සිංහලයේ මහා කාව්‍යය, “ගුත්තිල” නමින් ළඟදීම සිනමාවට
බෞද්ධ සංස්කෘතිය හා මෙරට සිනමාව අතරෙ හි තිබෙන්නේ බෙදා වෙන් කළ නොහැකි තරමේ සමීප සබැඳියාවක්. ඈත අතීතයේ සිටම ලාංකීකයින්ට හුරුපුරුදු බෞද්ධ සාහිත්‍යයේ එන විවිධ කතා පුවත් සහ ඵෙතිහාසික සංසිද්ධි ඇසුරෙන් බොහෝ චිත්‍රපට – සිනමා නිර්මාණ බිහිවී තිබෙනවා.
2008-2010 වැනි කාලයක සිට බෞද්ධ සාහිත්‍යය පාදක කොටගෙන චිත්‍රපට නිර්මාණය කිරීම අතිශය සුලබ කරුණක් වූ අතර මෙරට ප්‍රේක්ෂකයින් ඒවාට දක්වන ඇල්ම නිසාම ඒ බොහෝමයක් සිනමාපට ආදායම් අතින් සාර්ථකත්වයටත් පත්වුනා. ඒ හේතුවෙන්, ලාංකීය සිනමාකරුවන් පවා එවැනි චිත්‍රපට සඳහා දක්වන්නේ වැඩි නැඹුරුතාවයක්…
බෞද්ධ සාහිත්‍යයේ දැකගත හැකි එවැනි ජනප්‍රිය කතා පුවතත් ඇසුරෙන් නිර්මාණය කළ තවත් සිනමාපටයක් නුදුරු දිනකදීම මෙරට සිනමාහල්වලට මුදා හැරීමට නියමිතව තිබෙනවා. ඒ සනත් අබේසේකර විසින් අධ්‍යක්ෂණය කළ “ගුත්තිල (Guththila)” සිංහල චිත්‍රපටයයි.
මෙම සිනමාපටයට පාදක වන්නේ පන්සිය පනස් ජාතක කතා පොතෙ හි 237වන ජාතකය වන ‘ගුත්තිල ජාතකය’ යි. ගුත්තිල ජාතකය ඇසුරෙන් ජයවර්ධනපුර කෝට්ටේ යුගයේ සයවැනි පරාක්‍රමබාහු රජ සමයේදී, වෑත්තෑවේ හිමියන් විසින් රචනා කළ “ගුත්තිල කාව්‍යය” මෙම සිනමාපටයේ ප්‍රධාන මූලාශ්‍රය ලෙසට යොදාගෙන තිබෙනවා.
මේ වනවිට චිත්‍රපටයේ නිල පූර්ව ප්‍රචාරකපටයත් අන්තර්ජාලයට නිකුත් කොට තිබෙන අතර පහත සබැඳිය ඔස්සේ ඔබට එය නැරඹිය හැකියි.
මෙම චිත්‍රපටයෙ හි ප්‍රධාන චරිතය වන ගුත්තිලගේ භූමිකාව රඟපාන්නේ මෙරට සිටින දක්ෂ සංගීතවේදියෙකු වන විශාරද එඩ්වඩ් ජයකොඩි විසිනුයි. මෙය ඔහුගේ පළමු සිනමා රංගනය වන අතර ගුත්තිලගේ ගායනා සඳහාත් ඔහු සිය හඬ දායකත්වය ලබා දෙනවා. ජාතක කතාවට අනුව ගුත්තිලගෙන් ශිල්ප උගෙන, පසුව ඔහුගේ ප්‍රතිවාදියා බවට පත්වන මූසිලගේ චරිතය නිරූපණය කරන්නේ අඛිල ධනුද්දරයි.
ගුත්තිල පඬිවරයාගේ අඳ දෙමාපියන්ගේ චරිත රඟපාන්නේ ප්‍රවීණ රංගන ශිල්පීන් දෙපළක් වන සතිස්චන්ද්‍ර එදිරිසිංහ සහ අයිරාංගනී සේරසිංහයි. යශෝදරා දේවියගේ පෙර භවයක ලෙසින් හැඳින්වෙන චුන්නාගේ චරිතයට යශෝධා විමලධර්ම රංගනයේ යෙදෙනවා.
