ශ්‍රී ලාංකිකයෙක් යුරෝපයේ ප්‍රමුඛතම සිනමා උළෙලක කාර්‍ය මණ්ඩලය නියෝජනය කරයි

Avatar Nisanka Weheraduwa | November 26, 2020 610 Views 0 Likes 0 Ratings

610 Views 0 Ratings Rate it

ශ්‍රී ලංකාවේ සිනමා ක්ෂේත්‍රයට සම්බන්ධ නිර්මාණවේදීන් විවිධ අයුරින් ජාත්‍යන්තරය සමග ගනුදෙනු කිරීමේ අවස්ථා ලබාගන්නා අයුරු පසුගිය කාලය තුළ අප හඳුනාගෙන තිබෙනවා. ඒ අතර සුවිශේෂී අවස්ථා උදාකරගත් කිහිප දෙනෙක් පිළිබඳව අප තොරතුරු වාර්තා කළා. එවැනි තවත් සුවිශේෂී අවස්ථාවක් ගැන තොරතුරු වාර්තා වනවා. යුරෝපයේ ප්‍රමුඛපෙලේ සිනමා උළෙලකට චිත්‍රපට පූර්ව පරීක්ෂක මණ්ඩලයේ සාමාජිකයකු ලෙස සම්බන්ධ වීමට ශ්‍රී ලාංකිකයකුට අවස්ථාව උදාවී තිබෙනවා. Tallinn Black Nights Film Festival (PÖFF) හි මූලික අදියර සඳහා මෙලෙස  සම්බන්ධ වන්නේ මිලානි පෙරේරායි. ඇයට ලැබුණු මෙම අවස්තාව කරුණු දෙකක් මත විශේෂත්වයක් දක්වනවා. ශ්‍රී ලාංකිකයකු එම සිනමා උළෙලේ කාර්ය මණ්ඩලය නියෝජනය කළ පළමු අවස්ථාව මෙය වීමත්, ජාත්‍යන්තර සිනමා උළෙලක චිත්‍රපට පූර්ව පරීක්ෂක මණ්ඩලයේ සාමාජිකයකු වශයෙන් ශ්‍රී ලාංකික කාන්තාවක් සහභාගී වීමත් යන කාරණා දෙක මත ඇයට ලැබුණු මේ අවස්ථාව සුවිශේෂී වනවා.

Black Nights  සිනමා උළෙල නැතිනම් (POFF) යනු උතුරු යුරෝපයේ විශාලතම සිනමා උළෙලක් වන අතර සෑම නොවැම්බරයකදීම ලෝක සිනමාවේ නවතම හා ආකර්ෂණීය විශේෂාංග රැසක් ජාත්‍යන්තර සිනමාකරුවන් වෙත ගෙන ඒම මේ සිනමා උළෙලින් සිදුවනවා. සෑම වසරකම ලෝකය පුරා සිනමා උළෙල 4,000 ක් පමණ පැවැත්වුනත් ඉන් 15 ක් පමණක් අන්තර්ජාතික නිෂ්පාදක සංගම් වෙතින් සහතිකය ලබාගෙන ඇති සිනමා උළෙල කාණ්ඩයට ඇතුළත්. PÖFF යනු කෑන්ස්, බර්ලින්, වැනීසිය සහ අනෙකුත් ලෝක සිනමා උළෙලවල් සමඟින් මෙම A කාණ්ඩයට අයත් වන සිනමා උළෙලක්.

