ශ්‍රීදේවිගේ දියණිය රඟපාන පළමු චිත්‍රපටය ළඟදීම රසිකයින් වෙතට
බොලිවුඩ් සිනමාවට අලුත්ම චිත්‍රපටයක් නිර්මාණය වී තිබෙනවා. ඒක ඒ තරම්ම අලුත් හෝ වැදගත් ප්‍රවෘත්තියක් වෙන්නේ කොහොමද කියල ඔබට හිතෙනවා වන්නට පුළුවන්. ඒ සිද්දියට හේතුවන කරුණු කිහිපයක්ම තිබෙනවා. මේ චිත්‍රපටය ඒ සඳහා සම්බන්ධ වුනු පිරිස වගේම චිත්‍රපටය සම්බන්ධ අතුරු කාරණා කිහිපයක් නිසා ඒ පිළිබඳව මාධ්‍ය වගේම ප්‍රේක්ෂක ජනතාවත් දැඩි උනන්දුවකින් පසුවන බව බොලිවුඩ් වාර්තා සඳහන් කරනවා. චිත්‍රපටයේ නම “Dhadak” ඉංග්‍රීසි භාෂාවෙන් නම් මේක කියවෙන්නේ “Heartbeat” කියලයි. චිත්‍රපටයේ පුර්ව ප්‍රචාරක පටය (Official trailer) මීට දින දෙකකට පෙර නිකුත් කර තිබුනා. ජුනි 13 වැනිදා ප.ව. 2.00 වෙද්දී you tube හරහා මේ පුර්ව ප්‍රචාරක පටය බැලූ පිරිස 23, 439, 911ක් පමණ වී තිබුනා. එතරම්ම මේ චිත්‍රපටය පිලිබඳ බොලිවුඩ් රසික අවධානය යොමුවී තිබෙනවා.
මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කලේ Shashank Khaitan විසින්. තිර රචනාවත් ඔහුගෙමයි. චිත්‍රපටය නිෂ්පාදනය කලේ Karan Johar විසින්. ඔහු බොලිවුඩ් පුරයේ නම දිනාගත් චිත්‍රපට නිෂ්පාදකවරයෙක්. චිත්‍රපටයට දායක වූ ප්‍රධාන චරිත දෙක නිසාම නිර්මාණයට දැවැන්ත ප්‍රේක්ෂක අවධානයක් හිමිවී තිබෙන බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කොට තිබෙනවා. වසර 30කට අධික කාලයක් තිස්සේ ඉන්දීය සිනමාවේ තරුවක් ලෙස නමක් දිනාගත් ශ්‍රීදේවි කපූර් මිට මාස කිහිපයකට පෙර හදිසි අනතුරක් හේතුවෙන් ජිවිතක්ෂයට පත්වුනා. ඇගේ වැඩිමහල් දියණිය Jhanvi Kapoor මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වන Parthavi ලෙස රංගනයේ යෙදෙනවා. ඒ ඇගේ පළවැනි සිනමා රංගනය බවත් සඳහන්. ප්‍රචාරක පටය නිකුත් කළ අවස්ථාවේ අදහස් විමසීමේදී ඇය කිවුවේ “මට දැනෙන හැඟීම විස්තර කරන්න තේරෙන්නේ නැහැ, මම ආතතියෙන් සහ කලබලයෙන් ඉන්නේ” යනුවෙන්. ඒ තරමටම ඇයට ඒ අවස්ථාව සුවිශේෂී වී තිබුනා. ඒ වගේම ඇගේ මව ගැනත් ඇය මේ මොහොතේ සිහිපත් කොට තිබුනා.
ජාන්වී සමග Madhukar නම් වන අනික් ප්‍රධාන චරිතයට රංගනයෙන් දායක වන්නේ Ishaan Khatter. ඔහු මිට පෙර චිත්‍රපට දෙකකට රංගනයෙන් දායක වී තිබෙනවා. ඔහුගේ පළමු චිත්‍රපටය වයස අවුරුදු 10දී ඔහු රඟපෑ Vaah!blife ho toh aisi සහ 2017 වසරේ ලෝක ප්‍රකට ඉරාන සිනමාවේදී Majid Majidi අධ්‍යක්ෂණය කළ Beyond the clouds චිත්‍රපටයෙන් ඔහුගේ රංගනයන් ප්‍රේක්ෂකයන්ට දකින්නට ලැබී තිබෙනවා. බොලිවුඩ් රංගන ශිල්පින් යුවලක් වන Neelima Azeem සහ Rajesh Khatter ඔහුගේ දෙමව්පියන් වනවා. ඔහුත් රංගනය සිය පවුලෙන්ම රැගෙන ආ අයෙක් වගේම ඔහු මතු බලාපොරොත්තු සහිත දක්ෂ චරිතාංග නළුවකු බවත් බොලිවුඩ් වාර්තා සඳහන් කරනවා. මේ දෙදෙනාගේ සුසංයෝගයෙන් නිර්මාණය වී ඇති Romantic drama film එකක් තමයි Dhadak චිත්‍රපටය. Ajay Atul සංගීත නිර්මාණයෙන් දායක වූ චිත්‍රපටයට Vishnu Rao සම්බන්ධ වන්නේ cinematographer ලෙසින්. Aditya Kumar, Aishwarya Narkar, Kharaj Mukherjee ඇතුළු පිරිසක් අනිකුත් චරිත සඳහා රංගනයෙන් දායක වනවා. එළඹෙන ජූලි 20 වැනිදා සිට ලොව පුරා සිනමාලෝලීන් වෙත Dhadak තිලිණ කෙරෙනු ඇති.
Written by Nisanka Weheraduwa