ඊට අමතරව සනත් ගුණතිලක, චුලක්ශි රණතුංග, ගිරිරාජ් කෞෂල්‍ය, වීණා ජයකොඩි, ශ්‍රිමාල් වෙඩිසිංහ, සරත් චන්ද්‍රසිරි, නදීකා ගුණසේකර, මහින්ද පතිරගේ, අමිල කරුණානායක, පූජනි භාග්‍යා, අනුර බණ්ඩාර රාජගුරු, හේමන්ත ඊරියගම, වත්සලා කල්පනී ,ආලෝකා ධනන්ජනි, දුෂි පබා සහ රෝහිත් මාන්නගේ වැනි ලාංකීය කලා ක්ෂේත්‍රයේ ජනප්‍රිය – ප්‍රවීණ සහ නවක නලු නිළියන් රැසක්ම “ගුත්තිල” සිනමාපටයට රංගනයෙන් දායක වනවා. මෙහි රූපගත කිරීම් බොහෝමයක් සිදුව තිබෙන්නේ කළුතර ප්‍රදේශය මුල් කරගෙනයි.
චිත්‍රපටයේ අධ්‍යක්ෂණය මෙන්ම දෙබස් සහ තිර පිටපත රචනා කර තිබෙන්නේ ද සනත් අබේසේකර විසිනුයි. 2011 වසරේදී මහින්දාගමනය තුළින් සිනමාවට පිවිසි ඔහු ඉන්පසුව සිරි දළඳාගමනය (2014), අනගාරික ධර්මපාල (2014) සහ මහරජ අජාසත් (2015) යන චිත්‍රපට නිර්මාණය කළා. සනත් අබේසේකරගේ මුල්ම චිත්‍රපටය වූ මහින්දාගමනය මෙතෙක් ලාංකීය සිනමාවේ වැඩිම ආදායමක් ලැබූ චිත්‍රපටයක් ලෙසටයි අදටත් සැලකෙන්නේ…
පැරණි සිංහල චිත්‍රපට සංරක්ෂණයේ පුරෝගාමියා ලෙසට සැලෙකන තිස්ස නාගොඩවිතාන ෆිල්ම්ස් පුද්ගලික සමාගම වෙනුවෙන් ගුත්තිල චිත්‍රපටයේ නිෂ්පාදන පිරිවැය දරන්නේ හරේන් නාගොඩවිතාන සහ දිලිනි සිල්වායි.
හෝ ගානා පොකුණ, වරිගපොජ්ජ වැනි චිත්‍රපටවල සංගීත අධ්‍යක්ෂණය සිදු කරමින් ජාත්‍යන්තර සම්මානයට පාත්‍ර වූ දිනේෂ් සුබසිංහ විසින් මෙහි පසුබිම් සංගීතය සහ ගී තනු නිර්මාණය කර තිබෙනවා. සුජිත් නිශාන්ත මෙහි කැමරා අධ්‍යක්ෂකවරයායි. හිරංග විශ්ව රණසිංහ, චිත්‍රපටයේ නිෂ්පාදන කළමනාකරු ලෙස එක්ව තිබෙනවා.
රොශාන් සංජය හේරත් විධායක නිෂ්පාදකවරයායි. ආනන්ද එස් කපුගේ සහාය අධ්‍යක්ෂණයෙන් සහ තරංග රුක්මල්වල වේෂ නිරූපණයෙන් සම්බන්ධයි. කොණ්ඩා මෝස්තර නිර්මාණය රුචිර දිනෙෂ්ක සහ නිලේෂ් ෂෙවෝන් දිසානායක එකතුවෙනි.
ගුත්තිල චිත්‍රපටයේ කලා අධ්‍යක්ෂණය සහ පසුතල නිර්මාණය සිදු කළේ ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකු වන ධම්මික හේවාදුවත්තයි. ඔහු මින් පෙර තානාපතිලාගේ ගෙදර, ඇහැලේපොළ කුමාරිහාමි සහ එකගෙයි සොකරි වැනි නිර්මාණවල කලා අධ්‍යක්ෂකවරයා ලෙසත් කටයුතු කළා. ශබ්ද පරිපාලනය – වර්ණ සංයෝජනය සහ සංස්කරණය ප්‍රවීන් ජයරත්නයි. ඇඳුම් නිර්මාණය රමේෂා ඕෂනීගෙනි.
සුමුදු අමල්ක චිත්‍රපටයේ සටන් අධ්‍යක්ෂකවරයායි. නර්තන වින්‍යාසය චන්න විජේවර්ධන සහ චන්දන වික්‍රමසිංහයි.
එඩ්වඩ් ජයකොඩි සහ උරේෂා රවිහාරි ගයන සුමියුරු ගීත රැසකින් ගුත්තිල හැඩ වී තිබෙන අතර එම ගීත රචනා කර තිබෙන්නේ ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි, සනත් අබේසේකර සහ මහාචාර්ය සුනිල් ආරියරත්නයි.
නුදුරු දිනකදීම දිවයින පුරා සිනමා හල්වලදී, දැවැන්ත පිරිවැයක් දරමින් නිෂ්පාදනය කළ මෙම කාව්‍යමය සිනමාපටය නැරඹීමට ඔබට අවස්ථාව හිමි වනු ඇති..!!!
Written by Kavinu Weerakkody