දකුණු ආසියාවේ නිමැවුණු හොලිවුඩ් ක්‍රියාදාම චිත්‍රපටය – Extraction

Avatar Nisanka Weheraduwa | May 10, 2020 420 Views 0 Likes 5 On 1 Rating

420 Views 5 On 1 Rating Rate it

හොලිවුඩ් ක්‍රියාදාම චිත්‍රපට කියන්නේ බොහෝ සිනමා ප්‍රේක්ෂකයින් ප්‍රියකරන චිත්‍රපට වර්ගයක්. නිර්මාණයක් විදිහට සළකා බැලුවොත් හොලිවුඩ් ක්‍රියාදාම චිත්‍රපට නිෂ්පාදනය අතින් බොහෝවිට ඉතා ඉහළයි. ඔවුන්ගේ ශිල්පීය දැනුම, තාක්ෂණය සහ ශිල්පීන්ගේ වෘත්තීය නිපුණත්වය නිර්මාණයෙන් එළියට පෙනෙන්නට තිබෙනවා. ඒ නිසාම ලොව වටා අතිවිශාල ප්‍රේක්ෂක පිරිසක් මේ චිත්‍රපට වටා එක් වනවා. මේ කියන විදිහේ නිර්මාණයක් දකුණු ආසියානු රටවල් මූලික කරගෙන නිර්මාණය වුනොත්..? මේ එවැනි චිත්‍රපටයක් ගැන.

Netflix මේ වනවිට බොහොමයක් අත්හදා බැලීම් කරමින් සිටිනවා. මේකත් එක විදිහක අත්හදා බැලීමකුත් විය හැකියි. හොලිවුඩ් ක්‍රියාදාම චිත්‍රපට සංකල්පය ආසියානු සංස්කෘතික සමාජ දේශපාලන වටපිටාවන් එක්ක සම්බන්ධ කිරීමට ගත්ත උත්සාහයක්. චිත්‍රපටයේ නම Extraction. මේ වනවිට Netflix ඩිජිටල් අවකාශය භාවිතා කරන බොහෝ දෙනෙක් මේ චිත්‍රපටය ගැන දැනුවත්. Sam Hargrave මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කොට තිබෙන අතරම මේ ඔහුගේ පළවැනි වෘතාන්ත චිත්‍රපටය වන බවත් සඳහන්. Ande Parks රචනා කළ Ciudad නවකතාව ඇසුරින් චිත්‍රපටයේ තිර රචනය ලියවෙන්නෙ Joe Russo, Anthony Russo, Fernando León González, and Eric Skillman හතර දෙනාගේ එකතුවකින්. චිත්‍රපටයට විශාල ආයෝජනයක් වන්නේ Chris Hemsworth මෙහි ප්‍රධාන චරිතය රඟපෑම. ඔහු චිත්‍රපටයට දායක වීම නිසාමත් මේ චිත්‍රපටය ගැන ලෝකය පුරාම යම් කතාබහක් නිර්මාණය වෙමින් යනවා. සමහර ධනාත්මක අදහස් සහ ප්‍රතිචාර වගේම විවේචනත් එල්ල වුනත් ඒ සියල්ල චිත්‍රපටය වැඩි වැඩියෙන් ජනතාව අතරට යාමට හේතුවී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කොට තිබුනේ.

බංග්ලාදේශයේ ඩකා නුවර ප්‍රසිද්ධ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු විසින් ඉන්දියානු මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකුගේ දරුවකු පැහැර ගැනෙනවා. මේ දරුවාව බේරා ගැනීමට සිදුකරන මෙහෙයුම වටා චිත්‍රපටය ගොඩනැගී තිබෙනවා. ඉන්දියාව බංග්ලාදේශය ඇතුළු දකුණු ආසියානු රටවල් කිහිපයක රූගත කිරීම් සිදුකොට ඇති චිත්‍රපටය ඉංග්‍රීසි, හින්දි සහ අනිකුත් දේශීය භාෂා කිහිපයක්ම එකතුවකින් නිර්මාණය කොට තිබෙනවා. Rudhraksh Jisval මේ චිත්‍රපටයේදී පාසල් සිසුවා ලෙස සාර්ථක රංගනයක නියැලෙන බව බොහෝ මාධ්‍ය වාර්තා වල සඳහන්ව තිබුනා. විනාඩි 117ක ධාවන කාලයකින් යුතු මේ චිත්‍රපටයට ඇමරිකානු ඩොලර් මිලියන 65ක මුදලක් වැයකොට ඇති බවත් පැවසෙනවා.

චිත්‍රපටයේ රූගත කිරීම් කාලයත් විනෝදජනක එකක් වූ බ්බවයි දායක වුනු ශිල්පීන් පවසා තිබෙන්නේ. ඉන්දියාවෙ අහමදාබාද් සහ මුම්බායි, බංග්ලාදේශයේ ඩකා සහ තායිලන්තයේ නගර කිහිපයක රූගත කිරීම් සිදුකොට තිබෙනවා. අහමදාබාද් නගරයේ  රූගත කිරීම් කරන අතරතුර Chris Hemsworth ව දැක ගැනීමට  මහජනතාව අතරේ දැඩි නොසන්සුන්තාවයක් හටගත බව පැවසෙනවා. Chris Hemsworth වැනි ජාත්‍යන්තරමට්ටමේ ප්‍රසිද්ධ රංගන ශිල්පියෙක් ඉන්දියාව වැනි රටකදී සැබෑ ලෙසින් දැකගන්න අවස්ථාවක් ලැබීම විරළයි. සමහර නරඹන්නන් පැය 15කට අධික මෙලෙස සියැසින්ම Chris Hemsworth ව දැකබලා ගැනීමට දර්ශන තල අවට රැඳී සිටි බවත් මේ  අධික වශයෙන් මහජනතාව එක් රැස්වීම, නොසන්සුන්තාවයක් දක්වා වර්ධනය වුනු අවස්ථා තිබූ බවත් සඳහන් වනවා.

මේ නිෂ්පාදනය ගැන මේ විදිහේ වාර්තා පැවතියත් විචාරක අදහස් අනුව චිත්‍රපටය සාර්ථක නිර්මාණයක් නොවන බවයි පැවසෙන්නේ. නැරඹීමට සුදුසු හෝ නැරඹීමට හැකි චිත්‍රපටයක් ලෙස සන්ධ්න් කෙරුණත් චිත්‍රපටයේ රංගනය, කැමරාකරණය සහ සංස්කරණය පිලිබඳ තිබෙන්නේ සුබවාදී ප්‍රතිචාර නම් නොවෙයි. නමුත් මේ අදහස් වල ඇත්ත නැත්ත දැනගැනීමට නම්, ඔබට් චිත්‍රපටය නැරඹීමට සිදුවනවා. Netflix වෙතින් දැන් චිත්‍රපටය නැරඹීමට ඔබට හැකියි. හොලිවුඩ් සහ ආසියාතික මිශ්‍රණයක් වුනු මේ සිනමාපටය ඔබට විඳිය හැකිදැයි බලන්න.

Share

420 Views 5 On 1 Rating Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.