ශාරුක් ඛාන්ට පසුව හිරානිගේ නවතම චිත්‍රපටය රාම් චරන් සමඟින් ද?

Avatar Kavinu Weerakkody | November 7, 2023 42 Views 0 Likes 0 Ratings

42 Views 0 Ratings Rate it

එළඹෙන දෙසැම්බර් මාසයේදී තිරගත වීමට තිබෙන, Shah Rukh Khanගේ නවතම චිත්‍රපටය “Dunki” නිසා, රාජ්කුමාර් හිරානි (Rajkumar Hirani) සහ ඔහුගේ සිනමා භාවිතය ගැන බොහෝ දෙනෙකු නැවතත් කතාබහ කරන්නට පටන් ගෙන. නිර්මාණාත්මක හැකියාවෙන් සහ ප්‍රේක්ෂකයින්ව හදවතින්ම ඇදබැද තබා ගන්නා තරමේ තිර පිටපත් රචනයෙන් අද බොලිවුඩයේ සිටින දක්ෂතම සිනමාකරුවෙකු වන Rajkumar Hirani, ශාරුක් ඛාන්ගේ ප්‍රධන රංගනයෙන් හැඩ වන Dunki හින්දි චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයායි.

2003 වසරේදී Munna Bhai MBBS චිත්‍රපටය තුළින් සිනමා අධ්‍යක්ෂණයට පිවිසි රාජ්කුමාර් හිරානි මේ වනවිට වසර 20කට අධික කාලයක් තිස්සේ සිනමාවේ සැරිසරනවා. නමුත්මෙම වසර 20ටම ඔහු අධ්‍යක්ෂණය කර තිබෙන්නේ චිත්‍රපට 06ක් පමණයි. රාජ්කුමාර් හිරානි යනු වසරක් පාසා චිත්‍රපට නිපදවමින්, නිරන්තරයෙන් රසිකයින් සමීපයට පැමිණෙන අන්දමේ සිනමාකරුවෙක් නොවෙයි.

ගැළපෙනම තිර පිටපතක් හමුවනතුරු වසර ගණනක් වෙහෙස වෙමින්, තමන්ගේ නිර්මාණවල ඉතා සියුම් ගුණාත්මකබාවය ගැන පවා නිරන්තරයෙන් සොයා බලමිනුයි රාජ්කුමාර් හිරානි විසින් චිත්‍රපට අධ්‍යක්ෂණය කරන්නේ… ඔහු එක පෙළට චිත්‍රපට නිර්මාණය නොකළත්, ඔහු මෙතෙක් කාලයකට අධ්‍යක්ෂණය කළ චිත්‍රපට සියල්ලම ක්ෂේත්‍රයේ දැවැන්ත සාර්ථකත්වයක් සහ රසික ආකර්ෂණයක් දිනා ගත් චිත්‍රපටයි.

තවත් විශේෂත්වයක් වන්නේ ඔහු අධ්‍යක්ෂණය කරන චිත්‍රපටවල කතාව – තිර පිටපත් රචනය මෙන්ම චිත්‍රපටයේ සංස්කරණය සිදු කරන්නේ ද රාජ්කුමාර් හිරානි විසින්මයි. 3 Idiots – PK – Sanju වැනි ඔහුම අධ්‍යක්ෂණය කරමින් – සංස්කරණය කළ සිනමාපට සියල්ලම ඉන්දියාව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් වුනා.

මෙවැනි සාර්ථක චිත්‍රපට ගණනාවකට පසුව, රාජ්කුමාර් හිරානි මේ දිනවල‍ ඔහුගේ නවතම නිර්මාණය වන Dunki සිනමාපටයේ පසු නිෂ්පාදන කටයුතුවලට කාර්යබහුල වී සිටිනවා. Dunki චිත්‍රපයෙන් පසුව රාජ්කුමාර් හිරානි තමන්ගේ ඊළඟ චිත්‍රපටය කුමක්ද යන්න නිශ්චිතව සඳහන් කර නැතත්, දකුණු ඉන්දියානු සිනමාවේ ජනප්‍රිය නලුවෙකු හා සම්බන්ධ වීමට සාකච්ඡා කරමින් සිටින බවට දැන් වාර්තා වනවා.

