1970 Love Story – නොමියෙන ආත්මීය ප්‍රේමයක මායාත්මක සිනමා ආමන්ත්‍රණය

Avatar Kavinu Weerakkody | February 8, 2024 751 Views 0 Likes 0 Ratings

751 Views 0 Ratings Rate it

සිහිනයකි ආදරේ සිනමාපටයට පසුව මේ වසරේ, හේමාල් රණසිංහ ප්‍රධාන චරිතය නිරූපණය කරන දෙවන සිනමාපටය ද හෙට සිට තිරගත වනවා. ඒ අරුණ ජයවර්ධන අධ්‍යක්ෂණය කළ “1970 Love Story” සිංහල චිත්‍රපටයයි.

හෙට (පෙබරවාරි 09 වනදා) සිට දිවයින පුරා සිනමා ශාලා රැසකදී මෙම සිනමා නිර්මාණය තිරගත වන අතර හේමාල් රණසිංහගේ සෙසු චිත්‍රපටවලට වඩා වෙනස් සහ නැවුම් අත්දැකීමක් මෙතුළින් ඔබට නැරඹීමට පුලුවන්.

“1970 Love Story” චිත්‍රපටයට පාදක වී තිබෙන්නේ 1970 දශකයේදී උඩරට බංගලාවක සිදුවන සිද්ධි දාමයකුයි.
ක්ලිෆර්ඩ් දුණුවිල සහ ෂෙරීන් දුණුවිල උඩරට කදුකරයේ තේ වතු ආශ්‍රිත බංගලාවක ව්‍යාපාර කටයුතු කරමින් ආදරණීය ජීවිතයක් ගත කරන තරුණ යුවලක්. සුරූපී ෂෙරීන් දුණුවිල වෙත රෙජිනෝල්ඩ් දුණුසිංහ නැමැති තවත් ව්‍යාපාරිකයෙකුගේ බැල්ම වැටෙන්නේ මේ අතරතුරේදී යි. ෂෙරීන් ඔහුට කිසිදු කැමැත්තක් නොදක්වන නමුත්, දුණුසිංහ විසින් සිය උත්සාහය අත් නොහරී.

ක්ලිෆර්ඩ්ව මරා දමා ෂෙරීන්ව තමා සතු කර ගන්නට රෙජිනෝල්ඩ් දරන උත්සාහයකදී වෙඩි වැදී ෂෙරීන් මිය යෑමත් සමග, රෙජිනෝල්ඩ් එම පළාතින් පලා යන්නේ කිසිවෙකුටත් තමාව සොයා ගැනීමට නොහැකි වන අයුරින්… සිය බිරිඳගේ වියෝවෙන් තනිවන ක්ලිෆර්ඩ් විදේශ රටකට සංක්‍රමණය වන අතර එහිදී සිය ආදර කතාව පොතක් ලෙසින් එළි දක්වන්නටත් ඔහු කටයුතු කරනවා.

චිත්‍රපට අධ්‍යක්ෂක මහේන්ද්‍රට ක්ලිෆර්ඩ්ගේ ආදර කතාව දැනගන්නට ලැබෙන්නේ එලෙසයි. එයින් චිත්‍රපටයක් සාදන්නට තීරණය කරන මහේන්ද්‍ර, චිත්‍රපටයේ රූගත කිරීම් සිදු කරන්නට ෂෙරීන් – ක්ලිෆර්ඩ් යුවල විසූ බංගලාවට යන අතර ඔවුන්ට එහිදී නොසිතූ විරූ අත්දැකීම් රැසකට මුහුණ පාන්නට සිදුවෙයි.

අනපේක්ෂිත අත්දැකීම් හමුවේ සිය රූගත කිරීම් අවසන් කරන්නට චිත්‍රපට කණ්ඩායමට හැකිවේද? බංගලාවේ සැරිසරන ආත්මය කාගේද? ඒ ආත්මය පවසන්නට උත්සාහ දරන අත්භූත කතාන්දරය කුමක්ද?
මේ ගැන දැන ගන්නට නම්, ඔබට “1970 Love Story” සිංහල සිනමාපටය නරඹන්නටම සිදුවනවා.

