සුප්‍රසිද්ධ දමිළ නලු විජෙයිගේ නවතම චිත්‍රපටය – Thalapathy68

Avatar Kavinu Weerakkody | May 23, 2023 140 Views 0 Likes 5 On 1 Rating

140 Views 5 On 1 Rating Rate it

තමිල්නාඩුවෙ හි වර්තමාන දමිළ සිනමාවේ ජනප්‍රියම සහ වැඩිම රසිකයින් පිරිසක් සිටින රංගන ශිල්පියා ලෙසට අවිවාදයෙන්ම සැලකෙන ජෝසප් විජෙයි චන්ද්‍රසේකර් හෙවත් Thalapathy Vijayගේ 67වන චිත්‍රපටයේ නිෂ්පාදන කටයුතු මේ දිනවල එකදිගට සිදුවනවා.
Kaithi, Master, Vikram වැනි චිත්‍රපට ඔබ වෙතට ගෙන ආ ලොකේෂ් කනගරාජ් විසින් අධ්‍යක්ෂණය කරන එම සිනමාපටය නම් කර තිබෙන්නේ “LEO” යනුවෙනුයි. විජෙයිට අමතරව හින්දි සිනමාවේ ජනප්‍රිය නලුවෙකු වන Sanjay Duttවත් එයින් දැකගත හැකියි.

මේ වනවිට LEO සිනමාපටයේ රූපගත කිරීම් බොහෝ ප්‍රමාණයක් අවසන් වී තිබෙන අතර මෙවසර අග භාගයේදී එහි තිරගත කිරීම් සිදු කරගන්නටයි නිෂ්පාදකයින් විසින් සැලසුම් කරන්නේ. දමිළ නලු විජෙයිගේ සිනමා ජීවිතයේ මෙතෙක් දැවැන්තම සිනමාපටය ලෙසට හැඳින්වෙන්නේ ද LCU (Lokesh Cinematic Universe) නැමැති ක්‍රියාදාම සිනමා විශ්වයට අයත් මෙම LEO දකුණු ඉන්දියානු චිත්‍රපටයයි.

ඔහුගේ එම 67වන චිත්‍රපටයෙන් පසුව විජෙයි විසින් භාරගන්නා නවතම නිර්මාණය කුමක් වේද යන්න දැනට කාලයක සිට සමාජ මාධ්‍ය අවකාශය තුළ නිරන්තරයෙන්ම කතාබහට ලක් වූ කාරණාවක්… LEO සිනමාපටයත් family entertaining ගනයේ නිර්මාණයකට වඩා, දරුනු Action based ක්‍රියාදාම චිත්‍රපටයක් වන නිසා විජෙයිගේ 68වන චිත්‍රපටය පවුලේ සැමට නැරඹිය හැකි, සටන් දර්ශන මෙන්ම හාස්‍යත් මුසු family entertainer නිර්මාණයක් වනු ඇති බවටයි බොහෝ දෙනෙකු විශ්වාස කළේ.
එමෙන්ම එය අධ්‍යක්ෂණය සඳහා Theri, Mersel, Bigil අධ්‍යක්ෂණය කළ ඇට්ලී කුමාර් යොදා ගැනීමට සූදානම් බවටත් පුවත් පළවුනා.

කෙසේ වුවත් එම ඉඟි සියල්ලම අසත්‍යයක් කරමින්, දමිළ නලු විජෙයිගේ 68වන චිත්‍රපටය ගැන පළමු නිවේදනය ඊයේ දිනයේදී නිල වශයෙන්ම දැනුම් දුන්නා. තවමත් නිශ්චිත නමක් යෝජනා වී නොමැති එම චිත්‍රපටයෙ හි අධ්‍යක්ෂකවරයා, සංගීත අධ්‍යක්ෂකවරයා සහ නිෂ්පාදන ආයතනය ගැන තහවුරු කරමින් announcement video පටයක් මාධ්‍යයට නිකුත් වුනු අතර චිත්‍රපටයේ වැඩ කටයුතු LEOට පසුව ඇරඹීමට නියමිතයි.

