හින්දි සිනමාවෙන් දකුණු ඉන්දියාවට.

Avatar Nisanka Weheraduwa | December 1, 2021 66 Views 0 Likes 0 Ratings

66 Views 0 Ratings Rate it

මේ දිනවල ඉන්දීය සිනමා රසිකයින් බොලිවුඩයට වැඩියෙන්ම ඇඟිල්ල දිගු කරන්නේ දකුණු ඉන්දීය ප්‍රතිනිර්මාණ පිළිබඳව ගැටළුව මුල් කරගෙනයි. උතුරු ඉන්දියානු සිනමාකරුවන්ගේ original contentවලට අවධානය යොමු නොකිරීමත්, ප්‍රසිද්ධ වන සෑම දකුණු ඉන්දීය චිත්‍රපටයක්ම පාහේ හින්දි භාෂාවට remake කිරීමත් නිසා ඔවුන් බොහොම කලකිරීමෙන් සිටින බව නොරහසක්. ඒ වගේම දක්ෂ හින්දි රංගන ශිල්පීන්ව නොසලකා හරින ප්‍රධාන පෙළේ චිත්‍රපට නිෂ්පාදකවරුන්, තරු දරුවන්වම (star kids) තමන්ගේ නිර්මාණවල තෝරා ගන්නා බවටත් රසිකයින් චෝදනා නඟනවා. අද වනකොට මේ remake ප්‍රශ්නය බොලිවුඩයට දරා ගන්නටත් නොහැකි මට්ටමකට ලඟා වී ඇති බවටත් ඔවුන් පවසනවා.

Master, Ala Vaikunthapurramuloo, Dear Comrade, Helan, Driving License වැනි පසුගිය කාලයේ ජනප්‍රිය වූ දමිළ, තෙළෙඟු, මලයාලම් චිත්‍රපට බොහෝමයක නිල හින්දි ප්‍රතිනිර්මාණ දැනටමත් නිවේදනය කර අවසන්. ඇතැම් ප්‍රතිනිර්මාණවල රූපගත කිරීම් පවා මේ වනවිට අවසන්ව තිබෙනවා. නමුත් හින්දි සිනමාවට සාපේක්ෂව දකුණු ඉන්දීය සිනමාව තුළ, මේ තරම් ප්‍රතිනිර්මාණ සංඛ්‍යාවක් ගැන අහන්න ලැබෙන්නේ නැහැ. හින්දි චිත්‍රපටවල remakes වලට වඩා තමන්ගේ ස්වතන්ත්‍ර පිටපත්වලට වැඩි අවදානයක් යොමු කරන සිනමාවක් ඔවුන්ට තිබෙනවා. නමුත් දකුණු ඉන්දීය සිනමාව තුළත් ප්‍රධාන පෙළේ හින්දි චිත්‍රපට remake කළ අවස්ථා රාශියක් ගැනත් අපට විස්තර ලැබෙනවා. මේ ඒ අතුරින් මෑතකාලීනව ජනප්‍රිය වූ නිර්මාණ කිහිපයක්….

Maestro & Bhramam (Remakes of Andhadhun)

ඉන්දියාව තුළ වගේම ඉන් පිටතත් විශාල ප්‍රේක්ෂකයින් පිරිසක් ආදරය කරන සිනමාපටයක් ලෙස Andhadhun හැඳින්විය හැකියි. අයුෂ්මාන් කුරාණාගේ අද්විතීය රංගනය මේ චිත්‍රපටයේ වටිනාකම තවත් වැඩි කළා. අතිසාර්ථක බොක්ස්-ඔෆිස් ආදායමකට අමතරව සම්මාන විශාල ප්‍රමාණයකුත් Andhadhun නමට ලියැවුණේ ඒ බව තවත් සනාථ කරමිනුයි. ඇස් නොපෙනෙන අන්ධයෙකු ලෙසින් බොරුවට රඟපාන පියානෝ වාදකයෙකු වටා ගෙතෙන Andhadhun සිනමාපටය දැනට සති කිහිපයකට පෙර තෙළෙඟු හා මලයාලම් භාෂාවලිනුත් නැරඹීමේ අවස්ථාව ප්‍රේක්ෂකයින්ට උදාවුනා. Andhadhun හි තෙළෙඟු ප්‍රතිනිර්මාණය නම් කර තිබුණේ Maestro ලෙසයි. එහි ප්‍රධාන චරිතය Nithin විසින් රඟ දැක්වූවා. මලයාලම් ප්‍රතිනිර්මාණය Bhramam ලෙසින් Amazon Prime IN හරහා නිකුත් වූ අතර මලයාලම් නළු Prithviraj Sukumaranගේ රංගනයෙන් එය හැඩ වුනා.

Gopala Gopala (Remake of Oh! My God)

