ශලනි තාරකාගේ රංගනයෙන් හැඩවන Color Pencil – කලර් පෙන්සිල්

Avatar Kavinu Weerakkody | August 19, 2024 85 Views 0 Likes 0 Ratings

85 Views 0 Ratings Rate it

Color Pencil (කලර් පෙන්සිල්) නමින්, ශලනි තාරකා ප්‍රධාන රංගනයෙන් එක්වන නවතම සිංහල චිත්‍රපටයක වැඩ කටයුතු පසුගියදා ආරම්භ වුනා.

කැළණිය සරසවි චිත්‍රාගාර පරිශ්‍රෙය්දී මෙහි මුහුරත් උළෙල සහ සමාරම්භක උත්සවය පැවැත්වූ අතර චිත්‍රපටයට රංගනයෙන් සම්බන්ධ වන නලු නිළියන්, තාක්ෂණික ශිල්පීන් ඇතුළු බොහෝමයක් දෙනා ඊට එක්වී සිටියා.

Color Pencil (කලර් පෙන්සිල්) අධ්‍යක්ෂණය කරන්නේ තරුණ පරපුරේ සිනමාකරුවෙකු සහ කලා විචාරකයෙකු වන ආකාශ් තාරුක පෙරේරා විසිනුයි. විලම්භීත නමින් පර්යේෂණාත්මක සිනමාපටයක් හරහා අධ්‍යක්ෂණයට පිවිසි ඔහුගේ දෙවන සිනමා නිර්මාණය වන්නේ මෙයයි.

තරුණ පරපුරේ ජනප්‍රිය රංගන ශිල්පිනියක වන ශලනි තාරකා විසින් Color Pencil (කලර් පෙන්සිල්) චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරූපණය කරන අතර ස්පන්ධන – නෙලා – වියසිදුරු වැනි නිර්මාණ හරහා, මීට පෙරදීත් ඇය සිනමා රංගනයට එක්වුනා. නමුත් ශලනි තාරකා මෙරට රසිකයින්ට වැඩියෙන්ම සමීප වන්නේ පුංචි තිරය හරහායි. ගිරිදේවී, කැන් යූ හියර් මී, කියා දෙන්න ආදරේ තරම්, අඩෝ වැනි ඇය රඟපෑ ටෙලි කතාමාලා බොහෝමයක් මෙරට අතිශය ජනාදරයට පත් වුනා.

යුග ගණනාවක නලු නිළියන් රැසකගෙන් හැඩවන Color Pencil (කලර් පෙන්සිල්) චිත්‍රපටය තුළ අභිෂේක් ප්‍රමුදිත සහ මේඝ සූරියආරච්චි ත් ප්‍රධාන භූමිකා රඟපානවා. සිනේමා, මැරීන් ඩ්‍රයිව් තුළින් සිනමාවට පිවිසි මේඝ සූරියආරච්චි නුදුරේදීම තිරගත වීමට නියමිත මන්දාරා සිනමාපටයටත් රංගනයෙන් දායක වනවා.

ඊට අමතරව සේමිණී ඉද්දමල්ගොඩ, සචින් චතුරංග, ආශා එදිරිසිංහ, ප්‍රීති රන්දෙණිය, පසන් වීරසේකර, සිනෙති අකිලා, බුද්ධි රන්දෙණිය, අවන්ති අපොන්සු, කැලුම් ශ්‍රී, සන්ජනා ඔනාලි ගාමාරච්චි ඇතුලු මෙරට ජනප්‍රිය නලු නිළියන් විශාල සංඛ්‍යාවක් Color Pencil (කලර් පෙන්සිල්) හි සහාය රංගනයෙන් සම්බන්ධ වීමට නියමිතයි.

මෙම චිත්‍රපටයේ තිර පිටපත රචනයත් ආකාශ් තාරුක පෙරේරා විසිනි. පසුබිම් සංගීත නිර්මාණයෙන් චින්තක ජයකොඩි සහ නිමේෂ් කුලසිංහ එක්වනවා. සහාය අධ්‍යක්ෂණය දමින්ද මඩවලගෙනි. ප්‍රියන්ත දිසානායක අංග රචනයෙන් සහ මංජුල අයගම කලා අධ්‍යක්ෂණයෙන් එක්ව සිටී. කලර් පෙන්සිල් චිත්‍රපටයේ ශබ්ද සැලසුම්කරණය සසික රුවන් මාරසිංහ විසිනි.
අජිත් රාමනායක සංස්කරණයෙන් සහ කවිඳු මධුෂාන් නර්තන නිර්මාණකරණයෙන් සම්බන්ධ වනවා. යසිත් පියසිංහ මෙහි නිෂ්පාදන කළමනාකරුයි.

Color Pencil (කලර් පෙන්සිල්) චිත්‍රපටයේ කැමරා අධ්‍යක්ෂණය සිදු කරන්නේ මෙරට සිටින ප්‍රවීණ සිනමාකරුවෙකු වන චන්න දේශප්‍රියයි. විජයබා කොල්ලය – මාරියා – පත්තිනි – ක්ෂීර සාගරය කැළඹිණ – කදිර දිව්‍යරාජ ආදී චිත්‍රපට 50කට ආසන්න සංඛ්‍යාවක කැමරාකරණය මෙහෙයවූ ඔහු U Turn සහ දූස්රා චිත්‍රපටවල අධ්‍යක්ෂකවරයා ද වනවා.

මේ වනවිට චිත්‍රපටයේ පූර්ව – නිෂ්පාදන කටයුතු සිදු වෙමින් තිබෙන අතර රූපගත කිරීම් නුදුරේදීම ඇරඹීමට නියමිතයි.

Share

85 Views 0 Ratings Rate it

Written by Kavinu Weerakkody


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.