සිනමා සහ ටෙලි නිර්මාණ සඳහා උපදෙස් මාලාවක් නිකුත් කෙරේ

Avatar Nisanka Weheraduwa | May 20, 2020 1204 Views 0 Likes 5 On 1 Rating

1204 Views 5 On 1 Rating Rate it

කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමත් සමගම ලෝකය පුරා සිනමා සහ ටෙලි නිර්මාණ ක්ෂේත්‍රය අර්බුධයකට ලක්වුනා. ශ්‍රී ලංකාවේ සිනමා සහ ටෙලිනාට්‍ය කර්මාන්තයත් මේ ආකාරයෙන් අර්බුධයට ලක්වුනේ සියළු සිනමාශාලා සහ නාට්‍යශාලා වසා දැමීමත්, නිෂ්පාදන කටයුතු නැවතීමත් හේතුවෙන්. නමුත් යළි මෙම නිෂ්පාදන කටයුතු යථා තත්වයට පත්කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුවී තිබෙනවා. ඒ අනුව පෙර නිෂ්පාදන, රූගත කිරීම් සහ පසු නිෂ්පාදන කටයුතු වලදී පිළිපැදිය යුතු උපදෙස් මාලාවක් රජය මගින් නිකුත් කොට තිබෙනවා. සෞඛ්‍යසේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ විසින් මෙම උපදෙස් මාලාව සහිත ලිපිය ක්ෂේත්‍රයේ නිර්මාණකරුවන්ගේ අවධානය පිණිස යොමුකොට තිබෙනවා.

සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ලිපියේ සඳහන් වන පරිදි නිර්මාණ කටයුතු ආරම්භ කිරීමේදී පිළිපැදිය යුතු සෞඛ්‍ය උපදෙස් මෙසේයි.

පොදු සෞඛ්‍ය උපදෙස්

  • උණ, කැස්ස සෙම්ප්‍රතිශ්‍යාව හෝ එවැනි රෝග ලක්ෂණ පවතී නම් නිවසේ රැඳී සිටින්න.
  • නිතර සබන් යොදා අත් සෝදන්න. අත් සේදීමේදී අවම වශයෙන් සබන් යොදා තත්පර 20ක් පමණ අතුල්ලන්න.
  • නිතර මුඛ ආවරණයක් පළඳින්න. එය නිසි පරිදි පැළඳීමට වගබලා ගන්න.
  • අතින් මුහුණ, නාසය, ඇස ආදිය ඇල්ලීමෙන් වළකින්න.
  • කැස්ස හෝ කිවිසුම් ඇත්නම්, ටිෂූ කඩදාසියක් හෝ අතේ වැලමිටෙන් ආවරණය කරගෙන එය සිදුකරන්න. භාවිතා කළ ටිෂූ කඩදාසි කකුලින් විවෘත කරන කසල බඳුනකට දමන්න.
  • භාහිර පරිසරයේ කෙල ගැසීමෙන් වළකින්න.
  • නිතර අල්ලන ද්‍රව්‍ය හැකිතාක් සීමා කිරීමට වගබලා ගන්න.

මෙම පොදු උපදෙස් මාලාවට අමතරව ක්ෂේත්‍රයේ කටයුතු සිදුකිරීමේදී පිළිපැදිය යුතු විශේෂ සෞඛ්‍ය පුරුදු සඳහා උපදෙස් මාලාවක්ද නිකුත් කොට තිබෙනවා. එම උපදෙස් මෙසේයි.

පූර්ව නිෂ්පාදන කටයුතු අතරතුර සෞඛ්‍යාරක්ෂාව සඳහා උපදෙස්

  • හැකි සෑම විටම සැළසුම් කිරීම්, සාකච්චා, නිෂ්පාදන සැකසුම් ආදී කටයුතු අන්තර්ජාල අවකාශය භාවිතයෙන් නිවසේ සිට සිදුකරන්න.
  • අත්‍යවශ්‍ය හමුවීම් පමණක් සිදුකරන්න. ඒ සඳහා අනිවාර්යෙන්ම සිටිය යුතු පිරිස පමණක් කැඳවීමට වගබලා ගන්න. ඒ සෑම අවස්ථාවකම එකිනෙකා අතර මීටරයක දුරක් පවත්වා ගැනීමට කටයුතු කරන්න.
  • කොරෝනා වෛරසය ව්‍යාප්තිය පාලනය සඳහා වන සමාජ දැනුවත් කිරීමේ ක්‍රියාවලියට අදාළ කොටස හැකිනම් ඔබේ නිර්මාණ තුළට ඇතුල් කිරීමට කටයුතු කරන්න.

නිෂ්පාදන කටයුතු අතරතුර පිළිපැදිය යුතු උපදෙස් මාලාවක් අධ්‍යක්ෂවරුන් සහ නිෂ්පාදක වරුන්ගේ අවධානය පිණිස නිකුත් කොට තිබෙනවා. එම උපදෙස් මෙසේයි.