පැවසෙන පරිදි ඔහු මෙලෙස සාකච්ඡා කරමින් සිටින්නේ ජනප්‍රිය තෙළිඟු නලුවෙකු වන Ram Charan සමඟයි. ඔහු සමඟ මුම්බායි හිදී මේ වනවිටත් යම් තිරපිටපතක් ගැන අදහස් හුවමාරු කරගෙන තිබෙන අතර Ram Charan පාර්ශවයෙන් හිරානි ඉදිරිපත් කළ කතා තේමාවට කැමැත්තක් දක්වා තිබෙනවා.

ඒ ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක මහේන්ද්‍ර සින්ග් දෝණි සමඟින් සිදු කළ වෙළඳ දැන්වීම් රූගත කිරීමක් අතරතුරේදී යි. දෙපාර්ශවයෙන්ම එකඟතාවයට පැමිණියහොත්, රාජ්කුමාර් හිරානි විසින් ඉදිරියේදී Ram Charanගේ ප්‍රධාන රංගනයෙන් හැඩවන චිත්‍රපටයක් සඳහා මෙම තිර පිටපත රචනා කිරීමට පටන් ගනු ඇතියි.

තෙළිඟු සිනමාවේ ජනප්‍රිය සිනමා පවුලකින් පැවත එන Ram Charan සිනමාවට පිවිසීමටත් කලින් ම, ක්ෂේත්‍රය තුළ ඔහුගේ ස්ථාවරත්වය ලියැවී තිබුනා. ඔහුගේ පියා වන, වර්තමාන තෙළිඟු සිනමාවේ දැවැන්තම රංගන ශිල්පියා Chiranjeeviගේ රසිකයින්ගේ සහාය නිසා රාම් චරන් රඟපෑ පළමු චිත්‍රපටය Magadheera (2009) තිරගත වුනෙත් තෙළිඟු සිනමාවේ ආදායම් වාර්තා තබමින්…
ඉන්පසුව Yevadu – Rangasthalam – Dhruva වැනි චිත්‍රපට හරහා රසිකයින් අතරට පිවිසි ඔහුගේ සිනමා ගමන සම්පූර්ණයෙන්ම වෙනස් වුනේ 2022 වසරේදී තිරගත වුනු RRR චිත්‍රපටයත් සමඟයි.

RRR චිත්‍රපටය තුළින් ඉන්දියාව තුළ පමණක් නොවෙයි; සමස්ත බටහිර ලෝකය තුළම අතිශය දැවැන්ත ජනප්‍රියත්වයක් ගොඩ නඟා ගන්නට ඔහුට හැකියාව ලැබුනා. ඇමරිකාව සහ යුරෝපය තුළ මෙන්ම ජපානයේදීත් RRR සිනමාපටයට ලැබුනේ කිසිවෙකුත් නොසිතූ අන්දමේ දැවැන්ත ප්‍රතිචාරයක්. මෙම රසික ආකර්ෂණය නිසාම අවසායේදී ලෝකප්‍රසිද්ධ Golden Globes සහ Academy සම්මානයෙන් පවා පිදුම් ලබන්නට ඊට හැකියාව ලැබුනා.
RRR මෙන්ම රාම් චරන්ගේ සිනමා ජීවිතයේ පළමු චිත්‍රපටය, Magadheera අධ්‍යක්ෂණය කළේ ද SS Rajamouli විසිනුයි.