රටවල් 63 කින් චිත්‍රපට 172 ක් මෙම උළෙලේ ප්‍රධාන වැඩසටහනට ඇතුළත් වනවා. සිනමා උළෙලේ පිරිනැමෙන ප්‍රධානම ත්‍යාගය වන යූරෝ 10,000 ක් සඳහා චිත්‍රපට 26 ක් තරඟ වදිනවා. ප්‍රධාන තරග කාණ්ඩ 4 ක් සහ විශේෂ වැඩසටහන් 11 ක් මේ සිනමා උළෙලේ පැවැත්වෙන අතර චිත්‍රපට 33ක ලෝක මංගල දර්ශනය සහ තවත් චිත්‍රපට 29ක ජාත්‍යන්තර මංගල දර්ශනය මේ උළෙල්දී පැවැත්වෙනවා. මෙවර සිනමා උළෙල විශේෂිත වන්නේ එය සුපුරුදු පරිදි සිනමාහල් මූලික කරගෙන පැවැත්වෙන අතරම online festival එකක් ලෙස අන්තර්ජාලය හරහාත් පැවැත්වීම හේතුවෙනුයි. කොරෝනා වසංගතයට මුහුණ දෙමින් සිටින අවස්ථාවක් නිසාම මෙවර ලෝකයේ බොහොමයක් සිනමා උළෙල පැවැත්වුනේ අන්තර්ජාලය හරහායි. එහිදී බොහෝවිට සිදුවුනේ පැරණි චිත්‍රපට නැවත පෙන්වමින් උළෙල පැවැත්වීම වුවත් මෙම Tallinn Black Nights Film Festival සුපුරුදු පරිදි අලුත් චිත්‍රපට, චිත්‍රපට මංගල දර්ශන, Golden Wolf සම්මාන ඇතුළු විශේෂාංග සියල්ලම සමග සාමාන්‍ය පරිදි පැවැත්වෙනවා.

ටැලින් විශ්ව විද්‍යාලයේ සාහිත්‍ය, දෘශ්‍ය සංස්කෘතිය සහ චිත්‍රපට අධ්‍යයනය පිළිබඳ (Literature, Visual Culture and Film Studies) Masters degree පාඨමාලාවේ දෙවන වසරේ  සිසුන්ට සහ Baltic Film and Media Institut මගින් විශේෂිත අවස්ථාවක් උදාකර දෙනවා. ඒ ලොව ප්‍රමුඛ පෙලේ බ්ලැක් නයිට් සිනමා උළෙලේ චිත්‍රපට පූර්ව පරීක්ෂක මණ්ඩලයේ සාමාජිකයකු ලෙස සම්බන්ධ වී වැඩකිරීමට අවස්ථාව ලබාදීම. මේ යටතේ තෝරාගත් විද්‍යාර්ථින් හට POFF චිත්‍රපට ඉදිරිපත් කිරීමේ ආරම්භක වැඩසටහන් කණ්ඩායමේ සාමාජිකයෙකු වීමට වටිනා අවස්ථාවක් හිමිවනවා. චිත්‍රපට පිළිබඳ වැඩිදුර අධ්‍යයනය කෙරෙහි උනන්දුවක් හා අවධානයක් යොමු කරන තෝරාගත් සිසුන් කිහිප දෙනෙකුට පමණක් මෙම දුර්ලභ අවස්ථාව ප්‍රදානය කෙරෙනවා. සෑම වසරකම මැයි සිට සැප්තැම්බර් දක්වා උත්සවය මගින් සපයනු ලබන දැඩි මාර්ගෝපදේශ යටතේ ඉදිරිපත් කෙරෙන චිත්‍රපට විශ්ලේෂණය කිරීම මේ තෝරාගත් විද්‍යාර්ථින්ගේ වගකීම වනවා. මෙම සීමිත විද්‍යාර්ථින්ගේ කණ්ඩායම නියෝජනය කිරීමට ශ්‍රී ලාංකිකයකු ලෙස ටැලින් විශ්ව විද්‍යාලයේ සිය අධ්‍යයන කටයුතු සිදුකරමින් සිටින මිලානි පෙරේරාට අවස්ථාව හිමිව තිබෙනවා. මේ අත්දැකීම පිලිබඳ වැඩි විස්තර දැනගැනීමට අප මිලානි පෙරේරා අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධ කරගත්තා.

