සූරියා ශ්‍රී ලංකාවට – නවතම චිත්‍රපටයේ රූගත කිරීම් මෙරටදී

Avatar Kavinu Weerakkody | November 30, 2022 121 Views 0 Likes 0 Ratings

121 Views 0 Ratings Rate it

Suriya42 ලෙස හඳුන්වන්නේ දමිළ නලු Suriya Sivakumarගේ රංගන ජීවිතය තුළ මෙතෙක් නිර්මාණය කිරීමට යන දැවැන්තම සිනමා ව්‍යාපෘතියයි. ඉන්දියානු කෝටි 100කට ආසන්න පිරිවැයක් දරමින් නිෂ්පාදනය වන මෙය, පුරාතන දමිල ඵෙතිහාසික කතා පුවතක් ආශ්‍රය කරගත් Periodic චිත්‍රපටයක් බවයි අන්තර්ජාලයේ සඳහන් වන්නේ.
Suriya42 චිත්‍රපටය දමිළ ඇතුළු භාෂා දහයකට දෙබස් කවා තිරගත කිරීමට සූදානම් අතර සූරියා රඟන චිත්‍රපටයක් ඒ ආකාරයට භාෂා 10කින් තිරගත කරන ප්‍රථම අවස්ථාව වන්නේ ද මෙයයි. සාමාන්‍ය 2D චිත්‍රපටයකට සීමා නොවී, 3D තාක්ෂණයෙන් තිරගත කිරීමටත් Suriya42 හි නිෂ්පාදකයින් විසින් දැනටමත් සැලසුම් කොට තිබෙනවා.

වර්තමාන තමිල්නාඩුවේ සිටින ප්‍රමුඛම පෙළේ රංගන ශිල්පීන් කිහිප දෙනාගෙන් කෙනෙකු වන Suriya Sivakumar 1997 වසරේ සිට සක්‍රීයව සිනමාවට සම්බන්ධ වී සිටිනවා. 1997දී Nerrukku Ner දමිළ සිනමාපටය හරහා ක්ෂේත්‍රයට පිවිසි ඔහු ඉන්පසුව Ghajini, Nandha, 24, Anjaan, Rakta Charitra වැනි ජනප්‍රිය නිර්මාණ ගණනාවකට රංගන දායකත්වය ලබා දුන්නා. සූරියා රඟපෑ Vaaranam Aayiram (2009) එදා’මෙදා තුර ඉන්දියානු සිනමාවෙන් බිහිවුනු හැඟීම්බරම romantic සිනමාපටයක් ලෙසටයි තවමත් හැඳින්වෙන්නේ…

කෙසේ වුවත් 2016-2019 අතර කාල පරිච්ඡේදය නම් ඔහුට එතරම් සුබදායී වූයේ නැහැ. Suriya රඟපෑ චිත්‍රපට අතුරින් කිහිපයක් පමණක් සැලකිය යුතු බොක්ස්-ඔෆිස් ආදායමක් ලබද්දී බහුතරයක් අසාර්ථකත්වයට පත් වූයේ ඒවායේ නිෂ්පාදන පිරිවැයවත් සපුරා ගත නොහැකිවයි. ඒ කාල වකවානුවේදී Thaana Serndha Koottam, NGK, Kaappaan වැනි සිනමාපට ගණනාවක්ම දිගින් දිගටම පාඩු ලැබූ අතර සූරියාගේ රසික ආකර්ෂණයත් සැලකිය යුතු මට්ටමකින් පහතට වැටුනා.

