Sri Lanka's Best Cinema Portal

 

සනත් ගුණතිලකගේ හෘදයාංගම සැමරුම් – අදටත් ‘විරාගයේ’ සමහර දෙබස්‌ මට මතකයෙන් කිවහැකි

0
Posted May 13, 2013 by Cinema.lk in Articles
Sinahawa Atharin Sinhala Film Sanath Gunethilake (15)

චිත්‍රපටයේ යම් දර්ශනයක්‌ පිළිබඳව තිර කතා පොතේ ඇති දෙය ඔබේ දැස ඉදිරියේ මැවෙන්නේ කෙසේ දැයි ඔබ මුහුදු වෙරළේ සිටියදී සිතන්න. එලෙස එය මැවුණේ ඇයි දැයි පසුව ඔබම සිතා බලන්න. වෙනත් අවස්‌ථාවකදී එලෙස එම දර්ශනය ගැනම බලද්දී පෙරට වඩා වෙනස්‌ විදියට මැවී පෙනුණාද? ඒ දෙකෙන් හෝ කිහිපයෙන් ඔබ කැමැති නැතිනම් ඔබේ හදවත මනස ඔබව පොළඹවන රූප රාමු මොනවාද? ඒ ඇයි කියල ඔබට කියන්න පුළුවන්ද? මේ අන්දමේ රංගන අභ්‍යාසයකට මාව පුරුදු පුහුණු කිරීමට තිස්‌ස අබේසේකර කාරුණික විය. ඒ සඳහා ලාල්ද මට සහාය දුන්නේය.

මා සමහර දෙබස්‌ ඛණ්‌ඩ මෙනෙහි කළේ (කට පාඩම් කළා නොවේ) එම මුහුදු වෙරළෙහි සිටින විටදීය. එය අතිමහත් සාර්ථක ප්‍රතිඵල ගෙන දුන්නේය. ඒවා මනස තුළ අදත් තැන්පත් වී පවතී. අදත් විරාගයේ සමහර දෙබස්‌ මට මතකයෙන් කිව හැකිය. ඒ මෙම පුහුණුවේ ප්‍රතිඵලයක්‌ ලෙසය. (විරාගය කිරීමේදී කිසිම මොහොතක වචන (ප්‍රොමී) මතක්‌ කිරීමක්‌ සිදු නොවීය. එය දර්ශන තලය තුළ තහනම්ය. අද දිනයේදී අනෝජා වීරසිංහ විසින් මෙහෙයවනු ලබන ”අභින” වැඩසටහන් මාලාවේදී මීට සමානම අභ්‍යාස තුළින් ආධුනික නළු නිළියන් පුරුදු පුහුණු කර ඔප මට්‌ටම් කරන බව කිව යුතුමය) තිස්‌ස අයියාගේ ක්‍රමවේදය මම සහෘද ශිල්පීන් කිහිප දෙනකුටම සන්නිවේදනය කළෙමි. එයින් විපුල ප්‍රයෝජනයක්‌ ලබාගත්තේ සබීතාය. රංගනය පිළිබඳ දැඩි භක්‌තියක්‌, කැපවීමක්‌ සහ ඕනෑකමක්‌ තිබුණු සබීතා, එලෙස එම රංගන අභ්‍යාස මා හරහා ප්‍රගුණ කළේ ඉතාමත් ඉක්‌මනින්ය. නමුත් මා හිතාදර දයා අල්විස්‌ එම රංගන අභ්‍යාස කිරීමට පැමිණියේ බියර් බෝතල් දෙකක්‌ සමග නිසා මගෙන් දොස්‌ අසා අමනාප ද විය. එදා අමනාප වූවාට අද මගේ ජීවිතයේ ඉතාමත් කිට්‌ටුවෙන් සිටින සෙනෙහෙවන්තයෙක්‌, වැඩිහිටියෙක්‌ ලෙස මා ඔහුට ආදරය කරමි. ගරු කරමි.

තිස්‌ස අයියා රංගනය සඳහා නළු නිළියන් සකස්‌ කිරීමට යොදා ගන්නේ ඉතාමත් සිත්ගන්නා සුලු ක්‍රමයකි. ඔහුට සාමාන්‍යයෙන් වැඩකරන නළු නිළියන් කාර්මික ශිල්පීන් සියලු දෙනා පිළිබඳ හොඳ අවබෝධයක්‌ ඇත. එමෙන්ම ඒ අයගේ සිනමා කලා ජීවිතවලට අමතරව පෞද්ගලික ජීවිතවල ඕනෑ එපාකම් පිළිබඳව ද එතුමා හොඳින් දනී.

