ජනප්‍රිය චිත්‍රපට මාලාවක නවතම දිගහැරුම : Aashiqui 03
මෑතක සිට හින්දි සිනමාපට වර්ජනය කරමින් ඇතිවුනු Boycott රැල්ල හමුවේ ජනප්‍රිය බොලිවුඩ් නළු නිළියන්ගේ චිත්‍රපට ගණනාවක්ම අසාර්ථක වුනා. වසර ගණනාවක සිට ඉන්දියානු සිනමාවේ ජනප්‍රියම තලයේ සිටි රංගන ශිල්පීන් බොහෝ දෙනෙකුට තමන්ගේ නිර්මාණවල නිෂ්පාදන පිරිවැය සපුරා ගැනීමටවත් නොහැකි මට්ටමක් අවසානයේදී උදා වුනා.
Jayeshbhai Jordaar, Samrat Prithviraj, Dhaakad සහ Raksha Bandhan ආදී චිත්‍රපට ගණනාවකට දැවැන්ත මූල්‍යමය පාඩු අත් විඳින්නට සිදුවුනු අතර මෙම වර්ජන රැල්ල ඔවුන්ගේ කිසිවෙකුගේ තරු ගුණය හමුවේ නැවතුනේ නැහැ. මේ නිසාම තමන්ගේ upcoming සිනමාපට නිකුත් කරන දින හැකිතාක් කල් දැමීමට පවා ඇතැම් නිෂ්පාදකවරුන් තීරණය කළා.
ආමීර්ගේ නවතම සිනමා නිර්මාණය වූ Lal Singh Chaddha තිරගත වීම ආරම්භ වීමටත් ප්‍රථමව, ඊට එරෙහිව #BoycottLalSinghChaddha නමින් ඇරඹි ඒ රසික විරෝධතාව හේතුවෙන්, නිෂ්පාදකවරුන්ට විශාල මුල්‍යමය පාඩුවක් අත්විඳීමට සිදුවුනා. දින දහයක් ගතවීමටත් පෙර බොහෝමයක් සිනමා ශාලාවලින් Lal Singh Chaddha චිත්‍රපටය ඉවත් කරගෙන තිබුනා.
නමුත් බොලිවුඩයේ ඇතැම් රංගන ශිල්පීන්ට නම් මෙම boycott වර්ජනය හමුවේ කිසිදු බලපෑමක් ඇති වුනේ නැහැ. එතරම් ප්‍රසිද්ධියක් නොතිබූ හින්දි සිනමාවේ සාමාන්‍ය – දෙවන පෙළ (tier 02) රංගන ශිල්පියෙකුගේ චිත්‍රපටයක් 2022 වසරේ දෙවන වැඩිම ආදායම රැස් කරගන්නටත් සමත් වී තිබීම මීට නිදසුනක්. ඒ Karthik Aryan රඟපෑ Bhool Bhulaiyaa 2 චිත්‍රපටයයි.
Karthik Aryan රංගනයට පිවිසෙන්නේ 2011 වසරේදී වුනත් මෑතක් වනතුරුම ඔහු ක්ෂේත්‍රය තුළ එතරම් ජනප්‍රියත්වයක් හිමි කරගෙන සිටි නළුවකු නොවෙයි. 2011 සිට මේ දක්වාම, වසරකට එක් චිත්‍රපටයකට පමණක් රංගනයෙන් දායක වී තිබෙන ඔහුව සාමාජ මාධ්‍ය තුළ පවා එතරම් කතාබහට ලක්වන්නේ නැහැ.
නමුත් Pyaar Ka Punchnama, Silvat, Kaanchi වැනි නිර්මාණ තුළින් ඔහු දැක්වූ දක්ෂතාවය නිසා පසුකාලීනව බොලිවුඩයේ ප්‍රධාන ස්ටුඩියෝ කිහිපයකම high scale චිත්‍රපට සඳහා කාර්තික්ට අවස්ථාව ලැබුනා. Sonu Ke Titu Ki Sweety, Dhamaka, Luka Chuppi ආදිය ඔහු එලෙස රඟපෑ ජනප්‍රිය සිනමාපටවලින් කිහිපයක්… නමුත් මෙම වර්ෂයේදී තිරගත වූ Bhool Bulaiyaa 2 සැලකෙන්නේ ඒ සියල්ලටම වඩා කාර්තිගේ රංගන ජීවිතය වෙනස් කළ නිර්මාණය ලෙසටයි.
ලෝ පුරා ඉන්දියානු කෝටි 300කට ආසන්න මුදලක් රැස් කර ගනිමින් මෑතකාලීන BoxOffice වාර්තා කිහිපයක්ම අලුත් කළ Bhool Bulaiyaa 2 සිනමාපටය, කාර්තික්ගේ ඉහළම ආදායම ලැබූ නිර්මාණය ද වනවා. තිරගත කළ දිනයේ සිටම ධනාත්මක ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබා ගන්නට මීට හැකි වූ අතර චිත්‍රපටයේ ගීත ඇල්බමය තවමත් ඉන්දියාව පුරාම එක සේ ජනප්‍රියයි. මෙහි සාර්ථකත්වය නිසාම Bhool Bulaiyaa 2 චිත්‍රපටය පාදක කරගත් කොමික් කතා මාලාවක් ද පසුගියදා එළි දැක්වුනා.