නමුත් 2020 වර්ෂයේදී නිකුත් වූ Soorarai Pottru සහ 2021 වර්ෂයේදී නිකුත් වූ Jai Bhim, Etharkkum Thunindhavan චිත්‍රපට ද්විත්වය හරහා, තමන්ට අහිමිව ගිය ප්‍රේක්ෂක ජනප්‍රියත්වය නැවතත් ළඟා කරගන්නට සූරියා සමත් වූ අතර ලෝක ප්‍රසිද්ධ ඇකඩමි (Oscars) සම්මාන උළෙලේ අවධානයට පාත්‍ර වීමටත් හැකියාව ලැබුනා.
මෙම වසර මුලදී තිරගත වුනු, කෝටි 400කට අධික ආදායමක් උපයමින් තමිල්නාඩුවේ වැඩිම ආදායම්ලාභී සිනමාපටය බවට පත් වූ Vikram හි සූරියා රඟපෑ cameo දර්ශනයත් සමඟින් ඔහු වටා ඇති වුනේ පෙර නොදුටු තරම් දැවැන්ත රසික උන්මාදයක්..!

මෙම සිනමාපට ත්‍රිත්වයේ බලපෑම නිසා මේ වනවිට Suriya Sivakumar වටා සමස්ත ඉන්දියාවේම අවධානය යොමුව තිබෙන අතර උතුරු ඉන්දියානු සිනමා රසිකයින් අතරේත් ඔහුගේ චිත්‍රපට නැවත ජනප්‍රිය වෙමින් තිබෙනවා. මෙවැනි පසුබිමක “Suriya42” වැනි දැවැන්ත චිත්‍රපටයක නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීම තමිල්නාඩුවෙන් පිටත ප්‍රාන්තවල පවා කතාබහට ලක් වුනේ නිතැතින්මයි.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සිය නවතම චිත්‍රපටය පිළිබඳ රංගන ශිල්පී සූරියා විසින් තමන්ගේ රසිකයින්ව දැනුම්වත් කළ අතර එහි රූගත කිරීම් ඇරඹූ බවත් නිල වශයෙන්ම ප්‍රකාශ කළා.

“Shoot begins..!
Need all your blessings..!!”

#Suriya42 @directorsiva @ThisIsDSP

තවමත් නිශ්චිත නමක් යෝජනා වී නැතත්, Suriya42 යනුවෙන් දැනට හඳුන්වනු ලබන මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ දමිළ සිනමාවේ ජනප්‍රිය සිනමාකරුවෙකු වන Siruthai Siva විසිනුයි. සාර්ථක චිත්‍රපට ගණනාවක නිර්මාණකරු වන ඔහුට, තමිල්නාඩු සිනමාවේ ප්‍රමුඛතම පෙළේ රංගන ශිල්පීන් දෙදෙනෙකු වන රැජිනිකාන්ත් සහ අජිත් කුමාර්ව අධ්‍යක්ෂණය කිරීමටත් හැකියාව ලැබුනා. රැජිනිකාන්ත්ගේ Annaatthe සහ අජිත් කුමාර්ගේ Vishwasam, Vivegam, Vedalam යන චිත්‍රපටවල අධ්‍යක්ෂකවරයා වන්නේ ඔහුයි. සිවාට හුරුපුරුදු family audience ශානරයේ චිත්‍රපට වන මෙම සියල්ලම ලංකාවේත් විශාල ජනප්‍රියත්වයකට පත් වූවා.

නමුත් විශේෂත්වය වන්නේ මෙම Suriya42 සිවාට හුරුපුරුදු family audience ශානරයෙන් බැහැර වූවක් වීමයි. වසර 1000කට පෙර කතා පුවතක් පාදක වූ මෙම චිත්‍රපටය, එම කාල වකවානුවේ විසූ රණශූරයෙක් වටා ගෙතුනු සටන් දර්ශන බහුල ක්‍රියාදාම නිර්මාණයක් බවයි පැවසෙන්නේ…

සිනමාපටයේ ප්‍රධාන කාන්තා චරිතය සඳහා මුලදී ජනප්‍රිය දමිළ නිළියක තෝරාගෙන තිබුනත් පසුව නිෂ්පාදකවරුන්ගේ එම අදහස වෙනස් වී තිබෙනවා. තමිල්නාඩු මාධ්‍ය වාර්තා කරන අන්දමට මෙහි ප්‍රධාන කාන්තා චරිතයට දැන් ඔවුන් ගිවිසුම්ගතව සිටින්නේ තරුණ පරපුරේ හින්දි නිළියක සමඟයි. නිල තොරතුරක් තවමත් නිකුත් වී නැතත්, ජනප්‍රිය හින්දි නිළි Disha Patani මෙම චිත්‍රපටයේ රංගනය සඳහා එකග වී තිබෙන බව දැන් ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙකු දන්නා කරුණක්.