RRR බලපෑම නිසා, මේ වනවිට රාම් චරන්ගේ සිනමා ගමන ගැන අවධානයෙන් සිටින්නේ ඉන්දියානු රසිකයින් පමණක් නොවෙයි. යුරෝපීය – ඇමරිකානු සිනමා ප්‍රේක්ෂකයින් පවා රාම් චරන් සහ ඔහුගේ සිනමාපට වටා දැන් එක් රොක්වී සිටිනවා. රාම් චරන් සහ රාජ්කුමාර් හිරානිගේ මෙම සිනමා සුසංයෝගය සිදු වුවහොත් එය උතුරු ඉන්දියානු සහ දකුණු ඉන්දියානු සිනමා කර්මාන්ත දෙකේම ආදායම් වාර්තා එකවර අලුත් කරන නිර්මාණයක් වනු නොඅනුමානයි.

පාර්ශව දෙකෙහි ම එකඟතාවය ලැබී මෙම චිත්‍රපටයේ වැඩ කටයුතු ආරම්භ වුවත්, එය නැරඹීමට නම් යම් කාලයක් ගත වන්නට පුලුවන්. ඊට හේතුව වන්නේ හිරානි සහ රාම් චරන් දෙදෙනා ම මේ වනවිට ඔවුන්ගේ වෙනත් චිත්‍රපට සමඟින් කාර්යබහුල වී සිටීමයි.

රාම් චරන්ගේ නවතම චිත්‍රපටය, Game Changer හි පළමු ටීසර් පටය පහතින්:

Ram Charanගේ නවතම චිත්‍රපටය වන Game Changer හි රූගත කිරීම් ඉන්දියාවේ ප්‍රදේශ කිහිපයක් මුල්කරගෙන මේ දිනවල සිදුවන අතර ඉදිරියේදී විදෙස් රටවල් කිහිපයකත් එහි දර්ශන රූගත කිරීමට නියමිතයි. නමුත් එහි අධ්‍යක්ෂකවරයා වන 2.0 – Enthiran – I – Anniyan වැනි චිත්‍රපට සෑදූ, ශන්කර් ශන්මුගම් Game Changer චිත්‍රපටයට සමගාමීව ඔහුගේ තවත් ප්‍රසිද්ධ නිර්මාණයක සීක්වල් චිත්‍රපටයක් වන- කමල් හසන් රඟන Indian 2 හි රූගත කිරීමුත් සිදු කරන නිසා Game Changer චිත්‍රපටයේ වැඩ කටයුතු අවසාන වීමට යම් කාලයක් ගතවන්නට පුලුවන්.

එමෙන්ම අධ්‍යක්ෂක රාජ්කුමාර් හිරානි ද මේ දිනවල ඔහුගේ නවතම චිත්‍රපටය වන Dunki සමඟින් කාර්යබහුල වී සිටනවා. චිත්‍රපටයේ රූගත කිරීම් සියල්ල අවසන් වුවත්, පසු නිෂ්පාදන කටයුතු අවසන් වී නැහැ. එළඹෙන දෙසැම්බර් 21 වනදා Dunki ලෝ පුරා තිරගත වීමට නියමිතව තිබෙන නිසා රාජ්කුමාර් හිරානි තමන්ගේ සම්පූර්ණ අවධානය ලබා දී තිබෙන්නේ ඒ චිත්‍රපටය වෙතටයි.
Pathaan සහ Jawaan චිත්‍රපට තුළින් මේ වසර ඇතුළතදී පමණක් නොකඩවා රැස් කරගත් ඉන්දියානු කෝටි 1000 ආදායම් වාර්තාව “Dunki” සිනමාපටය තුළින් නැවතත් අලුත් කරන්නට ශාරුක් ඛාන්ට හැකි වනු ඇතැයි බොහෝ දෙනෙකු විශ්වාස කරනවා.

Dunki චිත්‍රපටයේ Title announcement ටීසර් පටය පහතින්:

Share

42 Views 0 Ratings Rate it

Written by Kavinu Weerakkody


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.