Bhool Bulaiyaa 2 හි සාර්ථකත්වයෙන් පසුව රංගන ශිල්පී Karthik Aryan රංගනයෙන් එක්වන නවතම හින්දි සිනමාපටය ගැනත් දැන් නිල වශයෙන්ම නිවේදනය කොට තිබෙනවා. ඒ සුප්‍රසිද්ධ Aashiqui චිත්‍රපට මාලාවේ නවතම දිගහැරුම වන “Aashiqui 03” සිනමාපටයයි!
ඉන්දියානු සිනමාවෙන් බිහිවුනු ජනප්‍රියම රොමාන්තික චිත්‍රපට මාලාවක් වන මෙහි පළමු නිර්මාණය නිකුත් වූයේ දැනට දශක 04කට පෙර 1990 වසරේදී යි. පළමු Aashiqui චිත්‍රපටයේ ඇතුළත් වූ ගීත ඇල්බමය එවකට හින්දි සිනමාවේ ජනප්‍රියතම චිත්‍රපට ගීත ඇල්බමය වූ බවටයි අන්තර්ජාලයේ සඳහන් වන්නේ. එමෙන්ම ‘එතෙක් මෙතෙක් හින්දි සිනමාපටයක දැකගත හැකි වූ විශිෂ්ටතම ගීත ඇල්බම 100’ අතරේත් එය දැකගත හැකියි. Aashiqui (1990) ඇල්බමයෙන් විකිණූ පිටපත් සංඛ්‍යාව ලක්ෂ 200කට අධිකයි.
ඉන්පසුව එහි ප්‍රතිනිර්මාණ අයිතිය ලබා ගත් T-Series ආයතනය 2013 වසරේදී මෙම චිත්‍රපට මාලාවේ දෙවන දිගහැරුම සිනමා ශාලාවලට මුදා හැරියා. Aditya Roy Kapur සහ Sharddha Kapoorගේ ප්‍රධාන රංගනයෙන් හැඩවුනු එය අධ්‍යක්ෂණය කළේ Mohit Suri විසිනුයි. තිරගත කළ දිනයේ පටන් එහි ඇතුළත් වූ ගීත ඇල්බමය මුලු ඉන්දියාවේම අවධානයට පත් වුනේ පළමු චිත්‍රපටයට නොදෙවෙනි ජනප්‍රියත්වයක් ලබමින්…
Tum Hi Ho, Sunn Raha Hai ආදී ගීත සමස්ත කලාපයේම ආකර්ෂණය දිනා ගන්නට සමත් වූ අතර කෝටි 100කට අධික ආදායමක් සමග BoxOffice සාර්ථකත්වයක් ලබා ගැනීමටත් ඊට හැකියාව ලැබුනා.
දින කිහිපයකට පෙර නිවේදනය කළ මෙම තුන්වන Aashiqui සිනමාපටය අධ්‍යක්ෂණය සඳහා ගිවිසුම්ගතව සිටින්නේ Anurag Basuයි. වර්තමාන බොලිවුඩයේ දක්ෂතම සිනමාකරුවෙකු වන ඔහු කාර්තික් අර්යන් සමඟ නිර්මාණය කරන පළමු සිනමාපටය වන්නේ ද මෙයයි. Murder | Jagga Jasoos | Burfi | Ludo වැනි චිත්‍රපට අධ්‍යක්ෂණය කරමින් රසිකයින්ට අතරට පැමිණි ඔහු Filmfare සහ IIFA සම්මාන කිහිපයක්ම ජයග්‍රහණය කළ සිනමාකරුවෙක්. Aashiqui 03 හි ප්‍රධාන කාන්තා භූමිකාව සඳහා තෝරාගත් නිළිය පිලිබඳ විවිධ මාධ්‍යවල නොයෙක් නම් සඳහන් වුනත් ඒ කිසිවක් නිළ වශයෙන් තහවුරු වී නැහැ.
“ Ab Tere Bin Ji Lenge Hum
Zeher Zindagi Ka Pi Lenge Hum #Aashiqui3 ❤
This one is going to be Heart-wrenching !!
My First with Basu Da “
කාර්තික් විසින් සිය Instagram ගිණුමේ සටහනක් තබමින් රසිකයින් සමඟ මෙම පුවත බෙදා ගත්තේ එලෙසයි.
Aashiqui දෙවන චිත්‍රපටයේ නිෂ්පාදකවරුන් වන Mukesh Bhatt – Bhushan Kumar මෙම තෙවන චිත්‍රපටය වෙනුවෙන් යළිත් එක්වන අතර මෙහි තිර පිටපත සහ කතා සංකල්පය රචනා කරන්නේත් අධ්‍යක්ෂක අනුරාග් බාසු විසිනුයි. හින්දි සිනමාවේ අතිශය දක්ෂ සංගීතවේදියෙකු වන Pritam මෙම සිනමාපටයේ සංගීත අධ්‍යක්ෂණය සඳහා එක්ව සිටිනවා. Aashiqui 02 හි සංගීත සංයෝජනයට දායක වුනු Ankit Tiwariත් ප්‍රීතම් සමග මෙහි සංගීත නිර්මාණයට එක් විය හැකි බවටත් ඉන්දීය මාධ්‍ය වාර්තා කොට තිබෙනවා. එළඹෙන වසර මුලදී මෙහි රූගත කිරීම් ඇරඹිය හැකි බවටත් තොරතුරු සඳහන් වනවා.
Written by Kavinu Weerakkody