Malang, MS Dhoni, Bhaaghi 2, Bhaaghi 3, Ek Villain Returns වැනි ජනප්‍රිය හින්දි චිත්‍රපට ගණනාවකට රංගන දායකත්වය ලබා දුන් ඇය දමිළ සිනමාවට පිවිසෙන පළමු නිර්මාණය වන්නේ මෙයයි. මින් පෙර 2017 වසරේදීත් Disha Patani දමිළ චිත්‍රපටයකට එක් වෙතැයි ඉඟි පළවුවත් එම ව්‍යාපෘතිය අතරමඟ නතර වුනා.

එමෙන්ම, ලාංකික සිනමා රසිකයින්ට මෙම Suriya42 චිත්‍රපටය විශේෂ වීමට තවත් වැදගත් හේතුවකුත් තිබෙනවා. ඒ මෙහි රූගත කිරීම් විශාල ප්‍රමාණයක් ලංකාව ආශ්‍රිතව සිදු කිරීමට නියමිතව තිබීම නිසායි. චිත්‍රපටයේ මූලික සිද්ධි කිහිපයක් ඉන්දියාවේ ගෝආ සහ චෙන්නායි ප්‍රදේශවලදී මේ වනවිටත් රූගත කොට අවසානයි. ඒ සඳහා දින 60කට අධික කාලයකුත් වැයවී තිබෙනවා.

ශ්‍රී ලංකාවේදී රූගත කිරීමට නියමිතව තිබෙන්නේ Suriya42 හි මීළඟ දර්ශන පෙළයි. සූරියා සහ දිශා පටෙනි රඟන සිද්ධි ගණනාවක්ම මෙම කොටසට අයත් වන අතර ඔවුන් දෙදෙනාත් මෙම දෙසැම්බර් මාසයේදී පමණ මෙරටට පැමිණීමට නියමිතයි. මෙරට දර්ශන කිහිපය අතරට සූරියා සහ දිශා රඟන ගීතයකුත් ඇතුළත්ව තිබෙන බවයි පැවසෙන්නේ…
අධ්‍යක්ෂක සිවා ඇතුළු පිරිසකගේ මූලිකත්වයෙන් චිත්‍රපටයට ගැළපෙන පසුබිම් තල ගණනාවක්ම මෙරටින් සොයා ගෙන අවසන් බවත්, මේ වනවිට එම ස්ථානවල චිත්‍රපටයට ගැළපෙන පරිදි ප්‍රතිසංස්කරණ කටයුතු අරඹා ඇති බවත් විවිධ දමිළ සිනමා මාධ්‍ය තුළ පැවසෙනවා.

කෙසේ වුවත්, Suriya42 සිනමාපටය සඳහා ලංකාවෙන් තෝරාගත් පසුබිම් තල බොහෝමයක් පිහිටා තිබෙන්නේ පහතරට වනාන්තර සහ කඳුකරය ආශ්‍රිතවයි. මෙම වසර අග භාගයේදී ශ්‍රී ලංකාවේ දර්ශන සියල්ල අවසන් කිරීමෙන් පසුව ඉන්දියාවේ තවත් ප්‍රදේශ ගණනාවකදී shooting schedules කිහිපයක්ම සම්පූර්ණ කිරීමට ඔවුන්ට නැවතත් සිදු වනවා.
චිත්‍රපටයේ නිෂ්පාදකවරුන් දැනට සැලසුම් කර තිබෙන පරිදි, නිර්මාණයේ සියලුම රූගත කිරීම් නිමා කරන්නට ඔවුන් සූදානම් වන්නේ එළඹෙන මැයි – ජුනි අතර කාලයේදී යි.

Share

121 Views 0 Ratings Rate it

Written by Kavinu Weerakkody


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.