හේමාල් රඟපෑ පළමු ඉන්දියානු චිත්‍රපටය දැන් තිරගත වේ: Second Show

Avatar Kavinu Weerakkody | July 13, 2022 2724 Views 3 Likes 5 On 2 Ratings

2724 Views 5 On 2 Ratings Rate it

ලාංකීය නලු හේමාල් රණසිංහ ප්‍රධාන චරිතයක් නිරූපණය කරන “සෙකන්ඩ් ෂෝ (Second Show)” නැමැති ඉන්දීය චිත්‍රපටය දිවයින පුරා සිනමාහල් වලදී දැන් තිරගත වනවා. දකුණු ඉන්දියාව සහ ශ්‍රී ලංකාව තුළ එකවර ප්‍රදර්ශනය ඇරඹි මෙම සිනමාපටය, දමිළ සහ සිංහල භාෂා ද්විත්වයෙන්ම මුදා හරින්නටත් එහි නිෂ්පාදකයින් විසින් කටයුතු කර තිබෙනවා.

සෙකන්ඩ් ෂෝ Horror/Thriller වර්ගීකරණයට අයත් චිත්‍රපටයක් වන අතර එහි කතාව දිවෙන්නේ මිතුරන් පිරිසක් සහ නොසිතූ අයුරින් ඔවුන්ට මුහුණ දීමට සිදුවන අභිරහස් බලවේගයක් වටායි. එම අත්භූත බලවේගය ඔවුන් පසුපස හඹා එන ආකාරයත්, ඔවුන් එයින් ගැලවීමට දරන උත්සාහයත් මෙම චිත්‍රපටයට පාදක වී තිබෙනවා.
Second Show අධ්‍යක්ෂණය කර තිබෙන්නේ T. Gnanam නැමැති ඉන්දියානු ජාතික සිනමාකරුවා විසිනි. මෙය ඔහු විසින් අධ්‍යක්ෂණය කළ පළමු සහ කුළුදුල් සිනමාපටය වීම ද විශේෂත්වයක්.

පසුගිය ජූලි 08 වනදා සිට තිරගත වීම ඇරඹි මෙම චිත්‍රපටය ලාංකීය සිනමාශාලාවලට නිකුත් වූයේ EAP බෙදාහැරීමක් ලෙසයි. මුලදී ජුනි 23 වනදා සිට දිවයින පුරා තිරගත වීම ඇරඹීමට කටයුතු සූදානම් කර තිබුණ ද තමිල්නාඩු නිෂ්පාදකවරුන්ගේ ඉල්ලීමක් අනුව එය පසුව ජුලි මාසය දක්වා කල් දමන්නට සිදු වුනා.
ඒ අනුව පසුගිය ජුලි 08 වනදා සිට ලාංකීය ප්‍රදර්ශනයට Second Show මුදා හැරුනු අතර, ඊට සමගාමීව තමිල්නාඩු ප්‍රාන්තයේ සිනමාශාලා 200කට අධික ප්‍රමාණයකද මෙහි පුළුල් තිර ප්‍රදර්ශනය ඇරඹුනා.

මෙම Second Show සිනමා නිර්මාණය හේමාල් රණසිංහ රංගනයෙන් දායක වූ පළමු ඉන්දීය චිත්‍රපටයයි. දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය මුල් කරගත් දමිළ සිනමා කර්මාන්තයෙන් ලද ඇරයුමක් අනුව ඔහු ඊට සම්බන්ධ වන අතර චිත්‍රපටය සඳහා හේමාල්ව යෝජනා කර තිබෙන්නේ කෞෂල්‍යා වික්‍රමසිංහ විසිනුයි. වසර 10කට වැඩි කාලයත් තිස්සේ සිනමාවට සම්බන්ධව සිටින ඇය මින් පෙර මහාචාර්ය සුනිල් ආරියරත්නගේ “යශෝදරා” චිත්‍රපටයෙ හි විධායක නිෂ්පාදකවරිය ලෙසත් කටයුතු කළා.
Second Show, ඇය නිෂ්පාදනය කරනු ලබන පළමු චිත්‍රපටයයි.

