සැකයක් නම් මොකද කරන්නේ..? මේ කතාව කියවන්න
රටතුළ ඇතිවෙලා තියෙන්නේ අවාසනාවන්ත තත්වයක්. මොන වෙලාවේ කොතන බෝම්බ පිපිරෙයිද, ගැටුමකට මැදි වෙයිද කියල හැමෝම ඉන්නේ බයකින්. ඒ නිසාම වටපිටාවේ තියන හැම දෙයක් ගැනමත් සැකයෙන් බලන්න අපට සිද්ද වෙනවා. නමුත්, සැකයක් ඇතිවූ පමණින් අප කළ යුත්තේ මොකක්ද..? කරන්න හැකියාව ඇත්තේ මොකක්ද කියන එක ගැන බොහෝ දෙනෙකුට අවබෝධයක් නැහැ. අද කිරිබත්ගොඩ අඟුලාන බස් රථයේදී සිදුවුණු සිදුවීමක් මේ. සම්මානනීය කෙටි චිත්‍රපට නිර්මාණ ශිල්පිනියක්, වේදිකා සහ සිනමා නිළියක් වුනු ලංකා බණ්ඩාරනායක තමයි මේ සිදුවීමට මුහුණ දුන්නේ. ඇය අගේ Facebook පිටුවේ ඒ ගැන තැබූ සටහනයි මේ.
අද 154 බස් එකේදි තරුණයෙක් බම්බලපිටිය හරියේදී ඔහුට මගේ බෑගය පරීක්ෂා කිරීමට වුවමනා බව පැවසුවා.
(මෙතැනට අදාල නැති කතාව 1: ඔහු එම තර්ජනාත්මක ඉල්ලීම කරන ලද්දේ ඉංග්‍රීසියෙන් වන අතර එතැන් සිට මේ සංවාදය ඇදී ගියේ ඉංග්‍රීසියෙනි😜)
මගේ බෑගය පරීක්ෂා කරන්නට ඔහුට උවමනා වන්නේ මන්දැයි ඇසූවිට ඔහු පැවසුවේ එය සැකකටයුතු බෑගයක් බව ඔහුට සිතෙනවා කියාය.
මම ඔහු ආරක්ෂක අංශයක නිලධාරියෙක් දැයි විමසුවෙමි. (ඔහු පෙනුමෙන් සති අන්ත පන්තියකට හෝ පුහුණු පාසලක හෝ මිතුරන් සමග වල බැසීමට බසයේ පැමිණෙමින් සිටින අයකු බව බැලූ බැල්මට පෙනුන තරුණ වයසේ කොල්ලෙක් වුවද මම එසේ ඇසුවෙමි)ඔහුගේ පිළිතුර වූයේ නැත යන්නය.
එසේ නම් ඔහුට මගේ බෑගය පරීක්ෂා කිරීමට අයිතියක් හෝ බලයක් නැති බවත්, මා සැක කටයුතු බෑගයක් රැගෙන යන්නේ නම් පොලීසියේ හෝ හමුදාවේ නිලධාරියෙකු වෙත යාමට එන බවත්, නැතිනම් බසය ලඟම පොලීසියට හරවන ලෙසත් දැන්වීමි. අඩු තරමේ බසයේ රියැදුරු හෝ කොන්දොස්තර විසින් මේ ඉල්ලීම කරන්නේ නම් සලකා බලන බවත් දැන්වීමි.
එතැනට පැමිණි කොන්දොස්තර පැවසුවේ “මේ මිස් බෑග් එක උඩ දාලා නෙමේනේ. ලඟ තියාගෙනනේ ඉන්නේ. ඒ නිසා ප්‍රශ්ණයක් නෑ” යන්නය.
(මෙතැනට අදාල නැති කතාව 2: මේ සංවාදයට මා සමඟ සිටි මිතුරාද පැටලුණි.)
එතැන් සිට ඔහු දිගින් දිගටම අප දෙදෙනා සමඟ පැටලෙමින් පැමිණියේය. (මගේ ජංගම දුරකතනයටද එබෙමින්) මා මරාගෙන මැරෙන බෝම්බ කාරියක් වන්නට පුලුවන් බවට මට තර්ජණය කරන්නටද පටන ගත්තේය. අවසන නිදහස් චතුරශ්‍රය ආසන්නයෙන් බැස ගියේය.
මේ මොහොතේ පුරවැසියන් ලෙස ඔබ රටේ ආරක්ෂාව පිළිඔඳව අවධියෙන් සිටිය යුතු බවට තර්කයක් නැත. ඔබ මේ රටට දැඩි සේ ආදරය කරන බවත්, එය රැක ගැනීමට උත්සාහ කරන බවත් සැබෑය.
