සිවකාර්තිකෙයන් සමඟින් කමලාසන්: RK51

Avatar Kavinu Weerakkody | January 18, 2022 114 Views 0 Likes 0 Ratings

114 Views 0 Ratings Rate it

දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය මුල් කරගත් දෙමළ සිනමා කර්මාන්තයේ දිනෙන් දින අලුත් නලු නිළියන් බිහිවනවා. වසරකට වැඩිම නවක රංගන ශිල්පීන් ප්‍රමාණයක් ඉන්දියාවට එකතු වෙන්නේ ද දමිළ සිනමාව තුළින් බවයි ඇතමුන් කියන්නේ. නමුත්, දිනෙන් දින වැඩිවන මේ සෑම රංගන ශිල්පියෙකුටම සිනමා ක්ෂේත්‍රය තුළ ස්ථාවර වෙන්න නම් අවස්ථාව ලැබෙන්නේ නැහැ. බොහෝ දෙනෙක් මුල් අවුරුදු 2-3 ඇතුළතදීම සිනමාවෙන් ඈත් වී යනවා. ජනප්‍රිය රසික ආකර්ෂණයක් දිනා ගන්නට හෝ සාර්ථක Box-Office ආදායමක් ළඟා කරගැනීමට නොහැකි වෙන නවක ශිල්පීන් හැමදෙනාටම සිදු වෙන්නේ ඔවුන්ගේ සිනමා දිවියට සමුදෙන්නයි…

මෙවැනි තරඟකාරී ක්ෂේත්‍රයක් ඇතුළේ නලුවෙක් වශයෙන් ස්ථාවර වීම කිසි විටෙකවත් ලේසි පහසු දෙයක් නෙමෙයි. නමුත් මේ සියලුම අභියෝග හමුවේ ජනප්‍රිය නලුවන් වශයෙන් ස්ථාවර වුණු තරුණයින් කිහිප දෙනෙක්ම වර්තමාන දමිළ සිනමාවෙන් අපට හමුවෙනවා. අද වනකොට ඔවුන් බහුතරයක් දෙනා, තමන්ගේ ජනප්‍රියත්වයේ උපරිමයටම ළඟා වෙමිනුයි සිටින්නේ. Jiiva, Vishnu Vishal, Bobby Simha, Harish Kalyan වැනි දමිළ රංගන ශිල්පීන් මේ කාරණයට හොඳම නිදසුන්..!

සැලකිය යුතු අන්දමේ කිසිදු සිනමා සම්බන්ධතාවයක් නොමැතිව ක්ෂේත්‍රයට පිවිසි ඔවුන් අද වෙනකොට සාර්ථක නලුවන් විදිහට දෙමළ සිනමාව තුළ රැඳී සිටිනවා. මේ අතරේ ඔවුන් සියලු දෙනාටම වැඩියෙන්ම ජනප්‍රිය, සාර්ථක සහ ස්ථාවර රංගන ශිල්පියෙකු වන Sivakarthikeyanවත් අමතක කරන්නට බැහැ.

අතිරේක රූපවාහිනී නිවේදකයෙක්, රියලැටි තරඟ ඉදිරිපත් කරන්නෙක් විදිහට තමන්ගේ ගමන ආරම්භ කළ Sivakarthikeyan වර්තමානයේදී දමිළ සිනමාවේ ජනප්‍රියම තරු කිහිපය අතරින් කෙනෙක්. කෙටි චිත්‍රපට හරහා රංගනයට පිවිසි සිවකාර්තිකෙයන් මුල්වරට රඟපෑ වෘතාන්ත චිත්‍රපටයේම ඔහුට ලැබුණේ බොහොම සුලු දර්ශන කාලයක් හිමි චරිත කිහිපයක්. නමුත් අද වනවිට කෝටි 100කට අධික ආදායමක් ලැබූ චිත්‍රපට පවා ඔහුගේ නම ඉදිරියේ ලියැවී තිබෙනවා. මේ කාරණා නිසාම, Sivakarthikeyan රංගනයෙන් එකතු වන චිත්‍රපට පිළිබඳ සමාජයේ ඇතිවෙන උනන්දුව සහ ඔහුගේ රසිකයින් ප්‍රමාණයත් සුලුපටු නැහැ.