පහත සබැඳියෙන් එක් කර තිබෙන්නේ එම නිල නිවේදනයයි…

ඒ අනුව Thalapathy68 චිත්‍රපටය අධ්‍යක්ෂණය කිරීමට ගිවිසුම්ගත ව තිබෙන්නේ ප්‍රසිද්ධ දමිළ චිත්‍රපට රාශියක් අධ්‍යක්ෂණය කළ Venkat Prabhu විසිනුයි. වෙන්කට් ප්‍රභූ සහ විජෙයි අතර මාස 10කට අධික කාලයක් පුරාවට මෙම චිත්‍රපටය ගැන විවිධ සාකච්ඡා ඇති වී තිබෙන අතර වෙන්කට් ප්‍රභූගේ කතාවකට විජෙයිගේ විවිධ අදහස් සහ වෙනස් කිරීම් ද ඇතුළත් කරමින් අවසාන තිර පිටපත finalize කොට තිබෙනවා.
වෙන්කට් ප්‍රභූ විසින්ම මේ බව මාධ්‍යයට පැවසූයේ ඊයේ දිනයේදී නිකුත් කළ නිල නිවේදනයෙන් පසුවයි. එමෙන්ම, Thalapathy68 ගැන සාකච්ඡා කිරීමට මීට මාස 10කට පෙර ඔහු සහ විජෙයි හමුවූ අවස්ථාවේදී ලබා ගත් ඡායාරූපයකුත් ඔහු විසින්ම අන්තර්ජාලයට නිකුත් කළා. මෙය ඔවුන් දෙදෙනාගේ සුසංයෝගයෙන් බිහිවන පළමු සිනමාපටයයි.

2007 වසරේදී Chennai 60028 අධ්‍යක්ෂණය කරමින් සිනමාවට පිවිසි වෙන්කට් ප්‍රභූ Mass, Goa, Biriyani වැනි ජනප්‍රිය තලයේ වාණිජ චිත්‍රපට කිහිපයක්ම නිර්මාණය කළා. මෑතකදී ඔහු වැඩිපුරම රසිකයින් අතරෙ හි කතාබහට ලක්වූයේ Maanadu සිනමාපටයත් සමඟයි. STR ප්‍රධාන චරිතය රඟපෑ එය ඉන්දීය කෝටි 100 අධික ආදායමක් වාර්තා කළා. අජිත් කුමාර් රඟපෑ Mankatha (2011) වෙන්කට් ප්‍රභූ අධ්‍යක්ෂණය කළ ජනප්‍රියම චිත්‍රපටය වන අතර ඔහුගේ නවතම සිනමාපටය, Custody (2023) තිරගත වුනේ මීට සති කිහිපයකට පෙරදී යි.

Thalapathy68 හි නිවේදනයෙන් පසුව දමිළ සිනමා රසිකයින් සතුටින් ඉපිල ගිය තවත් හේතුවක් වූයේ එහි සංගීත අධ්‍යක්ෂකවරයා ලෙස Yuvan Shankar Rajaව තෝරාගෙන තිබීම නිසායි. Venkat Prabhuගේ සමීප නෑදෑයෙක් වීම නිසාත්, Venkat Prabhuගේ සිනමා ජීවිතයේ පළමු නිර්මාණයේ සිට මේ දක්වා සෑම චිත්‍රපටයකම සංගීත අධ්‍යක්ෂකවරයා යුවන් ශන්කර් රාජා වූ නිසාත්, සුපුරුදු පරිදි මෙහි සංගීත නිර්මාණය සඳහා තෝරාගෙන තිබෙන්නේත් ඔහුවයි. නමුත් ඊටත් වඩා Vijay සහ Yuvanගේ සුසංයෝගය දමිළ සිනමා රසිකයින් අතිශය උනන්දුවෙන් බලා සිටි අවස්ථාවක්…
2003 වසරේදී Pudhiya Geethai නැමැති විජෙයිගේ චිත්‍රපටයෙන් පසුව ඔවුන් දෙදෙනා මෙතෙක් කිසිදු නිර්මාණයකට සම්බන්ධ වී නැහැ. විජෙයි පසුගිය වසර කිහිපය පුරාවට විවිධ සංගීත අධ්‍යක්ෂකවරුන් සමඟින් කටයුතු කළ අතර දමිළ සිනමාවෙන් එපිට තෙළිඟු සංගීත අධ්‍යක්ෂකවරුන්වත් තමන්ගේ චිත්‍රපටවලට යොදාගත්තා.
එවන් පසුබිමක, Yuvan සහ Vijay සම්බන්ධ වන නවතම චිත්‍රපටයක් අරඹන තුරු සමස්ත තමිල්නාඩු රසිකයින්ම සිටියේ බොහොම උන්මාදයෙන්…