නමුත් මෙවැනි අඳබාල, රට හරක් ක්‍රියාවන්ගෙන් මේ මොහොතේ නැති ගැටුම් ඇති වන බව තේරුම් නොගැනීමට තරම් ඔබ අඥානය…
ගැටුමක් ඇතිවිය හැකි අවස්ථා අවම කර ගැනීමට දායක වීමට හෝ මොලේ කළඳක් නැති වීමද අතිශයින් කනගාටුදායකය..
ඔහු තර්ජනය කළ ලෙස ඇත්තෙන්ම මම මරාගෙන මැරෙන බෝම්බකාරියක් නම් එලෙස මගේ බෑගය පරීක්ෂා කිරීමට ඉල්ලීමෙන් මම එම බෝම්බය බසය තුල පුපුරවා ගැනීමට ඇති අවධානම ඔහුට නොපෙනේ..
නැතහොත් ඇත්ත වශයෙන්ම බෑගයේ වෙනත් බෝම්බයක් තිබුනේ නම් එය පරීක්ෂා කර නිශ්ක්‍රීය කිරීමට දැණුමක් දෙවියන් වහන්සේ විසින් ඔහුට ඒ මොහොතේ ලබා දෙන්නේ දැයි මම නොදනිමි…
ඔහුට මා ගැන සැක සිතුනේ නම් ඔහු කළ යුතුව තිබුනේ අදාල දුරකතන අංකයකට කතා කර මේ ගැන දැනුවත් කිරීමය. (කොතරම් මාධ්‍ය මගින් දැනුවත් කලත් අප බොහෝ අය ලඟ එවැනි අවස්ථා වල කතා කළ හැකි දුරකතන අංක තිබෙනවාදැයි මම සැක කරමි)
නැතිනම් මේ දිනවල පාරේ මීටර් සීයෙන් සීයට සිටින පොලීසියේ හෝ හමුදා නිලධාරියෙකුට මා ගැන දැනුම් දීමය.. (මේ බම්බලපිටිය සහ නිදහස් චතුරශ්‍රය අතර ප්‍රධාන මාර්ගයයි)
එසේත් නැතිනම් බසයේ නොන්දොස්තර හෝ රියැදුරු දැනුවත් කර බසය පොලීසියකට හැරවීම හෝ වෙනත් ඕනෑම ආරක්ෂිත යයි තීරණය කරන ක්‍රියාමාර්ගයකය යාමය. බසයේ ගමන් කළ සියල්ලන් ඇතුලු ඒ අවට මිනිසුන් සියල්ලගේ ජීවිතය අනතුරට හෙලමින් හැසිරීම නොවේ. මරාගෙන මැරෙන බෝම්බකාරියක් අල්ලා ගැනීමේ වීර ක්‍රියාවෙන් අඳ බාල වීම නොවේ..
මිතුරනි, මිතුරියනි… මදක් හිතන්න. ඔබේ රටට ආදරේ බව සැබෑය. ඔබේ ආදරයෙන් මේ රටේ ඔබ වැනිම අනෙකුත් පුරවැසියන්ගේ ජීවිතයට තර්ජනයක් නොවීමටත් වග බලා ගන්න. එය මේ රටට ආදරේ කරන සියලුම පුරවැසියන්ගේ වගකීමකි. මන්ද රටක් ඉතිරි වන්නේ ඒ රටේ ජීවත් වීමට “මිනිසුන්” ඉතිරි වුවහොත් පමණි.
ලංකා බණ්ඩාරනායක
මේ සටහන නිසාම නැවත වරක් අපි කරන දේ ගැන සිතා බැලිය යුතු බව අපි ඔබට අවධාරණයෙන් කියා සිටිනවා. මේ මොහොතේ ඉතා විමසිල්ලෙන් සිටීම වැදගත් වගේම සිහිනුවණින්, අවබෝධයෙන් කටයුතු කිරීමත් වැදගත්. එසේ නොවුනහොත්, ඔබ ඔබේ ජීවිතය වගේම තවත් බොහෝ මිනිසුන්ගේ ජිවිත අවදානයේ හෙලනවා විය හැකියි. බෝම්බ හෝ පුපුරණ ද්‍රව්‍ය පිලිබඳ කටයුතු කළ හැක්කේ සුදුසුකම් ලත් විෂය දැණුම සහිත ආරක්ෂක අංශ සාමාජිකයින්ට පමණක්ම බව සිහි තබා ගන්න. අනවශ්‍ය ලෙස නීතිය සියතට ගැනීමට ගොස් සියල්ල විනාශ කර නොගන්න.
ඔබට යම් සැකයක්, තොරතුරක් හෝ වෙන ඕනෑම විමසීමක් වෙතොත් හිතුමතේ කටයුතු නොකර පහත සඳහන් අංක අමතන්න.
යුධ හමුදා මුලස්ථාන විශේෂ දුරකථන අංක
0112434251
0114055105
0114055106
0112433335
0766911604
පොලිස් මුලස්ථානයේ විශේෂ මෙහෙයුම් මැදිරිය
0113024873
0113024883
0112013039
Written by Nisanka Weheraduwa