හිටපු ඉන්දීය ක්‍රිකට් නායක Sourav Gangulyගේ ජීවිත කතාව සිනමාවට.

Avatar Nisanka Weheraduwa | September 14, 2021 16 Views 0 Likes 0 Ratings

16 Views 0 Ratings Rate it

ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන අයට නම් Sourav Gangulyව අමුතුවෙන් හඳුන්වා දෙන්නට අවැසි නැහැ. ඉන්දියාවේ  දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙකු වූ ඔහු කාලයක් ක්‍රිකට් විස්තර විචාරකයෙකු ලෙසත් කටයුතු කළා. එමෙන්ම, ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ (BCCI) වර්තමාන සභාපතිවරයා වන්නේත් Sourav Gangulyයි. බොහෝ දෙනෙක් ඉන්දීය ඉතිහාසයේ බිහි වුණු සාර්ථකම ක්‍රිකට් නායකයෙකු විදිටහත් Souravව හඳුන්වනවා.

Sourav Gangulyගේ ජීවිත කතාව ඇසුරෙන් නිර්මාණය වන සිනමාපටයක් ගැන කලක සිටම කතාබහක් ඇති වෙලා තිබුණත් ඒ ආරංචිය නිල වශයෙන් තහවුරු වුණේ නැහැ. නමුත් පසුගිය බදාදා දිනයේදී Luv Films චිත්‍රපට ආයතනයෙන් එකවරම මේ ආරංචිය තහවුරු කරමින් නිල නිවේදනයක් නිකුත් කළා. කිසිම පෙර සූදානමක් නොමැතිව එක් වරම මෙසේ official announcement එකක් රිලීස් කිරීම ගැන චිත්‍රපට ආයතනයෙනුත් කිසිම හේතු දැක්වීමක් කරලා නැහැ. චිත්‍රපටය පිළිබඳව වැඩිදුර විස්තර තවමත් දැන ගැනීමට නොහැකි වුණත්, රසිකයින් අතරේ කියවෙන විදිහට මෙහි ප්‍රධාන චරිතයට තෝරා ගැනීමට නියමිතව තිබෙන්නේ Hrithik Roshan හෝ Ranbir Kapoor දෙදෙනාගෙන් අයෙක්වයි. ඉන්දියාව වැනි ක්‍රිකට් උන්මාදයෙන් පෙළෙන රටක sports ශානරයේ චිත්‍රපටවලට තියෙන දැඩි උන්මාදය නිසාම කවුරු විසින් ප්‍රධාන චරිතය සිදු කළත්, අදාළ චිත්‍රපටය සාර්ථක වීමට තිබෙන්නේ විශාල ඉඩකඩක්. Bhaag Milkha Bhaag, Mary Kom, Chak de India, Kanaa, Jersey, Dangal වැනි පසුගිය වසර කිහිපයේ නිකුත් වුණු බොහෝ Sports Movies, ප්‍රේක්ෂක ජනාදරයට පත් වීම ඊට හොඳම නිදසුනක්.

නමුත් තවමත් නිෂ්පාදනය ආයතනය තවම චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා පිළිබඳව මාධ්‍යයට දැනුම් දීලා නැහැ. ඇතැම් ගොසිප් අඩවි විසින් ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂක Rajkumar Hiraniගේ නමත් මීට ඈඳා තිබුණත් ඒ ගැන නිශ්චිත තොරතුරු පලවෙන්නේ නැහැ. 1999 ලෝක කුසලාන තරඟාවලියේදී Sourav Ganguly පවත්වා ගත් ලකුණු 318ක සබඳතාවය වැනි memorable සිදුවීම් රාශියක් තිර පිටපතට ඇතුළත් විය හැකි බවයි ඉන්දීය මාධ්‍ය පෙන්වා දෙන්නේ.

“ Cricket has been my life, It gave me confidence and the ability to walk forward with my head held high, a journey to be cherished.

Thrilled that Luv Films will produce a biopic on my journey and bring it to life for the big screen

@LuvFilms @luv_ranjan @gargankur @DasSanjay1812 “

තමන්ගේ ජීවිත කතාව ආශ්‍රය කරගෙන නිමැවෙන මේ සිනමාපටය ගැන හිටපු ක්‍රිකට් නායක Sourav Gangulyගේ පෞද්ගලික අදහස වුණේ එයයි. කෙටි කාලයක් ඇතුළත හින්දි සිනමාවේ පෙරළිකාර චිත්‍රපට නිෂ්පාදන ආයතනයක් බවට පත් වුණු  Luv Films, තමන්ගේ පළමු නිෂ්පාදනයේ සිට මේ දක්වාම ප්‍රේක්ෂක විශ්වාසය නොබිඳෙන අන්දමේ නිර්මාණ ඉදිරිපත් කළ පිරිසක්. Luv Ranjan සහ Ankur Gargගේ මූලිකත්වයෙන් බිහි වුණු Luv Films නවක දක්ෂතාවලට මුල් තැන දෙන බවටයි බොහෝ දෙනෙකු අතරේ ප්‍රසිද්ධ වී තියන්නේ. ඔවුන් විසින් නිෂ්පාදනය කළ පළමු චිත්‍රපටය Sonu Ke Titu Ki Sweety, කෝටි 100කට අධික ආදායමක් උපයා ගනිමින් විශාල ප්‍රේක්ෂක ජනාදරයක් දිනා ගන්නට සමත් වුනා. Malang,  De De Pyar De සහ Chhalaang වැනි ඔවුන්ගේ සෙසු නිර්මාණත් ධනාත්මක ප්‍රතිචාර සමඟින් සාර්ථක ආදායම් වාර්තා ලබා ගැනීමට සමත් වුනා.

චිත්‍රපටයේ රූපගත කිරීම් ඇරඹෙන දිනයක් ගැන වාර්තා වී නොතිබුණත් කෝවිඩ් වසංගතය පාලනය වුණු වහාම වැඩ කටයුතු ඇරඹීමට ඉඩකඩ තිබෙන බව බොලිවුඩ් මාධ්‍ය වාර්තා කොට තිබෙනවා.

Share

16 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.