ආක්ෂේ කුමාර්ගේ රංගන ජීවිතය ගැන කතා කරනකොට Oh! My God චිත්‍රපටය අමතක කරන්නම බැහැ. නලුවෙක් වශයෙන් ආක්ෂේට නැවතත් බොලිවුඩයේ ස්ථාවර වෙන්න උපකාර වූ චිත්‍රපටයක් වගේම, ප්‍රධාන ධාරාවේ සිනමාකරුවන්ට වෙනස් වෙනස් චරිත අත්හදා බලන්නට මුලපුරපු චිත්‍රපටයක් විදිහටත් Oh! My God හඳුන්වනවා. Oh! My God හි ආක්ෂේගේ චරිතය ගැන එකල යම් මතබේදාත්මක කතාබහක් ඇති වුණත් එයින් ඔහුට සිදු වුනේ අයහපතක් නම් නෙමෙයි. කෝටි 100කට අධික ආදායම් වාර්තාවක් රැස් කරමින් සාර්ථකව තිරගත වුන මේ නිර්මාණය පසුව තෙළෙඟු භාෂාවටත් ප්‍රතිනිර්මාණය වුනා. සුප්‍රසිද්ධ නළු Pawan Kalyanගේ රංගනයෙන් හැඩ වූ මෙහි තෙළෙඟු ප්‍රතිනිර්මාණයත් විචාර-ප්‍රේක්ෂක ආකර්ෂණය හොඳින් දිනා ගන්න සමත් වූවක්. Gopala Gopala නමින් 2015 වසරේදී නිකුත් වූ එය Kishre Kumar Pardasaniගේ අධ්‍යක්ෂණයක්. නමුත් මෙය තිරගත කරන්නට කලින් බොහෝ නීතිමය ප්‍රශ්න ඇතිවූවා. Gopala Gopala තිරගත කිරීමට විරුද්ධව ඇතැම් පිරිස් ඉන්දීය අධිකරණයට ගියේ, චිත්‍රපටයෙහි ඇතැම් දර්ශන නිසා හින්දූන්ගේ ආගමික නිදහසට බාධා එල්ල වන බව පවසමින්.

Nanban (Remake of 03 Idiots)

ඉන්දියානු සිනමාවේ evergreen චිත්‍රපටයක් වන 03 Idiots අධ්‍යක්ෂණය කළේ Rajkumar Hirani විසිනුයි. අමීර් ඛාන්ගේ සිනමා ජීවිතයේ සංදිස්ථානයක් වන් 03 Idiots චිත්‍රපටය, එවකට වැඩිම ආදායම්ලාභී ඉන්දියානු චිත්‍රපටය බවටත් පත් වී තිබුනා. ඉංජිනේරු ශිෂ්‍යයන් තිදෙනෙකු පාදක කර ගනිමින් සමකාලීන ඉන්දියාවේ තරුණ ප්‍රජාව ගැන සංවාදයක යෙදුණු 03 Idiots අදටත් බොහෝ දෙනෙක් ආදරය කරන නිර්මාණයක්. එහි දෙමළ ප්‍රතිනිර්මාණය Nanban, මුල් චිත්‍රපටය වගේම තමිල්නාඩු ප්‍රාන්තය තුළ අතිශය ජනප්‍රිය වුනා. කෝටි 100කට අධික ආදායම් වාර්තාවක් ලබා ගත් Nanban අධ්‍යක්ෂණය කළේ S. Shankar විසිනුයි. 03 Idiots නැරඹූ පළමු අවස්ථාවේදීම තමන් එයට ආදරය කරන්නට පටන් ගත් බවත්, දෙමළෙන් ප්‍රතිනිර්මාණය කරන්නට සිතා ගත් බවත් එක් සම්මුඛ සාකච්ඡාවකදී Shankar විසින්ම පැවසුවා. Nanban හි රංගනය වෙනුවෙන් දමිළ නළු Vijayට Best Actor සම්මාන ද්විත්වයකුත් හිමි වූ බව අන්තර්ජාලයේ සඳහන්.

Shankar Dada MBBS (Remake of Munna Bhai MBBS)

සංජේ දත්ගේ නම කියූ පමණින් ඇතමුන්ගේ මතකයට එන්නේ MunnaBhai MBBS කියන වචන දෙක. සංජේ දත් සහ මුන්නා බායි කියන්නේ ඒ තරම් එකිනෙකට බැඳුණු මතකයක්. සංජේගේ iconicම චිත්‍රපටය වන MunnaBhai MBBS මුල සිට අග දක්වාම බොහොම හාස්‍යයෙන් නරඹන්න පුලුවන් රසවත් නිර්මාණයක්. නීතිවිරෝධි අන්දමින් වෛද්‍යවරයෙකු වෙන්නට උත්සාහ දරන මැරයෙකුගේ සිදුවීම් මාලාවක් වටා ගෙතෙන MunnaBhai MBBS හින්දි සිනමාපටය පසුකාලීනව තෙළෙඟු භාෂාවටත් ප්‍රතිනිර්මාණය වුනා. ඒ Shankar Dada MBBS කියන නමින්. සංජේ දත් මුල් නිර්මාණයේ රඟපෑ චරිතය මෙහි රඟ දක්වන්නේ සුපිරි තෙළෙඟු නළු Chiranjeeviයි. Premante Idera, Teenmaar සහ Lakshmi Narasimha වැනි සුප්‍රසිද්ධ කලාපීය චිත්‍රපට නිර්මාණය කළ Jayanth Paranjeeගේ අධ්‍යක්ෂණයට Shankar Dada MBBS සංගීතවත් කළේ DSP විසිනුයි. දින 100කට අධික කාලයක් සාර්ථකව සිනමාශාලාවල ප්‍රදර්ශනය වූ මේ නිර්මාණය චිරන්ජීවිට Filmfare සම්මානයකටත් මග විවර කළා. 2004 වසරේදී Shankar Dada MBBS වෙනුවෙන් හොඳම නළුවාට හිමි Filfare South සම්මානය චිරන්ජීවි ලබා ගනිද්දි හොඳම සහය නළුවාට හිමි Filmfare South සම්මානය ලැබුනෙත් මෙහි රඟපෑ Srikanthටයි. මීට අමතරව Jab We Met, A Wednesday සහ Johnny Gaddaar වැනි හින්දි චිත්‍රපටත් පසුකාලීනව දකුණු ඉන්දීය භාෂාවන්ට ප්‍රතිනිර්මාණය වුනා.

Share

66 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.