පසුගිය සතියේදී මේ කාරණය හොදින් සනාථ වන සිදුවීමක් දක්නට ලැබුනා. ඒ Sivakarthikeyan රංගනයෙන් එක්වන නවතම චිත්‍රපටයේ පළමු official announcement එක නිවේදනය කිරීමත් සමඟයි…

මේ දිනවල Don දමිළ චිත්‍රපටයේ නිෂ්පාදන කටයුතු හා සම්බන්ධව සිටින සිවකාර්තිකෙයන්, මෙම අලුත්ම චිත්‍රපටය ගැන දැනුම් දුන්නේ පසුගිය ජනවාරි 15වනදායි. ඒ සමඟම සිනමාපටයේ announcement පෝස්ටරය ද මාධ්‍යයට නිකුත් කළා. මෙහි වැඩිදුර විස්තරයක් තවමත් දැනගන්නට නොලැබුණත් Rajkumar Periyasamy චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කරනවා. Rajkumar Periyasamy කියන්නේ සිනමාපට විශාල ප්‍රමාණයක් අධ්‍යක්ෂණය කළ පුද්ගලයෙක් නෙමෙයි. අද වෙනකොටත් ඔහු අධ්‍යක්ෂණය කර තිබෙන්නේ එක් සිනමාපටයක් විතරයි. 2017දී නිකුත් වූ Rangoon නැමැති දෙමළ සිනමාපටයේ නිර්මාණකරුවා වන ඔහු ඊට පෙර A.R. Murugadoss අධ්‍යක්ෂණය කළ, Vijay ප්‍රධාන රංගනයෙන් එක්වූ Thuppakki (2012) චිත්‍රපටයේ සහාය අධ්‍යක්ෂකවරයා ලෙසින් කටයුතු කර තිබෙනවා.

කෙසේ නමුත්, සිවකාර්තිකෙයන් සම්බන්ධ වන මේ නිර්මාණය Rajkumar Periyasamyගේ සිනමා ජීවිතයේ ත් විශාල පෙරළියක් සිදු කරාවි යැයි දැනටමත් ඉඟි පළවෙනවා. ඔහුගේ පළවෙනි නිර්මාණයට ධනාත්මක විචාරක ප්‍රතිචාරයක් ලැබුණත් එය සැලකිය යුතු අන්දමේ රසිකයින් පිරිසක් අතරට ගියේ නැහැ. ඒ නිසාම මේ සිනමාපටය, Rajkumar Periyasamyට අධ්‍යක්ෂකවරයෙක් විදිහට නමක් දිනාගන්නට හොඳ අවස්ථාවක් කියලයි තමිල්නාඩුවෙන් ආරංචි වෙන්නේ…

” அடுத்த வினாடி ஒளித்துவைத்திருக்கும் ஆச்சரியங்கள் இவ்வுலகத்தில் ஏராளம்…
Excited to join with two strong forces of cinema, Ulaganayagan @ikamalhaasan sir and @SonyPicsFilmsin
Thanks to my friend Director @Rajkumar_KP for making this happen
@vivekkrishnani #RMahendran sir “

චිත්‍රපටයේ නිල නිවේදනය නිකුත් කරමින් twitter පණිවුඩයක් නිකුත් කළ Sivakarthikeyan එසේ අදහස් දැක්වුවා. කමලාසන් වැනි දැවැන්තයෙක් සමඟ එක් වන්නට ලැබීම තමන්ට බොහොම ගෞරවයක් බවත්, චිත්‍රපටයේ නිෂ්පාදන කටයුතු ඇරඹෙන තෙක් තමන් නොඉවසිල්ලෙන් පසුවන බවත් ඔහු වැඩිදුරටත් පවසා තිබෙනවා.

“Some jobs bring happiness; Gives some dignity and pride. This film will make everyone proud. It’s a pleasure to be traveling with such young people like Sivakarthikeyan and director Rajkumar Periyasamy.”

නිෂ්පාදක සහ රංගන ශිල්පී කමලාසන් විසින් මේ නිර්මාණය ගැන දැක්වූයේ එවැනි ප්‍රකාශයක්… සිවකාර්තිකෙයන් සහ පෙරියසාමි වැනි දක්ෂ තරුණයින් සමඟ වැඩ කරන්නට ලැබීම සතුටක් බවයි ඔහු එහිදී පැවසුවේ.

