සිංහලෙන් Horror Film එකක් බලමුද…?
“නිහඬ සෙවණැලි” – සිංහල චිත්‍රපටය නොවැම්බර් 11 වැනිදා සිට තිරගත වනබව නිවේදනය තිබෙනවා. වන විනාශය හා බැඳි horror ශානරයේ සිනමාපටයක් වන මෙය අධ්‍යක්ෂණය කරන්නේ සුනිල් ප්‍රේමරත්න විසිනුයි. මීට පෙර “වැලිපවුරු” සහ “ටවුමේ ඉස්කොලේ” චිත්‍රපට ද්විත්වය අධ්‍යක්ෂණය කළ ඔහුගේ තෙවෙනි නිර්මාණය වන්නේ මේ “නිහඬ සෙවණැලි” චිත්‍රපටියයි. සිනමාපටයට නිෂ්පාදනය දායකත්වය ලබා දී තිබෙන්නේ ජානක රන්චාගොඩ වන අතර මේ ඔහුගේ කුළුදුල් චිත්‍රපට නිෂ්පාදනයයි.
මිතුරන් කිහිපදෙනෙකුගේ විනෝද චාරිකාවක් වටා ගෙතෙන නිහඬ සෙවණැලි සිනමාපටය, තාරුණ්‍යය මුල් කොට ගත් අපූරු කතා පුවතක් බව අධ්‍යක්ෂක සුනිල් ප්‍රේමරත්න පවසනවා. පුබුදු චතුරංග, රොශාන් රණවන සහ හරිත් වාසල විසින් මිතුරන් තිදෙනාගේ චරිත රඟ දක්වද්දි ප්‍රධාන කාන්තා චරිත සඳහා දායකත්වය ලබාදෙන්නේ තාරුකා වන්නිආරච්චි, ධනංජි තාරුකා සමඟින් මාෂි සිරිවර්ධනයි. වනාන්තර විනාශයට එරෙහිව තාරුණ්‍යයට පණිවුඩයක් දෙමින් නිර්මාණය කර තිබෙන නිහඬ සෙවණැලි චිත්‍රපටයට බෞද්ධ දර්ශනයේ ඇතැම් කරුණු එක් කරලීමටත් තිර පිටපත් රචකයින් උත්සාහ කර තිබෙනවා. මෙහි කතාව, දෙබස් සහ තිර පිටපත සකස් කර තිබෙන්නේ අධ්‍යක්ෂක සුනිල් ප්‍රේමරත්නය සහ රංගන ශිල්පී හරිත් වාසල එකතුවෙන්…
චිත්‍රපටයේ දර්ශනවලින් 2/3ක්ම රූපගත කිර තිබෙන්නේ පන්නල, මොරගහහේන සහ ගෝනවල ආශ්‍රිත ගන වනාන්තර තුළයි. අතිවිශාල පරිශ්‍රමයක් දරමින් ලංකාව පුරාම දර්ශන තල සෙවීමට නිෂ්පාදක කණ්ඩායමට සිදු වී තිබෙනවා. එහි ප්‍රතිඵලයක් වශයෙනුයි, නිර්මාණය සඳහා හොඳින්ම උචිත වූ මේ ප්‍රදේශ සොයා ගැනීමට ඔවුන්ට හැකි වී තිබෙන්නේ. සාමාන්‍යයෙන් ලාංකීය චිත්‍රපට කර්මාන්තය තුළ Horror ශානරයේ නිර්මාණ දකින්න ලැබෙනවා අඩු නිසාම මේ නිර්මාණය වටා බොහෝ රසිකයින් පිරිසක් එකතු වේ යැයි චිත්‍රපට කණ්ඩායම බලාපොරොත්තු වනවා.
නිහඬ සෙවණැලි චිත්‍රපටය සඳහා දායක වූ ප්‍රධාන තාක්ෂණික ශිල්පීන් පිරිස.
අධ්‍යක්ෂණය – සුනිල් ප්‍රේමරත්න
නිෂ්පාදනය – ජානක රන්චාගොඩ
සටන් අධ්‍යක්ෂණය – වසන්ත කුමාර
අංගරචනය – තරංග රුක්මල්වල
කැමරා අධ්‍යක්ෂණය – කේ.ඩී. දයානන්ද
සංස්කරණය – අනුර බණ්ඩාර
වර්ණ සංයෝජනය – ආනන්ද බණ්ඩාර
කලා අධ්‍යක්ෂණය – කීර්ති රාහුබද්දු
සංගීත සංයෝජනය – දර්ශන වික්‍රමතුංග
මීට අමතරව විශාරද එඩ්වඩ් ජයකොඩි සහ නව පරපුරේ ගායක මිහිඳු ආරියරත්න ගායනා කරන ගීත දෙකකිනුත් නිහඬ සෙවණැලි චිත්‍රපටය හැඩ වනවා. කාන්තාවක්, කේබල් තාක්ෂණයෙන් අඩි 100ක් පමණ උඩදී සිදු කරන ක්‍රියාදාම දර්ශන මේ චිත්‍රපටයට ඇතුළත් වීම තවත් විශේෂත්වයක්. කොවිඩ් වසංගතයෙන් පසු යළි විවෘත වූ සිනමාහලේදී නොවැම්බර් 11 වැනිදා සිට ඔබට නිහඬ සෙවණැලි චිත්‍රපටය නැරඹිය හැකියි.
Written by Nisanka Weheraduwa