සුගත් නැතුව දම්මි ආයෙත් ඉස්කෝලෙ ගිහින්

Avatar Nisanka Weheraduwa | January 30, 2020 962 Views 0 Likes 3 On 1 Rating

962 Views 3 On 1 Rating Rate it

සාහිත්‍යවේදී කරුණාසේන ජයලත් රචනා කළ “ගොළු හදවත” නවකතාව එදා වගේම අදත් ජනප්‍රියයි. එදා වගේම අදත් ප්‍රසිද්ධ මේ නවකතාව ඇසුරින් ආචාර්ය ලෙස්ටර් ජේමිස් පීරිස් චිත්‍රපටයක් කලේ 1968 වසරේ. චිත්‍රපටයේ ප්‍රධාන චරිත ද්විත්වය වුනු සුගත් සහ දම්මි ලෙස වික්‍රම බෝගොඩ සහ අනුලා කරුණාතිලක රංගනයෙන් දායක වුනා. මේ නවකතාවට පාදක වුනේ හොරණ තක්ෂිලා මධ්‍යවිද්‍යාලය වුනත්, චිත්‍රපටය සඳහා අධ්‍යක්ෂවරයා වෙනත් පාසලක් යොදාගෙන තිබුණා. ඒ නිසා චිත්‍රපටයේ දම්මිට කෙදිනකවත් සැබෑ දම්මි ගිය පාසලට යන්න අවස්ථාවක් ලැබුනේ නැහැ. කොහොම නමුත් පසුගියදා ඒ අවස්ථාව උදා වුනා. හොරණ මධ්‍යවිද්‍යාලයීය ආදී 2018 කණ්ඩායම විසින් පවත්වපු සුහද හමුවේ විශේෂ ආරාධිතයා විදිහට රංගවේදීනී අනුලා කරුණාතිලක ආරාධනා ලැබුවා.

ඇය වෙනුවෙන් විශේෂ උපහාරයක් සූදානම් කිරීමට “සහස්‍ර 20” කණ්ඩායම කටයුතු යොදා තිබුනා. ගොළු හදවත චිත්‍රපටය තිරගත වී අවුරුදු 50ක් ඉක්ම ගියාට පස්සෙ දම්මිට ආපහු ඉස්කෝලෙ යන්න ලැබුනේ ඒ විදිහට. අනුලා කරුණාතිලක බොහොම උද්‍යෝගයෙන් මේ ආරාධනාව බාරගෙන තක්ෂිලාවට ගිය බවත්, විදුහල පුරා ඇවිදිමින් සැබෑ දම්මිව ගොඩනැගූ තැන් දැකබලා ගත් බවත් සහස්‍ර කණ්ඩායම පැවසුවා. සරසවි සම්මාන උළෙලේදී හොඳම නිළිය ලෙස සම්මාන ලැබීමට පවා තමන්ට අවස්ථාව හිමිවුණේ ගොළු හදවතේ දම්මි නිසා බවත් අනුලා ආදරයෙන් සිහිපත් කොට තිබුණා.

 

Share

962 Views 3 On 1 Rating Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.