ඒ ඕපාදූප ලෙස නොවේ. සමහර අවස්‌ථාවලදී එම නළුවාගේ නිළියගේ ඔහු හෝ ඇය පමණක්‌ දන්නා කියන කරුණු අන්‍යයන්ට නොඇසෙන සේ මතක්‌ කර දෙමින් ඒ රංගන ශිල්පියාට හෝ ශිල්පිනියට ඔහු හෝ ඇය සිටින භූමිකාව වඩාත් තීව්‍රව අර්ථවත්ව රංගනය කිරීමට තිස්‌ස අයියා පසුබිම සකස්‌ කරනුයේ විශ්වකර්මයෙක්‌ ලෙසය.

මේ පිළිබඳව දැනට අප අතර නැති විජය, උපාලි අත්තනායක, අශෝක පීරිස්‌ වැනි අය මොනවට සාක්‍ෂි දරයි. දයා අල්විස්‌, ශ්‍රියානි අමරසේන, සබීතා, ක්‌ලීටස්‌, ගීතා කුමාරසිංහ වැනි එතුමා ඉතාම කිට්‌ටුවෙන් ආශ්‍රය කළ නළු නිළියන්ද මා කියන මතයට විරුද්ධ නොවනු ඇත. අප පමණක්‌ නොව සමහර විට එතුමාගේ ඉපදීමට ප්‍ර්‍රථම නිෂ්පාදිත චිත්‍රපට (සමහරවා නිශ්ශබ්ද යුගයේ) විදේශ චිත්‍රපට පෙන්වා එහි රංගනයන් පිළිබඳව සවිස්‌තරව විග්‍රහ කිරීමට එතුමා තුළ වූ හැකියාව නම් විශ්මය ජනකය.

සමහර අවස්‌ථාවලදී ඒවා එතුමා පොතපතින් දැනගත් කරුණු විය හැකිය. නමුත් ඊට වඩා සිනමා ඥනය පසුබිම් කරගෙන එම රංගනයන් දැන කරනු ලබන සුවිශේෂ විශ්ලේෂණය සසරේ පුරුද්දක්‌ යෑයි මට සිතේ. පෙර භවයකදී මෙලෙසම මේ ක්‍ෂේත්‍රයක්‌ තුළම සැරිසැරූ සංසාරගත පුරුද්දක්‌ මත සමහර කරුණු පිළිබඳව විනිශ්චයන්, නිගමනයන් නිරීක්‍ෂණයන් එතුමා විසින් කරනු ඇතැයි මට සිතේ.

ද තර්ඩ් මෑන්, සිටිසන් කේන්, රෂෝමාන්, ටොකියෝ ස්‌ටෝරි, ද ලාස්‌ට්‌ ටැන්ගෝ ඉන් පැරිස්‌ වැනි විවිධ වර්ගයේ චිත්‍රපටද සත්‍යජිත් රායි කුරොෂ්මා, බර්ග්මාන්, ත්රූ ෙµda වැනි නිර්මාණකරුවන්ගේ චිත්‍රපට සියල්ල පිළිබඳවද ඔහු දක්‌වන පසු කථනය සමහර විට චිත්‍රපටයට වඩා අතිශයින්ම රසවත්ය. සමහර (සියලු දෙනා නොවේ) අවස්‌ථාවලදී ක්‍රිකට්‌ මැච් එක බැලීමට වඩා විස්‌තර විචාරය ඇසීමට අපගේ කන් යොමු වන්නේ එහි ඇති රසවත් භාවය නිසාම නොව එහි ඇති අර්ථවත් සහ ගුණාත්මකභාවය නිසාය) මා මෙහිදීද දකින්නේ එවැනි දෙයක්‌ය.

මීට වඩා වැදගත් වන්නේ යම් රංගනයන් පිළිබඳව, චිත්‍රපටයක්‌ පිළිබඳව තම මතය පළකර එය විශ්වාස කිරීමට යෑයි එතුමා කිසිම විටෙක යමෙකුට බල නොකිරීමය. සත්තකින්ම ඒ ඔහුගේ ඉගැන්වීමේ ක්‍රමයයි. ගුරුවරයා මිත්‍රයකු බව ඔහු නිතර තහවුරු කළේය.

තිස්‌ස අබේසේකරයන්ට වඩා පරම්පරා 5 ට 6 ට පසු පරම්පරාවක ඉතා ආධුනික ශිෂ්‍යයෙක්‌ මෙම චිත්‍රපටය මුල්වරට නැරඹීමේදී ඇතිවන දැනීම හැඟීම පිළිබඳව එතුමා ඔහු සමග සාකච්ඡා කරයි. එය මැදිහත් සිතින් ඉවසමින් ඒ දෙස බලයි. සමහර සාකච්ඡා වලින් පසුව එම ගැටවරයා කියූ යම් යම් මතවලට එකඟ වෙමින් ඒ මත සාධාරණීකරණය කරන අතරම සමහර විට ඒවා ප්‍රතික්‍ෂේප කරමින් එම තර්ක බිඳහෙළන අවස්‌ථාද වේ.