චිත්‍රපටයේ title සහ plot details තවමත් අණාවරණය නොවුනත් announcement poster එක හරහා ගොඩ නඟාගත් රසික මතවාද කිහිපයක්ම අන්තර්ජාලයේ දැකගන්නට ලැබෙනවා. Sivakarthikeyanගේ පෙර නිර්මාණවලට වඩා වෙනස් dark tone එකක් මේ නිර්මාණයෙන් දැක ගන්නට හැකිවේ යැයි ඔවුන් බහුතරයක් දෙනා පවසනවා. තවත් සමහරු අදහස් කරන්නේ අතීතය – වර්තමානය අතර timeline දෙකකින් සෑදුණු කතාවක් මීට පාදක වී ඇති බවයි. නමුත් මේ සියල්ලම හුදෙක් රසික අදහස් මිසක, නිශ්චිත හෝ පිළිගත් මූලාශ්‍රයකින් නිකුත් වූ තොරතුරු නෙමෙයි.

තවමත් නම අණාවරණය නොවූ මේ චිත්‍රපටයේ නිෂ්පාදන අයිතිය පාර්ශව තුනක් හරහා බෙදී යනවා. ඒ Raj Kamal Films International චිත්‍රපට සමාගමත්, චිත්‍රපට නිෂ්පාදක R Mahendranත්, Sony Pictures Films India ආයතනයත් අතරේයි.

වසර 40කට පෙර 1981 වර්ෂයේදී ඇරඹෙන Raj Kamal Films International චිත්‍රපට සමාගමේ හිමිකරු වන්නේ සුප්‍රසිද්ධ ඉන්දීය රංගන ශිල්පියෙකු වන කමලාසනුයි. Kamal Hassanගේ චිත්‍රපට බොහෝමයක නිෂ්පාදන අයිතිය හිමි මෙම සමාගම කාලයක් තිස්සේම තාවකාලිකව වසා තිබුණත් 2013 වසරේදී යළිත් සක්‍රීයව චිත්‍රපට නිෂ්පාදනයට පිවිසුනා. Master චිත්‍රපටයේ අධ්‍යක්ෂක Lokesh Kanagaraj යටතේ Kamal Haasan, Vijay Sethupathi, Fahadh Fasil, Kalidas Jayaram වැනි පෙරළිකාර නලු නිළියන් රැසක් රංගනයෙන් එක්වීමට නියමිත Vikram (2022) චිත්‍රපටයත් Raj Kamal Films International හි ම නිෂ්පාදනයක් වන අතර 2022 වසර අග භාගයේදී එය තිරගත වීමට නියමිතයි.

සිවකාර්තිකෙයන් රඟන මේ නිර්මාණයේ දෙවන නිෂ්පාදන පාර්ශවය වන Sony Pictures Films India මඟින් නිෂ්පාදනය කෙරෙන පළමු දෙමළ චිත්‍රපටය මෙය වීමත් විශේෂත්වයක්! Sony Pictures International හි ඉන්දියානු ශාඛාව වන Sony Pictures Films India ( SPFI ) මීට පෙර මලයාලම් සහ තෙළෙඟු ප්‍රාන්තීය චිත්‍රපට ද්විත්වයක නිෂ්පාදනය සඳහාත් සම්බන්ධ වී තිබෙනවා. මලයාලම් රංගන ශිල්පී Prithviraj Sukumaranගේ “Star” චිත්‍රපටය තුළින් 2019 වර්ෂයේදී ඉන්දීය සිනමාපට නිෂ්පාදනයට පිවිසි ඔවුන් ඉන්පසුව තෙළෙඟු සුපර් ස්ටාර් Mahesh Babu සමඟ, Major (2022) සිනමාපටයේ නිෂ්පාදකවරුන් ලෙසත් ගිවිසුම්ගත වුනා.

මෙහි තෙවන නිෂ්පාදන පාර්ශවය වන R. Mahendran චිත්‍රපට නිෂ්පාදකවරයෙකු ලෙසින් ජනප්‍රිය අයෙක් නෙමෙයි. ඔහුගේ දෙවන නිෂ්පාදනය වන්නේ මෙයයි. මීට පෙර R. Mahendran සම නිෂ්පාදනයෙන් සම්බන්ධ වූ Mersel චිත්‍රපටය ඉන්දීය කෝටි 250කට අධික සාර්ථක බොක්ස්-ඔෆිස් ආදායමක් කරා ළඟා වුණත් ඔහු ඉන්පසුව චිත්‍රපට නිෂ්පාදනයට සම්බන්ධ වූයේ නැහැ. R. Mahendran මෙසේ යළිත් සිනමාපට නිෂ්පාදනයට පිවිසෙන්නේ වසර පහක නිහැඬියාවකට පසුයි. මෙසේ නිෂ්පාදකවරුන් තිදෙනෙක්ම මේ නිර්මාණය සඳහා සම්බන්ධ වී තිබෙන නිසාම, චිත්‍රපටය ගැන රසිකයින්ගේ උනන්දුව තවත් ඉහළ ගොස් තිබෙනවා. Sivakarthikeyanගේ රංගන ජීවිතයේ වැඩිම නිෂ්පාදන පිරිවැයක් යෙදෙන චිත්‍රපටය මෙය විය හැකි බවටත් ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

