‘සුගතපාල සෙනරත් යාපා’ මතකාවලෝකනය
පසුගිය අගෝස්තු 25 වනදා ජීවන ගමනින් සමුගත්, ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂක සුගතපාල සෙනරත් යාපා සූරීන් මෙරට සිනමාව උදෙසා පුරෝගාමී මෙහෙවරක් ඉටුකළ අතිදක්ෂ සිනමාකරුවෙක්; තිර රචකයෙක්; අධ්‍යක්ෂකවරයෙක්; සහ ගීපද රචකයෙක්.
’70 දශකයේ පුරෝගාමී චිත්‍රපටකරුවෙකු වූ සුගතපාල සෙනරත් යාපා මහතා මෙරට සිනමාවට ජනකාන්ත සිනමාපට කිහිපයක්ම නිර්මාණය කොට තිබෙනවා. පාසල් වේදිකාව තුළින් කලාවට පිවිසෙන ඔහු පසුව ගුවන්විදුලියට එකතු වන අතර එහිදී මහගම සේකර ඇතුළු කලාකරුවන් සමඟින් ජනකාන්ත ගුවන් විදුලි නාට්‍ය රැසකටම සිය දායකත්වය සපයන්නට ද ඔහුට හැකියාව ලැබෙනවා.
උපාලි වනසිංහ විසින් අධ්‍යක්ෂණය කළ දස්කොන් (1962) සහ දෙනවක හාමිනේ පළමුවෙන්ම රංගනයට පිවිසි සාමා (1965) චිත්‍රපටවල ඇතැම් භූමිකා සඳහා රංගනයෙන් එක්වන්නටත් ඔහුට අවස්ථාව ලැබෙන්නේ මේ අතරේදී යි.
සුගතපාල සෙනරත් යාපා සූරීන් මුලින්ම අධ්‍යක්ෂණය කරන්නේ මිනිසා සහ කපුටා නැමැති කෙටි චිත්‍රපටයයි. ඒ වෙනුවෙන් ඉන්දීය ජාත්‍යන්තර කෙටි චිත්‍රපට උළෙලේදී රජත සම්මානයෙන් පිදුම් ලබන ඔහු 1969 වසරේදී සිය පළමු වෘතාන්ත සිනමාපටය අධ්‍යක්ෂණය කරනවා.
ඒ දශක ගණනාවකට පසුවත් මෙරට සිනමා රසිකයින්ගේ නොමද ආකර්ෂණය දිනාගන්නා, හන්තානේ කතාව සිංහල සිනමාපටයයි. සිංහල සිනමාවේ නොමැකෙන ප්‍රේමවන්තයා, විජය කුමාරතුංගයන් සිනමාවට පිවිසෙන්නේ ද මෙම හන්තානේ කතාව චිත්‍රපටය හරහායි.
හන්තානේ කතාව චිත්‍රපටය ලාංකීය සිනමාවේ සුවිශේෂී සංදිස්ථානයක් සලකුනු කරන නිර්මාණයක් ලෙසටයි අදටත් හැඳින්වෙන්නේ. ඉන්දීය බලපෑම සහ එම ආභාෂය ඔස්සේ ගොඩ නැඟෙමින් තිබුනු ලාංකීය සිනමාව එයින් මුදවාගෙන, මෙරට අනන්‍යතා සහිත සිනමාවක් බිහිවීමට මුල් අඩිතාලම ගොඩ නැඟුවේ හන්තානේ කතාව වැනි සිනමා නිර්මාණයි…
එය පේරාදෙණිය සරසවිය වටා ගෙතෙන ආදර කතාවක් රැගත් චිත්‍රපටයක්. විජය කුමාරතුංග, ටෝණි රණසිංහ, අමරසිර කලංසූරිය, ස්වර්ණා මල්ලවආරච්චි වැනි ජනප්‍රිය නලු නිළියන් රැසක් එහි රංගනයෙන් එක්වනවා.
ඉන්පසුව 1977 වසරේදී පෙම්බර මධූ සහ 1981 වසරේදී ඉන්දුට මල් මිටක් යන චිත්‍රපට දෙකත් සුගතපාල සෙනරත් යාපා මහතාගේ අධ්‍යක්ෂණයෙන් හැඩවනවා. පෙම්බර මධූ සිනමාපටය අවසාන දෙකක් සහිතව නිර්මාණය වූ චිත්‍රපටයක් වන අතර එය මෙරට රසිකයින්ට නැවුම් සිනමා අත්දැකීමක් ගෙන දුන් අවස්ථාවක්.
වෘතාන්ත චිත්‍රපටවලට අමතරව රජයේ චිත්‍රපට සංස්ථාව වෙනුවෙන් 30කට ආසන්න වාර්තාමය චිත්‍රපට ප්‍රමාණයක් ද ඔහු විසින් අධ්‍යක්ෂණය කළා. ගරුඬගල, ඉසුර සයුර, දළඳා සිරිත, පියා සහ දරුවෝ, ආචාර්ය කොල්වින්, දළඳා වහන්සේ, උඩවැඩියා මල්, මහ සයුරෙන් දිය දෝතක් ආදිය ඔහු විසින් අධ්‍යක්ෂණය කළ වාර්තාමය චිත්‍රපට අතුරින් කිහිපයක්…
කලක් රූපවාහිනී සංස්ථාවේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂක තනතුරට පත් වුනු සෙනරත් යාපා සූරීන් රජයේ චිත්‍රපට උපදේශකවරයෙකු ලෙසත් සේවය කළා.
පසුගිය වසරවල ජනාධිපති සිනමා සම්මාන උළෙල සහ Agenda 14 සිනමා උළෙලේදී ද ඒ මහතාව ඇගයීමට ලක්වුනු අතර 2016 වසරේ සරසවිය සිනමා උළෙලේදී ඔහුව රණතිසර ගෞරව සම්මානයෙන් පිදුම් ලබන්නේ මෙරට සිනමාව උදෙසා සිදුකළ අනුපමේය මෙහෙවර ආවර්ජනය කරමිනුයි.
මෙරට සිනමාව වෙනස් කළ ප්‍රවීණ සිනමාවේදියානෙනි,
ඔබට සුබ ගමන්!!!!
Written by Kavinu Weerakkody