මේ කටයුත්ත ඔබ කළේ මුදල් බලාගෙන නොවේ. එතුමා ජාතික චිත්‍රපට සංස්‌ථාවේ සභාපති වූ වකවානුවලදී විශේෂයෙන් රජරට කලාපයේ දුෂ්කර පළාත්වල වැඩමුළු මෙහෙයවමින් අහිංසක තරුණ පිරිස්‌ දැනුවත් කළ බව දන්නෝ දනිති.

එමෙන්ම අගනුවර සිටි සියලුම විදේශ තානාපති කාර්යාලවල සංස්‌කෘතික අංශ එතුමා සමග නිරන්තර සම්බන්ධයක්‌ ගොඩ නඟාගෙන තිබිණි. එය දශක කිහිපයක්‌ මුළුල්ලේ නිලධාරීන් වෙනස්‌ වුවත් මාරු වුවත් ඔවුහු තිස්‌ස අබේසේකරගේ සේවාව දිගින් දිගටම පවත්වාගෙන ආහ.

ඒ වෙන කිසි දෙයක්‌ නිසා නොවේ. පොතේ පතේ දැනුම, ප්‍රායෝගික දැනුම සහ අත්දැකීම් පමණක්‌ නොව සියලුම රටවල චිත්‍රපට පිළිබඳව කිසියම් වූ මූලික ඥනයක්‌ පෙර භවයක සිට ගෙනැවිත් එය ප්‍රේක්‍ෂක අප ඉදිරියේ මුදාහැරීමට හැකි ”කුසල කර්මයක්‌” එතුමා තුළ ඇතැයි ඔවුහු ඉවෙන් මෙන් දැන සිටි නිසාය. සමහර විදේශ සංස්‌කෘතික අංශවල නිලධාරිහුද තිස්‌ස අයියාගේ දැනුම පිළිබඳව ඉතාමත් විශ්මයජනක ලෙස කතා කළහ.
මෙම දැනුම ලබාදෙන ආයතන වෙත හැකි තරම් තරුණ පිරිස්‌ යොමු කිරීමටද එතුමා නොපැකිළව පෞද්ගලිකව මහන්සි වී තම දුරකථනය පාවිච්චි කරමින් සමහර නළු නිළියන්ට කතා කර සමහර චිත්‍රපට පිළිබඳ කියාදී ඒවා නැරඹීම කළ යුත්තේ මන්දැයි ඔවුන්ව උනන්දු කිරීමට පැය ගණන් කතා කරයි. එලෙස කතා කර ඔවුන්ගේ මනස හොඳ සිනමාව සඳහා යොමු කරවයි.
ඔහු කතා කළේ ගුණාත්මක සිනමාව පිළිබඳව පමණක්‌ නොවේ. මාලන් බ්රැන්ඩෝ, ජැක්‌ නිකල්සන්, අල් පචිතෝ, රොබට්‌ ඩී නීරෝ වැනි රංගන ශිල්පීන් පිළිබඳව යම් අන්දමක විශ්ලේෂණයක යෙදෙන එතුමා දිලිප් කුමාර්, දේව් ආනන්ද වැනි නළුවන් තුළින් දුටු විශේෂත්වය මෙන්ම ශ්‍රී ලාංකික නළු නිළි පරම්පරාව පිළිබඳවද උදාහරණ රැගෙන කතා කරයි. ඒ අතරම භාරතයේ සුපිරි නළු රාෙ-ශ් කන්නාගේ ජනප්‍රියතාවය, අමිතාබ් භච්චන්ගේ කැපවීමත් සධානාශ්මී, සමිතා පටෙල්, රේඛා වැනි නිළියන්ගේ සිනමා රංගන දායකත්වය මෙන්ම ඓශ්වර්යා රායි වැනි නිළියකගේ රූප ස්‌වභාවය පිළිබඳවද යම් මතයක්‌ ඉදිරිපත් කිරීමට තරම් කරුණු කාරනා අතින් ඔහු සන්නද්ධ වී සිටියේය.

මා මේ කතා කළේ සිනමාව පිළිබඳව පමණි. සකල සියලුම කලා විෂයයන් පිළිබඳව ඇසූ පිරූ තැන් ඇති එතුමා සංගීත ක්‍ෂේත්‍රය සහ ගායන ක්‍ෂේත්‍ර පිළිබඳව (පිටරට/මෙරට) ද කරනු ලබන ප්‍රකාශන, අර්ථ ගැන්වීම් නිරීක්‍ෂණය විමර්ශනය අතිශයින්ම ඕනෑම කෙනෙකුට වැදගත්ය. ඵලදායීය.

