දමිළ බසින් Kaithi; හින්දි බසින් Bholaa – ප්‍රධාන චරිතය දෙව්ගන්ට

Avatar Kavinu Weerakkody | August 31, 2022 208 Views 0 Likes 0 Ratings

208 Views 0 Ratings Rate it

2019 වසරේ තිරගත වූ Kaithi නැමැති තමිල්නාඩු චිත්‍රපටය එකල දකුණු ඉන්දීය ප්‍රාන්ත සියල්ලකම පාහේ එක ලෙස ජනප්‍රිය වුනා. Lokesh Kanagaraj විසින් අධ්‍යක්ෂණය කළ එම සිනමාපටයේ ප්‍රධාන චරිතය නිරූපණය කළේ ප්‍රසිද්ධ දමිල nනළු Karthi විසිනුයි.
Kaithi සිනමාපටයට පාදක වී තිබෙන්නේ වසර ගණනාවක් සිර දඬුවම් විඳිමින් සිටි “දිල්ලි” නැමැති පුද්ගලයෙකු සිය දඬුවම් කාලය අවසන් වීමෙන් පසු ඔහුගේ දියණිවය දැක බලා ගන්නට දරන උත්සාහයයි. නමුත් දිල්ලිට මුහුණ දෙන අනපේක්ෂිත සිද්ධි දාමයක් නිසා ඔහුගේ සිදුවන්නේ තමා පසුපස හඹාගෙන එන ඝාතකයින් පිරිසක් හා සටන් වැදීමටයි. ඝාතකයින්ගේ සැලසුමකින් මිය යමින් සිටින පොලිස් නිලධාරීන් පිරිසක්ව බේරා ගැනීමටත්, ඔවුන් හා සටන් වැද සිය ජීවිතය ආරක්ෂා කරගැනීමටත් උත්සාහ දරන දිල්ලිගේ ජීවිතයේ පැය 24ක කාලයක් වටා Kaithi දමිළ සිනමාපටය දිවෙනවා.

මෙය Lokesh Kanagarajගේ දෙවන අධ්‍යක්ෂණය වූ Kaithi හි සාර්ථකත්වය සමඟින් ඔහුට අති විශාල රසික අවධානයක් ලැබුනු අතර විජෙයි, කමලාසන් වැනි සිනමාවේ ප්‍රබලයින් සමඟ වැඩ කිරීමටත් ඔහුට අවස්ථාව උදා වුනා.

මෙය OTT මාධ්‍යයෙන් අන්තර්ජාලයට නිකුත් කිරීමත් සමඟම, උතුරු ඉන්දියානු හින්දි රසිකයින්ගේ අවධානය ලබා ගන්නටත් මෙම චිත්‍රපටයට හැකියාව ලැබුනා. දකුණු ඉන්දියාවේ කුඩා ප්‍රාන්තීය චිත්‍රපටයක් මුලු ඉන්දියාව පුරාම මෙසේ ජනප්‍රියත්වයට පත් වූ නිසා, එරට ප්‍රධාන මාධ්‍ය තුළ පවා මේ ගැන කතාබහට ලක් වුනේ නිතැතින්මයි.

මෙම දකුණු ඉන්දීය චිත්‍රපටය, ප්‍රධාන ධාරාවේ බොලිවුඩ් නළුවෙකු යොදා ගනිමින් හින්දි බසින් ප්‍රතිනිර්මාණය වන බව නිළ වශයෙන්ම රසිකයින්ට දැනුම් දුන්නේ මේ අතරතුරේදී යි. එය ‘Bholaa’ ලෙස නම්කොට තිබුනා. 2022 වසරේ මුල භාගයේදී මෙහි නිෂ්පාදන කටයුතු ඇරඹුනු අතර චිත්‍රපටය අධ්‍යක්ෂණය සඳහා තෝරාගෙන තිබුනේ Dharmendra Sharmaවයි. ඔහු Sivay, Tanhaji: The Unsung Warrior ආදී චිත්‍රපටවල සංස්කරණ ශිල්පියා වශයෙන් කටයුතු කර තිබුනද මින් පෙර සිනමා අධ්‍යක්ෂණයට පිවිස තිබුනේ නැහැ.
චිත්‍රපටයේ Casting Details ගැන නිෂ්පාදකයින් විසින් මාධ්‍යයට හෙළි කළේ පූර්ව නිෂ්පාදන කටයුතු අරඹා දිගු කාලයකට පසුවයි.