“අපේ අධ්‍යයන කණ්ඩායමට ලැබෙන විශේෂ අවස්ථාවක් තමයි ප්‍රායෝගිකව වැඩකරන්න අවස්ථාව ලැබීම. බ්ලැක් නයිට් සිනමා උළෙල කියන්නේ ලෝකයේ ප්‍රමුඛම චිත්‍රපට උළෙල කීපයෙන් එකක්. ඉතින් ඒ උළෙලේ චිත්‍රපට පූර්ව පරීක්ෂක මණ්ඩලයේ සාමාජිකයකු විදිහට වැඩකරන්න ලැබීමත් ලොකු අත්දැකීමක්. මීට පෙර ලාංකිකයකුට මේ අවස්ථාව ලැබිල නැහැ කියල තමයි කියවෙන්නෙ. අපි පළවැනි අදියරේ චිත්‍රපට නැරඹීම කරනවා. අපිට විශේෂ ක්‍රමවේදයක් සහ අදාළ මාර්ගෝපදේශනය ලැබෙනවා, විශේෂ පුහුණුවකුත් එක්කම. ඊට පස්සේ චිත්‍රපට උළෙලට එන entries මුලින්ම බලන්න ලැබෙන්නේ අපේ කණ්ඩායමට. සාමාන්‍යෙන් එක් අයෙක් චිත්‍රපට 100ත් 150ත් අතර ප්‍රමාණයක් බලනවා. අපේ සුපවයිසර්ස්ලගේ අධීක්ෂණය යටතේ මේ විදිහට අපි බලන චිත්‍රපට වලට අපි ලකුණු ලබාදෙනවා. සාමාන්‍යෙන් එක චිත්‍රපටයක් අපේ කණ්ඩායමේ තුන් දෙනෙක් බලනවා. ඒ තුන්දෙනාගේ නිර්දේශ මත තමයි දෙවැනි කණ්ඩායමට මේ චිත්‍රපට යොමු කරන්නේ, එක චිත්‍රපටයක් මූලික අදියරේ පූර්ව පරීක්ෂක මණ්ඩලයේ සාමාජිකයින් තුන්දෙනාගෙන්ම reject වුනොත් ඒ චිත්‍රපටය නැවත සළකා බැලීමක් සිදු කරන්නේ නැහැ. ඔය විදිහට තමයි මේ වැඩසටහන ක්‍රියාත්මක වන්නේ. එස්ටෝනියාව කියන රට සංස්කෘතිකව ලංකාවේ අපට ගොඩක් සමීපයි. ඒ නිසා මෙහෙට ඇවිත් masters කරන්න ලැබුන එක ගැන මම සතුටු වෙනවා. ඒ වගේම විෂය හරියාකාරව ඉගෙන ගන්න ලැබුනා කියල හිතනවා. 2019 අවුරුද්දේ තමයි මම මේ පාඨමාලාව පටන් ගත්තේ. ඒ ගෙවුන අවුරුද්ද තුළ හොඳ training එකක් ලැබුනා. ඒ අවුරුද්දේ ආසියාතිකයකුට හිටියේ මම විතරයි. ඉතින් මේ ලැබුණ අවස්ථාව ගැන වගේම මේ පාඨමාලාවට එන්න ලැබුන එක ගැනත් මට තියෙන්නේ සතුටක්” මිලානි එලෙස පැවසුවා.

මිලානි ශ්‍රී ලංකා පදනම් ආයතනයේ කථිකාචාර්යවරියක ලෙස සේවය කරමින් සිටියා. ඇය සිය දෙවැනි ශාස්ත්‍රපති උපාධිය සඳහා Literature, Visual Culture and Film Studies විෂය තෝරාගෙන තිබෙනවා.  Germany, the Netherlands, Italy, Denmark, Mexico, Turkey, Czech Republic, Russia, Tunisia, Estonia , වැනි රටවල සිසුන් කණ්ඩායමක් සමග ඇය මෙම උපාධි පාඨමාලාව හදාරමින් සිටිනවා. එස්ටෝනියාව යනු සිනමාව විෂයක් ලෙස හැදෑරීමට බලාපොරොත්තු වන සිසුවකුට ඉතාම යෝග්‍ය රටක් බවත් එම පාඨමාලා ගුණාත්මක බැවින් ඉතාම ඉහල වන බවත් ඇය පවසා සිටියා.

 


Share

610 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.