස්ත සිනමා උළෙලක විශේෂ ජූරි සම්මානයක් පවා හිමි වූ ” දැවෙන විහඟුන්” ලංකාවේ පොළව මත බිජුවට දළු ලන පැළයක්ද යන ප්‍රශ්නාර්ථය අපට ඉතිරි වී පවති.

ජාත්‍යන්තර සපත්තුව අපේ කකුලට නොගැලපීම දුකකි. නමුත් ඒ තරමට අපේ කකුල කපා ගැනීමට කිසි සේත් කළ නොහැකි වැඩකි.

– සහන් කසීර වික්‍රමසිංහ –

Share

About the Author

Nisanka Weheraduwa


 
Popular
 
  • 11054457_1409705939357865_5822327755300679673_n
  • 10350634_880714251944840_8448217158647864537_n
  • spring depart
  • 598556_431654790279257_1742531492_n [1024x768]
  • madras-cafe-4a
  • aba and coba
  • 174_2
  • mahin2