මෙම නවතම සිනමාපටයේ නිෂ්පාදකයින් ලෙසින් සම්බන්ධ වන්නේ AGS Entertainment සිනමා නිෂ්පාදන ආයතනයයි. AGS Entertainment වෙනුවෙන් Kalpathi S Aghoram, Kalpathi S Ganesh සහ Kalpathi S Suresh මෙහි නිෂ්පාදන පිරිවැය දරන්නට එක්ව තිබෙනවා. මීට පෙර විජෙයි රඟපෑ Bigil (2017) නිෂ්පාදනය කළේ ද ඔවුන් විසිනුයි. එය ඉන්දියානු කෝටි 300කට අධික බොක්ස්-ඔෆිස් ආදායමක් ලබා ගනිමින් විජෙයිගේ රංගන ජීවිතයේ වැඩිම ආදායම්ලාභී සිනමාපටය බවට පත්වන්නටත් හැකිවුනා.
මෙය AGS Entertainment ආයතනයෙන් බිහිවන 25වන චිත්‍රපටය වීම තවත් විශේෂත්වයක්!

Thalapathy68 ගැන වැඩිදුරටත් විස්තර කරමින් එම නිෂ්පාදන ආයතනයෙන් නිකුත් කළ මාධ්‍ය නිවේදනයෙ හි සඳහන් වූයේ මෙම චිත්‍රපටයට ලෝ පුරා දක්ෂතම තාක්ෂණික ශිල්පීන් රැසක් එකතු වන බවයි. උපරිම ගුණාත්මකබාවයකින් සහ රසවින්දනයකින් යුතු චිත්‍රපටයක් රසිකයින්ට තිළිණ කිරීමට AGS Entertainment පොරොන්දු වන බවත් එම නිවේදනයෙ හි සඳහන් වුනා.

එමෙන්ම, Thalapathy68 සම්බන්ධව කියැවෙන තවත් රසවත් තොරතුරක් වන්නේ මෙම සිනමාපටයට විජෙයි විසින් කෝටි 200ක ගාස්තුවක් ලබාගෙන තිබෙන බවයි. එම තොරතුර සත්‍යයක් නම්, තනි චිත්‍රපටයක් වෙනුවෙන් කෝටි 200ක මුදලක් ලබාගත් පළමු සහ එකම ඉන්දීය නලුවා ලෙසින් Thalapathy Vijay වාර්තා අලුත් කිරීමට නියමිතයි. එමෙන්ම, සමස්ත ඉන්දියාවෙන්ම චිත්‍රපටයක් සඳහා වැඩිම මුදලක් අය කරන නලුවා බවට පත් වන්නේ ද ඔහුයි.

Venkat Prabhuට පෙර විජෙයිගේ මෙම 68වන සිනමාපටය අධ්‍යක්ෂණය කිරීමට නියමිත යැයි විවිධ ගොසිප් පළවූයේ තෙළිඟු සිනමාකරුවෙකු වන Gopichand Malineni විසිනුයි. Winner, Krack වැනි මාස් – ඇක්ෂන් ශානරයේ ක්‍රියාදාම චිත්‍රපට රැසක් අධ්‍යක්ෂණය කළ ඔහුගේ අවසාන චිත්‍රපටය Veera Simha Reddy, ලාංකීය ප්‍රේක්ෂකයින් අතරත් ජනප්‍රියයි. නමුත් මෙම වසර මුල තිරගත වූ Varisu හි අධ්‍යක්ෂකවරයාත් තෙළිඟු සිනමාකරුවෙකු වූ නිසාවෙන්දෝ, විජෙයි විසින් ගෝපිචන්ද්ගේ තිර පිටපතට එකඟ වී නැහැ.
ඉන්දීය මාධ්‍ය වාර්තා කරන අන්දමට Venkat Prabhuට අවස්ථාව හිමිවන්නේ ඉන් පසුවයි.

චිත්‍රපටයේ සෙසු චරිත සඳහා එක්වන නලු නිළියන් ගැන කිසිදු නිල තොරතුරක් නිකුත් වී නැතත්, සුරූපී දකුණු ඉන්දීය නිළි Tamannaah Bhatia මෙහි ප්‍රධාන කාන්තා චරිතයට එක්වීමට නියමිත බවයි සැලවන්නේ. මාධ්‍ය වෙත අදහස් දක්වමින් Venkat Prabhu පැවසූයේ Thalapathy 68 දමිළ චිත්‍රපටය ගැන සියලු විස්තර LEO හි තිර ගත වීමෙන් පසුව නිකුත් කරන බවටයි.

LEO මෙම වසරේ ඔක්තෝබර් මාසයේදී ලෝ පුරා සිනමාහල්වලට නිකුත් වන එළඹෙන දෙසැම්බර් මාසය හා සමගාමීව Thalapathy 68 හි Updates රසිකයින්ට දැකගත හැකි වේවි…!!!

Share

140 Views 5 On 1 Rating Rate it

Written by Kavinu Weerakkody


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.