පහත සබැඳිය ඔස්සේ “සෙකන්ඩ් ෂෝ (Second Show)” චිත්‍රපටයේ නිල සිංහල පූර්ව ප්‍රචාරකපටය නැරඹීමට හැකියාව තිබෙනවා.

මෙහි රූගත කිරීම් සිදුව තිබෙන්නේ 2019 වර්ෂයේ අගභාගයේදීයි. ලන්ඩන් සහ බර්මින්හැම් ප්‍රදේශ ආශ්‍රිතව දර්ශන තල චිත්‍රපටය සඳහා යොදාගෙන තිබෙනවා. චිත්‍රපටයේ ධාවන කාලයෙන් වැඩි ප්‍රමාණයක් අඩංගු වන්නේ ද එම බ්‍රිතාන්‍යයේ රූගත කළ දර්ශන බවයි අන්තර්ජාලයේ සඳහන් වන්නේ. එමෙන්ම, චිත්‍රපටයේ සමස්ත රූගත කිරීම් අවසන් කරන්නට දින 30කට අධික කාලයක් ගත වී තිබෙනවා.

ලාංකීය රංගන ශිල්පී හේමාල් රණසිංහට අමතරව ඉන්දියාවේ බොලිවුඩ් – කොලිවුඩ් – තෙළිඟු – මරාතී ආදී විවිධ ප්‍රාන්තීය සිනමා කර්මාන්තවල ජනප්‍රිය නලු නිළියන් කිහිප දෙනෙකුම සෙකන්ඩ් ෂෝ (Second Show) සිනමාපටය තුළින් ඔබට දැකගන්නට පුලුවන්. බොලිවුඩ් රංගන ශිල්පියෙකුට හිමි විය හැකි ප්‍රධානම සම්මානයක් වන Filmfare සම්මානලාභී Ajmaal Ameer, කොලිවුඩ් නිළි Vidya Pradeep සහ තෙළිඟු රංගන ශිල්පිනියක වන Akshatha Sonawane ද මෙහි රංගනයෙන් එක් වනවා.

ප්‍රධාන කාන්තා චරිතයට පණ පොවන්නේ මහාචාර්ය සුනිල් ආරියරත්නගේ “බිම්බා දේවි: යශෝදරා” චිත්‍රපටයෙ හි යශෝදරාගේ චරිතය නිරූපණය කළ Pallavi Subhash Shrike නැමැති ඉන්දීය රංගන ශිල්පිනිය විසිනුයි.
ඊට අමතරව Maira Singh, Black Pondy, Isha Chhbra වැනි තවත් ඉන්දීය නලු නිළියන් ගණනාවක්ම සෙකන්ඩ් ෂෝ චිත්‍රපටයට සම්බන්ධ වී සිටිනවා.

L.K. Vijay කැමරාකරණයෙන් සහ K Rangis සංස්කරණයෙන් එක්ව තිබෙනවා. චිත්‍රපටයේ පසුබිම් සංගීතය නිර්මාණය කර තිබෙන්නේ Ambi Subramanian සහ Praneev Verl දෙදෙනා එක්වයි. දමිළ සහ සිංහල පිටපත් සඳහා ගීත වෙන වෙනම නිර්මාණය කර තිබෙන අතර සිංහල පිටපතෙ හි ගීත ත්‍රිත්වයක් ඇතුළත් වනවා. එම ගීත සියල්ලම රචනා කර තිබෙන්නේ කසුන් මහේන්ද්‍ර හීනටිගලයි. කසුන් කල්හාර, උරේෂා රවිහාරි, කුෂානි සඳරේඛා ඇතුළු පිරිසක් ඊට ගායනයෙන් එක්ව තිබෙනවා. සිංහල ගීත ඇතුළත් Jukebox ඇල්බමය ද මේ වනවිට අන්තර්ජාලයට නිකුත් කර අවසානයි.
චිත්‍රපටයේ audio rights මිලදී ගෙන තිබෙන්නේ දකුණු ඉන්දියාවේ ප්‍රසිද්ධම ගීත බෙදාහැරීමේ ආයතනයක් වන Divo Music විසිනි.