  • අත් සේදීම සඳහා අවශ්‍ය වන පහසුකම් සෑම රූගත කිරීම් ස්ථානයකම ස්ථාපිත කරන්න. රූගත කරනු ලබන ස්ථානයේ මෙන්ම ශිල්පින් රැඳී සිටින ස්තානයන්හිද ප්‍රමාණවත් තරමින් hand sanitizers සපයන්න.
  • හැකි සෑම විටම රූගත කිරීමේ ස්ථානයට අදාළ අවම ශිල්පින් ප්‍රමාණය කැඳවීමට වගබලා ගන්න. විශාල පිරිසක් සහභාගී වන රූගත කිරීම් හැකිතාක් මගහරින්න.
  • රූගත කිරීම් කෙරෙන ස්ථානයට පැමිණෙන සියලු ශිල්පීන් අදාළ පූර්ව සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේද අනුගමනය කිරීමට දැනුවත් කරන්න. ඒ පිලිබඳ අධීක්ෂණය නිෂ්පාදන කළමනාකරුවන් විසින් කළ යුතුය.
  • එක පුද්ගලයකුට වඩා වැඩි ප්‍රමාණයක් භාවිතා කරන සියලු උපාංග (නිෂ්පාදන උපාංග, දොර ඇල්ලුම්, Restrooms ආදී සියල්ල) නිතර ඇල්කොහොල් සාන්ද්‍රිත දියර මගින් හෝ සුදුසු ක්‍රමයකින් පිරිසිදු කිරීමට වගබලා ගන්න.
  • කිසියම් රෝග ලක්ෂණයක් පෙන්නුම් කරන කිසිවකු රූගත කිරීමේ ස්ථානයට ඇතුළත් කර නොගන්න. ඔවුන් නිසි වෛද්‍ය පරීක්ෂාවන් සඳහා යොමු කරවන්න.
  • කොරෝනා වෛරසය සහ එහි ව්‍යාප්තිය පිළිබඳව ඔබේ කණ්ඩායමේ සියල්ලන්ම නිරන්තරයෙන් දැනුවත් කරන්න.
  • කණ්ඩායමේ සියල්ලන්ට මුඛ ආවරණ සැපයීමට කටයුතු කරන්න. හැම විටම මීටරයක පරතරයකින් සිටීමට දැනුවත් කරන්න.
  • අදාල ඇඳුම් සියල්ල වෙන් වෙන්ව තබා ගැනීමට කටයුතු කරන්න. ඒවා හොඳින් සේදීමට වගබලා ගන්න. කිසිවිටෙකත් හුවමාරු නොකිරීමට වගබලා ගන්න.

මේ අතර ප්‍රවාහන කටයුතු වලදී හැකි උපරිම පරතරයකින් ගමන් කළ හැකි පරිදි අදාළ පහසුකම් සපයන ලෙසටත්. හැකි සෑම අවස්තාවකම පෞද්ගලික වාහන භාවිතා කිරීමට ඔවුන් දැනුවත් කරන ලෙසටත් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නිවේදනයේ සඳහන් වනවා.

රූගත කිරීම් සඳහා අත්‍යවශ්‍ය කණ්ඩායම පමණක් කැඳවන ලෙසටත්, ඔවුන්ට නිසි වාතාශ්‍රය සහ ඉඩ පහසුකම් සහිත ස්ථාන සපයාදෙන ලෙසටත්, අවම ප්‍රමාණයක් සහභාගී වන පරිදි නිෂ්පාදන සැළසුම් සකස් කරන ලෙසටත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.

වේශ නිරූපණ කටයුතු සඳහා උපදෙස්

  • වරකට එක අයෙක් පමණක් වේශ නිරූපණ කටයුතු සිදුකරන කාමරයට යැවීමට කටයුතු කරන්න.
  • එම කටයුතු සඳහා වෙනම විශේෂ කුටියක් සකස් කරන්න
  • වේශ නිරුපන ශිල්පියා හෝ ශිල්පිනිය අනිවාර්යෙන්ම මුඛ ආවරණ පැළඳිය යුතුයි.
  • ඔහු / ඇය භාවිතා කරන උපකරණ සහ මේසය නිතරම විෂබීජ හරණය කිරීමට වගබලා ගන්න.
  • වේශ නිරූපණ ශිල්පියාට නිතර ඇත සේදීමට sanitize කිරීමට අවශ්‍ය පහසුකම් ඔහු / ඇය සමීපනම සලස්වා තබන්න.
  • රංගන ශිල්පී ශිල්පිනියන් හැකි සෑම විටම තමන්ගේ පෞද්ගලික රූපලාවන්‍ය කට්ටලය සහ ඇඳුම් ආයිත්තම් භාවිතා කිරීමට කටයුතු කරන්න.

ආහාර සපයන පුද්ගලයා හෝ කණ්ඩායම නිසි පරිදි සෑම විටම ඇත සේදීමට සහ මුහුණු ආවරණ පැළඳීමට කටයුතු කළ යුතු අතර, සියළු ආහාර සහ පාන වර්ග විනාශ කළ හැකි ඇසුරුමක පමණක් සැපයීමට වගබලා ගත යුතුය. Buffet ක්‍රමයට කෑම සැපයීම සම්පුර්ණයෙන් තහනම් වන අතර ආහාර සහ පාන වර්ග බෙදා ගැනීමෙන් වැළකිය යුතුය.

පසු නිෂ්පාදන කටයුතු සඳහා අත්‍යවශ්‍ය පුද්ගලයන් පමණක් සහභාගී කරවීමටත්, එම උපකරණ සියල්ල විෂබීජ හරණය කරවීමටත් කටයුතු කළ යුතුය.

මෙම උපදෙස් නිසි පරිදි පිළිපදිමින් ඔබේ නිෂ්පාදන කටයුතු ආරම්භ කරන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සිය නිව්දනයේ සඳහන් කොට තිබෙනවා.

 

Share

1204 Views 5 On 1 Rating Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.