සිධාර්ත් මල්හෝත්‍රා නැවතත් Dharma Production සමග එක්වෙයි.

Avatar Nisanka Weheraduwa | September 8, 2021 28 Views 0 Likes 0 Ratings

28 Views 0 Ratings Rate it

මෑතකදී නිකුත් වූ Sidharth Malhotraගේ Shershaah හින්දි සිනමාපටය විචාරක, ප්‍රේක්ෂක ප්‍රතිචාර දෙකම ඉතා හොඳින් ලබාගන්න සමත් වුනා. මෑතකාලීන ඉන්දීය චිත්‍රපටයක් ලබා ගත් හොඳම IMDb ප්‍රතිශතය හිමි කරගන්නටත් Shershaah සමත් වුණු බව එහි නිෂ්පාදකයින් පසුගියදා පැවසුවා. ඒ වගේම, Shershaah හරහා දැකගන්න ලැබුණේ සිද්ධාර්ත්ගේ රංගන ජීවිතයේ හොඳම performance එක බව බොහෝ ප්‍රේක්ෂකයින්ගේ මතය වී තිබුනා. කාගිල් යුධ සමයේදී මිය ගිය කර්නල් වික්‍රම් බත්‍රාගේ සැබෑ ජීවිත කතාව පාදක කර ගනිමින් බිහි වූ මෙම සිනමාපටය නිෂ්පාදනය කළේ Karan Joharගේ Dharma Productions ආයතනය විසිනුයි. Shershaah ලබා ගත් දැවැන්ත සාර්ථකත්වය නිසාම Sidharth Malhotra සහ Karan Johar තවත් චිත්‍රපටයකට නැවත ගිවිසුම්ගත වන්නට යන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. ඒ ඉහළ නිෂ්පාදන පිරිවැයක් යොදා නිර්මාණය කෙරෙන ක්‍රියාදාම චිත්‍රපටයක් වෙනුවෙනුයි. සිද්ධාර්ත්ගේ චිත්‍රපටයකට වැයවූ ඉහළම නිෂ්පාදන පිරිවැය මෙය විය හැකි බවට විචාරකයින් පවසා තිබුනා.

Bollywood Hungama වෙබ් අඩවියට අනුව කරන් ජොහාර්ගේ නිෂ්පාදනයෙන් නිමවෙන මේ නව සිනමාපටයේ අධ්‍යක්ෂණය සඳහා Pushkar Ohja සහ Sagar Ambre යොදා ගන්නට නියමිතයි. Pushkar සහ Sagar කාලයක් තිස්සේම විවිධ ටෙලි කතාමාලා සහ චිත්‍රපටවල සහය අධ්‍යක්ෂකවරු ලෙසින් කටයුතු කළා. Uri: The Surgical Strike, Dhadak, Mardaani 2 වැනි සිනමාපට වල තිර පිටපත් අධීක්ෂක ලෙස Sagar Ambre කටයුතු කරද්දි Pathan, War, Kick වැනි නිර්මාණවල සහය අධ්‍යක්ෂ වරයෙක් විදිහට කටයුතු කරන්න Sagar Ambreට අවස්ථාව ලැබුණා. නමුත් මේ වෙනකන් තමන්ගෙම නිර්මාණයක් එළි දක්වන්න ඔවුන්ට අවස්ථාවක් ලැබී තිබුණේ නැහැ. නිෂ්පාදන කණ්ඩායම මේ වනවිටත් දර්ශන තල සඳහා සුදුසු ප්‍රදේශ සොයමින් සිටින බවත් ආරංචියි. එළඹෙන නොවැම්බර් මාසයේ සිට ඉදිරි වැඩ කටයුතු ආරම්භ කරන්නට සැරසෙන බව ඔවුන් තවදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.

2012දී සිද්ධාර්ත් රංගනයට පිවිසි Student of the Year චිත්‍රපටය නිෂ්පාදනය කළේද කරන්ගේ Dharma Productions ආයතනය විසිනුයි. ඉන්පසුව ඔහු රඟපෑ Hasee Toh Phasee (2014), Brothers (2015), Kapoor & Sons (2016), Baar Baar Dekho (2016), Ittefaq (2017) සහ Shershaah යන නිර්මාණ සියල්ලමත් එහිම නිෂ්පාදන වනවා. ඒ අනුව මෙම නව සිනමාපටය හරහා සිද්ධාර්ත් සහ කරන් ජෙහාර් එක් වන්නේ අට වෙනි වතාවට වීම විශේෂයි.

Share

28 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.