සුළං කිරිල්ලී විශේෂ දර්ශනයක් කොළඹදී

Avatar Nisanka Weheraduwa | February 11, 2018 7 Views 0 Likes 0 Ratings

7 Views 0 Ratings Rate it

ඉනෝකා සත්‍යංගනී කීර්තිනන්ද සිනමා නිර්මාණ “සුළං කිරිල්ලී” චිත්‍රපටයේ විශේෂ දර්ශනයක් කොළඹදී පැවැත්වීමට කටයුතු කෙරේ. ජාතික චිත්‍රපට සංස්ථාවේ සංවිධානයෙන් පැවැත්වෙන සිනමා කතිකාව වැඩසටහනේ 2018 වසරේ පළමු ප්‍රවේශය ලෙස මෙය තිරගත කෙරෙනු ඇත. සිනමාපටය ප්‍රදර්ශනය කිරීමට සමගාමිව සිනමා සංවාදයක්ද සංවිධාන කොට තිබේ. පෙබරවාරි 15 වැනි බ්‍රහස්පතින්දා සවස 2.00 සිට මෙම වැඩසටහන පැවැත්වෙනුයේ ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී සිනමා ශාලාවේදීය. සිනමා සංවාද මණ්ඩපයට දේශකයින් ලෙස භූපති නලින් වික්‍රමගේ සහ විදර්ශන කන්නන්ගර සහභාගී වීමට යෝජිතය.

සුළං කිරිල්ලී (The Wind Bird) චිත්‍රපටය ඉනෝකා සත්‍යංගනීගේ අධ්‍යක්ෂණයකි. ලින්ටන් සේමගේ සහ දමිතා අබේරත්න මේ සඳහා ප්‍රධාන චරිත රංගනයෙන් දායක වී තිබේ. ජයනි සේනානායක, ලියෝනි කොතලාවල ඇතුළු නළු නිලියන් පිරිසක් මේ සඳහා සිය රංගන දායකත්වය ලබාදී තිබිණ. නවරත්න ගමගේ සංගීත අධ්‍යක්ෂණයෙන් දායක වූ මේ සිනමාපටයට චන්න දේශප්‍රිය කැමරාකරණයෙන් සහ රවින්ද්‍ර ගුරුගේ සංස්කරණයෙන් දායක වී තිබේ. ජාත්‍යන්තර සම්මාන 09ක් දේශීය වශයෙන් සම්මාන 25ක් දිනාගැනීමට සුළං කිරිල්ලී සිනමාපටය සමත්විය. 29 වැනි සරසවි සම්මාන උළෙල 30 වැනි SIGNIS සම්මාන උළෙල සහ 2005 වසරේ ජනාධිපති සම්මාන උළෙලේ සම්මාන රැසකට පාත්‍ර වීමට චිත්‍රපටයට හැකියාව ලැබිණි. ඉනෝකා සත්‍යංගනී තිර රචනා කොට අධ්‍යක්ෂණය කළ දෙස් විදෙස් සම්මානිත සිනමාපටය නැවත රසවිඳීමට සහ සිනමා සංවාද මණ්ඩපයට එක වීමට ජාතික චිත්‍රපට සංස්ථාව සිනමා රසිකයින්ට ආරාධනා කර සිටී.

Share

7 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.