ඔහු සිනමාව පිළිබඳ ඇවිදින විශ්වකෝෂයක්‌ද නැතිනම් ඇවිදින විශ්ව විද්‍යාලයක්‌දැයි මට සිතුණු වාර අනන්ත අප්‍රමාණය. එමෙන්ම ජාතික චිත්‍රපට සංස්‌ථාවේ සභාපති පුටුව දරන ලද කාලයේ එතුමා විසින් අප චිත්‍රපට පිටරට වෙළෙඳපොළට ක්‍රමවත්ව විකිණීමේ ක්‍ර්‍රමවත් සැලැස්‌මක්‌ ඇති කිරීමට උත්සාහ දැරුවත් එයට ”අප” විසින්ම විරුද්ධ වීම නිසා අඩාල විය. අද අපි අපේ චිත්‍රපට පිටරට විකිණීමට DVD බවට පරිවර්තනය කර ගැනීමට දරන උත්සාහය මෙන්ම හොර DVD නැතිකර ගැනීමට ගන්නාවූ වෙහෙස දුටු විට එදා අප විරුද්ධ වූයේ යම් ක්‍රමවත් වැඩපිළිවෙළකට නොවේ දැයි අද අපට සිතේ.

එතුමාගේ කාලසීමාව තුළ සිදු වූ යම් යම් තීරණ පිළිබඳව මා කතා කළහොත් මා උත්සාහ දරන්නේ එම වකවානුවට සුදුහුණු ගෑමට යෑයි පවසන සහෘදයන් සිටිනු ඇත. ඔවුන් මා සායම් බාස්‌ කෙනෙක්‌ හෝ වෙන නාමයකින් හැඳින්වුවත් මොන දේ කීවත් කම් නැත. ඒ මේ රටේ අනාගත පරපුරේ යහපත මෙන්ම බුද්ධිමත් තරුණ පරපුරක්‌ හැදීමට තිස්‌ස අබේසේකර සිනමා සංස්‌කෘතියක්‌ ගොඩනැඟීමට කළ උත්සාහයට අලගු තැබීමට මේ කිසිම ගොන් බාස්‌ කෙනෙකුට බැරි බැවිනි. එලෙස කිරීමට තියා තේරුම් ගැනීමටවත් බැරිය.

කෙසේ වෙතත් තෝරා ගත් නවක අධ්‍යක්‍ෂවරුන් දහදෙනකුට මූල්‍ය සම්පත් ලබාදී ඔවුන් අතින් යම් නිර්මාණයක්‌ කිරීමට එතුමා ගත් උත්සාහය මා ඕනෑම සභාවක අගයමි. එය තිස්‌ස අබේසේකරයන්ගේ අවසාන කටයුතු සිදු වන අවස්‌ථාවේදී වර්තමාන ජනපතිතුමන් විසින් එවන ලද ශෝක පණිවිඩය තුළද ගැබ්ව තිබූ බව මම හොඳින් දනිමි. මේ රටේ ප්‍රධාන පුරවැසියා ලෙස එවැනි දූරදර්ශී වැඩපිළිවෙළකට අත තැබූවෙකු පිළිබඳව යම් ඇගයීමක්‌ මරණ මංචකයේදී හෝ ලබාදීම පිළිබඳව වර්තමාන ජනපතිතුමාට සුවිශේෂී ස්‌තුතියක්‌ පළ කරමි.

මෙම ක්‍රියාවලිය ක්‍රියාවට නැඟීමේදී එතුමා අභූත චෝදනාවලට ලක්‌විය. කෙසේ වෙතත් සුදත් රෝහණ ජයන්ත චන්ද්‍රසිරි, සුදත් දේවප්‍රිය, ඉනෝකා සත්‍යාංගනී, ලින්ටන් සේනගේ, සත්‍යජිත් මාඉටිපේ ඇතුළු නවක නිර්මාණකරුවන් දහයකට ආසන්න ප්‍රමාණයක්‌ මෙලෙස ක්‍ෂේත්‍රයට ආයෝජනය කිරීම කළේ වෙන කවුද? එම නිර්මාණ සම්පත් එම ආයෝජන රුපියල් ශත වලින් මැනිය යුතුද මැනිය හැකිද? නිහාල්සිංහ යුගයේ එවකට 100% ක්‌ ණය ක්‍රමය යටතේ එවැනි පාරිශුද්ධ කටයුතු සිදු වූවාට පසුව ඉදිරි පරම්පරාවක්‌ පිළිබඳව සිතීමට තරම් සැදැහැවත් වූ ගුණමකු නොවූ වෙන කෙනෙකු සිටීද?

මීවිත

 

Share

About the Author

Cinema.lk


 
Popular
 
  • 11054457_1409705939357865_5822327755300679673_n
  • 10350634_880714251944840_8448217158647864537_n
  • spring depart
  • 598556_431654790279257_1742531492_n [1024x768]
  • madras-cafe-4a
  • aba and coba
  • 174_2
  • mahin2