1970 Love Story සිංහල සිනමාපටයේ නිල පූර්ව ප්‍රචාරකපටය පහතින්:

හේමාල් රණසිංහ මෙහි ප්‍රධාන චරිතය නිරූපණය කරන අතර ‘සිහිනයකි ආදරේ’ට පසුව මේ වසර තුළ තිරගත වන ඔහුගේ දෙවන සිනමාපටය මෙයයි. ඊට අමතරව ක්ෂීර සාගරය කැළඹිණ, ආශාවරී, කොලොම්බෝ, තාල වැනි සිනමාපට රැසකින් ඔහුට පසුගිය වසරවල මෙරට රසිකයින්ට සමීප වුනා.

හේමාල් රණසිංහ සමඟින් ගම්‍යා විජේදාස, මහේන්ද්‍ර පෙරේරා, බිමල් ජයකොඩි, අශාන් ඩයස්, සඳනි ප්‍රනාන්දු, සරත් කොතලාවල, දිනෙත් ද සිල්වා වැනි ජනකාන්ත නලු නිළියන් රැසක්ම මෙහි රංගනයෙන් දායක වනවා.
චිත්‍රපටයෙ හි සෙසු රංගනය සමන් හේමරත්න, ලසන්ත උඩුකුඹුර, අසංග පෙරේරා, දයා වයමන්, ප්‍රාර්ථනා සෙනවිරත්න, ප්‍රදීප් චාමින්ද, සුරන් දිසානායක ඇතුළු පිරිසකගෙනි.

1970 Love Story යනු අරුණ ජයවර්ධනගේ තුන්වන සිනමා අධ්‍යක්ෂණයයි. මීට පෙර නිකිණි වැස්ස (2013) සහ හැපී බර්ත්ඩේ (2022) චිත්‍රපට ද්විත්වය ඔහු විසින් අධ්‍යක්ෂණය කළ අතර, ඉදිරියේදී තිරගත වීමට නියමිත “මාරියා” සිනමාපටය ද අරුණ ජයවර්ධනගේ අධ්‍යක්ෂණයකි.
මාරියා චිත්‍රපටය මේ වනවිටත් අන්තර්ජාතික සම්මාන රැසකින් පිදුම් ලබා තිබෙනවා. එහි ප්‍රධාන චරිතය රඟපාන්නේ ද හේමාල් රණසිංහයි.

අධ්‍යක්ෂණයට අමතරව 1970 Love Story හි තිර රචනය ද අරුණ ජයවර්ධනගෙනි. විධායක නිෂ්පාදනය නලින් සිරිවර්ධනයි. දමින්ද මඩවල සහ ඉඳුනිල් දැරණියගල මෙහි සහාය අධ්‍යක්ෂනයෙන් සම්බන්ධ වූවා. ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකු වන චන්න දේශප්‍රිය මෙම චිත්‍රපටයේ කැමරා අධ්‍යක්ෂකවරයායි. ඔහු යටතේ අනුර කොඩිතුවක්කු, දිලංග දිනුශාන් සහ ළහිරු ජයසිංහ කැමරා සහායෙන් සම්බන්ධ වුනා. සිනමාපටයේ සංස්කරණය තිස්ස සුරේන්ද්‍ර සහ වර්ණ සංයෝජනය අසංක වික්‍රමසිරි දෙදෙනායි.

අංග රචනය සමරසිරි කඳනගේ සහ මධරා ගොඩගේ යි. කලා අධ්‍යක්ෂණය සුනිල් ප්‍රේමරත්න විසිනි. වසන්ත කුමාරවිල සටන් අධ්‍යක්ෂණය කළ මෙහි නර්තන නිර්මාණය ගයාන් ශ්‍රීමාල්ගෙනි. 1970 Love Story චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය චින්තක ජයකොඩි විසිනි.
සූර්යා දයාරුවන් – සමිතා මුදුන්කොටුව – සුරේන්ද්‍ර පෙරේරා ඇතුළු පිරිසක් මෙහි ගීත ගායනයෙන් එක්වනවා.

1970 Love Story චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ ආචාර්ය සමන් එදිරිසිංහ විසිනි.

නොමියෙන ආත්මීය ප්‍රේමයක මායාත්මක සිනමා ආමන්ත්‍රණය, 1970 Love Story හෙට සිට KCC, PVR, Regal ඇතුළු දිවයින පුරා සිනමා ශාලා රැසකදී ඔබට නැරඹිය හැකියි.

Share

751 Views 0 Ratings Rate it

Written by Kavinu Weerakkody


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.