පසුගිය අප්‍රියෙල් මාසයේදී ප්‍රධාන රංගන ශිල්පීන් කිහිප දෙනෙකු ගැන මාධ්‍යයට අණාවරණය කළ අතර මුල් චිත්‍රපටයේදී Karthi රඟපෑ “දිල්ලි” නැමැති චරිතය නිරූපණය කිරීමට තෝරාගෙන තිබුනේ ප්‍රසිද්ධ බොලිවුඩ් නළු Ajay Devganවයි. පසුගිය වසර කිහිපය පුරාවට Ajay Devgan රඟපෑ නිර්මාණ සියල්ලම පාහේ හොඳ සාර්ථකත්වයක් ලබා තිබුනා. Ajay සමඟින් තවත් ප්‍රධාන චරිතයකට රංගන ශිල්පිනී Tabu Fatima ද ගිවිසුම් ගතව තිබෙන අතර ඇය රඟපාන්නේ උසස් පොලිස් නිලධාරිනියකගේ චරිතය බව සඳහන්. මෙය අජෙයි සහ තාබු එක්ව රඟපාන නවවන සිනමා නිර්මාණය වීම ද විශේෂත්වයක්.

නමුත් චිත්‍රපටයේ පූර්ව නිෂ්පාදන කටයුතු අරඹා කෙටි කාලයත් ගතවත්ම, මෙහි විශාල වෙනස්කම් කිහිපයක් සිදු කිරීමට නිෂ්පාදකයින් විසින් පියවර ගෙන තිබුනා. එයින් ප්‍රධානම කාරණය වූයේ අධ්‍යක්ෂක භුමිකාවයි. ඒ අනුව Dharmendra Sharma අධ්‍යක්ෂක භූමිකාවෙන් ඉවත් වුනු අතර රංගන ශිල්පී අජෙයි දෙව්ගන් විසින් මෙහි අධ්‍යක්ෂණ කටයුතු භාර ගත්තා. ඊට හේතුව වූයේ මින් පෙර අජෙයි අධ්‍යක්ෂණය කළ Runway 34 (2022) නැමැති සිනමාපටයට ලැබුනු ධනාත්මක ප්‍රතිචාරයි.
මෙම වසර මුලදී තිරගත වුනු Runway 34 හින්දි සිනමාපටයට දැවැන්ත BoxOffice ආදායමක් ලබා ගැනීමට නොහැකි වුනත් අජෙයිගේ අධ්‍යක්ෂක භූමිකාව බොහෝ දෙනෙකුගේ පැසසුමට ලක්වුනා. ඉන්පසුව Ajay Devgan සම්බන්ධ වන නවතම සිනමාපටය වන මෙය ඔහුගේ පස්වන අධ්‍යක්ෂණයයි. Runway 34ට පෙර U, Me Aur Hum සහ Shivaay චිත්‍රපට ත්‍රිත්වයත් අජේ දේව්ගන් අධ්‍යක්ෂණය කළ චිත්‍රපටයි.

නුදුරු දිනකදීම සංස්කරණ සහ පසු නිෂ්පාදන කටයුතු ඇරඹීමටත් දින යොදා ඇතැයි සඳහන්. ඒ බව තහවුරු කරමින් සමාජ මාධ්‍ය පණිවුඩයක් නිකුත් කළ Tabu, දර්ශන තල ඡායාරූපයක් ද අන්තර්ජාලයට එක් කර තිබුනා.

‘Look!! We finished our 9th film together!
#wewrap #bholaa @ajaydevgn @adffilms.’

Reliance Entertainment නිෂ්පාදනයක් වන මෙහි ඇස්තමේන්තුගත පිරිවැය ඉන්දීය කෝටි 50ක් පමණ වනවා. අජෙයි සහ තාබුට අමතරව Sanjay Mishara, Sharad Kelkar, Deepak Dobriyal, VIneet Kumar වැනි දක්ෂ උතුරු ඉන්දියානු රංගන ශිල්පීන් ගණනාවක්ම මෙම සිනමාපටයේ රංගනයෙන් එක් වන බව සඳහන්. තිර පිටපත රචනා කොට ඇත්තේ Shreedhar Dubey සහ Sandeep Kewlani යන දෙදෙනා එක්වයි.
Bholaa, එළඹෙන 2023 මාර්තු 30 වනදා සිට ලෝ පුරා රිදී තිරයන්ට මුදා හැරීමට නියමිතයි.

Share

208 Views 0 Ratings Rate it

Written by Kavinu Weerakkody


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.