මෙහි කතාව – දෙබස් සහ තිර පිටපත රචනා කර තිබෙන්නේ ද චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා වන T. Gnanam විසිනුයි. Dark Room Creations නිෂ්පාදන ආයතනය වෙනුවෙන් Siva Brothers සහෝදරයින් මෙහි ඉන්දියානු නිෂ්පාදකවරුන් ලෙස සම්බන්ධව තිබෙනවා. චිත්‍රපටයේ ලාංකීය නිෂ්පාදිකාව වන්නේ කෞෂල්‍යා වික්‍රමසිංහයි.

පසුගියදා පැවැති Second Show මාධ්‍ය හමුවකදී, හේමාල් රණසිංහ රංගනයෙන් එක්වන හින්දි චිත්‍රපටයක වැඩ කටයුතුත් නුදුරේදීම ආරම්භ කරන බවට කෞෂල්‍යා වික්‍රමසිංහ විසින් මාධ්‍යයට අණාවරණය කළා. හින්දි – සිංහල ද්වීභාෂික චිත්‍රපටයක් වන එම නිර්මාණයට හේමාල් රණසිංහ සහ අශාන් ඩයස් රංගනනේ එක් වන බවයි ඇය එහිදි වැඩි දුරටත් පවසා සිටියේ. එහි රූගත කිරීම් මෙම සැප්තැම්බර් සහ දෙසැම්බර් අතර කාලයේදී පටන් ගැනීමට නියමිතයි.

එමෙන්ම, චිත්‍රපටයේ මංගල දර්ශනයට සහභාගී වූ හේමාල් රණසිංහ එහිදී විශේෂ කරුණක් ද මාධ්‍ය සමඟින් බෙදා ගත්තා. සිය චිත්‍රපටයේ මංගල දර්ශනය නැරඹූ හේමාල් ප්‍රකාශ කර සිටියේ, සෙකන්ඩ් ෂෝ (Second Show) සිංහල චිත්‍රපටයෙන් ඔහුට ලැබෙන සියලුම ආදායම මේ මොහොතේ පවතින ආර්ථික අර්බුදය හමුවේ පීඩාවට පත්ව සිටින ලාංකීය ජනතාව වෙනුවෙන් ලබා දෙන බවයි.

දිවයින පුරා සිනමා හල් ගණනාවකදී “සෙකන්ඩ් ෂෝ (Second Show)” රස විඳීමට ඔබට දැන් අවස්ථාව තිබෙන අතර පහතින් දක්වා තිබෙන්නේ ඊට සම්බන්ධ වූ නිෂ්පාදක කණ්ඩායමේ සවිස්තරාත්මක නාමාවලියකි.

Second Show (2022)

Direction : A.T.Gnanam
Story-Screenplay : A.T.Gnanam
Producer : Siva Brothers

Cast: Ajmal Ameer, Hemal Ranasinghe, Akshata Sonawane, Maira Singh, Pallavi Subhash, Vidya Pradeep, Isha Chhabra, Black Pondy, Inba, Sri Krish, Suraj Nanda (Maurirtius), London Venkat, Gifty (London), Robert (London), Mukkur N. Ramajayam

Song Music: Ambi Subramaniam, Praneev Verl
Background Music: Raghav Prasad
DOP: L.K.Vijay
Editor: Rangis
Dialogue: S.Mohan

Co- Director: Bhargavi Kalidas
Assistant Directors: Thangaraj, S. Sathyamoorthi
Choreographer: Sri Krish, Suraj Nanda (Mauritius)
Art Director: Kall Premkumar BFA
VFX: D note studio

Colorist: C. Kathik Chandrasekar
Assistant Colorist: T.K.Bharani

PRO: Sathish AIM
Mix & Mastered by: AJ Daniel
Designs: Mughil Designs

Line Producer: Vijay Kulkarni (UK)
Executive Producer: Koushalya
Makeup: C.H.Venu
Sound Designer: G. Krishnan D.F.Tech
Sound Engineer: D. Manimaran

Art Assistant: Munipillai
Stills: Muthu Paul
Music Label: Divo Tv Private Limited

Share

2724 Views 5 On 2 Ratings Rate it

Written by Kavinu Weerakkody


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.