අධ්‍යක්ෂක Periyasamy සහ රංගන ශිල්පී Sivakarthikeyan එකම චිත්‍රපටයක් වෙනුවෙන් ගිවිසුම්ගත වන පළමු අවස්ථාව මෙය වුවත්, මීට වසර ගණනාවකට පෙරදීත් විවිධ නිර්මාණ ගණනාවකට ඔවුන් දෙදෙනාගේ දායකත්වය ලැබී තිබෙනවා. ඒ ඔවුන් දෙදෙනාම චෙන්නායි හි පෞද්ගලික රූපවාහිනී නාලිකාවක එකට රැකියාව සිදු කරන කාලයේදීයි. එහිදී රියැලිටි තරඟ ඇතුළු වැඩසටහන් විශාල ප්‍රමාණයකට ඔවුන් දෙදෙනාගේ සම දායකත්වය ලැබී තිබෙනවා.

“Dear @ikamalhaasan Sir, I feel euphoric and it’s a great honour for me.Thank U sir. Delighted to embark on this special journey with my brother, loving friend @Siva_Kartikeyan”

තම මිතුරා වන සිවා සමඟින් යළි වැඩ කරන්නට ලැබීම ගැන අධ්‍යක්ෂක පෙරියසාමි සතුට ප්‍රකාශ කළේ එසේ යි.
අතිරේක රූපවාහිනී නිවේදකයෙකු ලෙසින් ක්ෂේත්‍රයට පැමිණි සිවකාර්තිකෙයන් වර්තමානයේදී මුලු දකුණු ඉන්දියාවේම ජනප්‍රිය සිනමා තාරකාවක්. සිනමා රංගනයට අමතරව පසුබිම් ගායකයෙක්; පද රචකයෙක්; සාර්ථක නිෂ්පාදකවරයෙක්…

2012 වසරේ Marina සිනමාපටය තුළින් රංගනයට පිවිසි Sivakarthikeyan, තමන්ගේ දෙවන චිත්‍රපටය වූ “3” තුළින්ම රසිකයින් අතරේ යම් ජනප්‍රියත්වයක් ගොඩ නඟා ගත්තා. නමුත් ඔහු රංගන ශිල්පියෙකු විදිහට මිනිසුන් අතරෙහි රැඳෙන්නේ Ethir Neechal චිත්‍රපටයත් සමඟයි. කිසිවෙකු නොසිතූ ආකාරයේ දැවැන්ත සාර්ථකත්වයක් ලබා ගන්නට Ethir Neechal සමත් වුනු අතර ඒත් සමඟම සිවකාර්තිකෙයන්ගේ ජනප්‍රියත්වය ද ඉහළ ගියා.  ඉන්පසුව Maan Karate, Kaaki Sattai, Mr. Local, Hero වැනි නිර්මාණ ඔස්සේ තම රසික ප්‍රසාදය වැඩි කරගත් ඔහු RajiniMuruagn (2016) චිත්‍රපටයෙන් පසුව තමිල්නාඩුවේ ජනප්‍රියම රංගන ශිල්පීන් ගොන්නට එක් වන්නටත් වාසනාවන්ත වුනා.  2018 වසරේදී Kanaa හරහා චිත්‍රපට නිෂ්පාදනයට පිවිසි Sivakarthikeyan මේ වනවිට චිත්‍රපට පහක නිෂ්පාදකවරයෙක් වනවා.

ඔහු අවසානයට රඟපෑ Doctor දෙමළ චිත්‍රපටය ඉන්දීය කෝටි 100කට අධික ආදායමක් රැස් කරගත්තේ ඉන්දියාව පුරා ව්‍යාප්ත වුනු කොවිඩ් වසංගතය මධ්‍යයේ යි.

Share

114 Views 0 Ratings Rate it

Written by Kavinu Weerakkody


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.