Vicky Kaushal සිනමාවට පිවිස වසර 09ක්.

Avatar Nisanka Weheraduwa | July 12, 2021 62 Views 0 Likes 0 Ratings

62 Views 0 Ratings Rate it

Vicky Kaushalගේ නම කියපු පමණින්ම බොලිවුඩ් රසිකයින් මේ වෙනකොට ඔහුව හොඳින් හඳුනනවා. Masaan, Raazi, Sanju වැනි සිනමාපට හරහා තමන්ගේ ගමන ස්ථාවර කරගනිපු Vickyට වාසනාව ගේන්නේ 2019 වසරේදී තිරගත වුණු Uri හින්දි සිනමාපටය. කිසිවෙක් නොහිතපු විදිහකින් අතිශය සාර්ථකත්වයකට පත් වෙන්න Uri: The Surgical Strike සිනමාපටයට හැකි වුණා වගේම, ඒ සමගාමීව එහි ප්රධාන චරිතය කරන Vicky Kaushalගේ නමත් අතිශය ජනප්‍රිය වෙන්න පටන් ගත්තා. හැබැයි මේ කතාව පිටිපස්සේ තියෙන්නෙ නම් එච්චර ලේසියකින් සාර්ථක වුණු රංගන ශිල්පියෙකුගේ කතාවක් නෙමෙයි. පහළම තැනින් පටන්ගෙන මේ වනවිට බොලිවුඩයේ A ලැයිස්තුවේ වැජඹෙන Vickyගේ සිනමා ජීවිතය හිතෙන තරම් පහසු එකක් වුණේ නැහැ.

2021 අවුරුද්දට Vicky Kaushal රංගනයට පිවිසිලා වසර නමයයි. ඉතින් පසුගියදා ඔහු එම මතකය සැමරුවේ වෙනස්ම විදිහකට. 2012 වසරේදී තමන් පළවෙනියටම සහභාගී වුණු තිර පරීක්ෂණයේ ඡායාරූපයක් සමාජ මාධ්‍යවලට නිකුත් කරපු ඔහු රසිකයන් සමඟ තමන්ගේ සිනමා ගමනේ මතක බෙදාගත්තා.
“Today, 9 years back SHUKR!”
Vicky තමන්ගේ Instagram ගිණුමේ එසේ සඳහන් කරලා තිබුණා.

Vicky Kaushal මුලින්ම චිත්‍රපට කර්මාන්තයට එකතු වෙන්නේ සහය අධ්‍යක්ෂකවරයෙක් විදිහටයි. ඒ Anurag Kashyap අධ්‍යක්ෂණය කළ Gangs of Wasseypur සිනමාපටයේ assistant director භූමිකාවෙන්. නළුවෙක් ලෙසින් අපිට ඔහුව මුලින්ම දකින්න ලැබෙන්නෙත් එම වසරේදීමයි. 2012දී තිරගත වුණු Luv Shuv Tey Chicken Khurana චිත්‍රපටයෙන් ඔහු තමන්ගේ රංගන දිවිය ආරම්භ කළා. හැබැයි ආරම්භයම සාර්ථක වුණේ නැහැ. නළුවෙක් විදිහට අවධානයක් දිනා ගන්න නොලැබුණු නිසා ආපහු වතාවක් ඔහුට රංගනයට අවස්ථාවක් හිමිවෙන්නේ ඊට වසර තුනකට පස්සේ Bombay Velvet හින්දි චිත්‍රපටියෙන්. Bombay Velvet අධ්‍යක්ෂණය කරන්නේත් Anurag Kashyapමයි. කෙසේ වුණත් නළුවෙක් විදිහට යම් හෝ ප්‍රේක්ෂක අවධානයක් ලබා ගැනීමට ඔහු සමත් වෙන්නේ Masaan (2015) චිත්‍රපටිය තුළිනුයි. වාණිජ සාර්ථකත්වයක් අත් නොවුණත් Masaan හරහා විවිධ සම්මාන උළෙලන් කිහිපයකදීම Best Male Debut සම්මානය දිනා ගැනීමට  Vicky සමත් වූවා.

2018දී Sanju චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් හොඳම සහාය නළුවාට හිමි Filmfare සම්මානය ලබා ගත්තේද Vicky Kaushalමයි. මේ විදිහට ටිකෙන් ටික සාර්ථකත්වය දිහාට ළං වුණු ඔහුගේ වාසනාවන්තම වසර වුණේ 2019 කියලා කිව්වට වරදකුත් නැහැ. Aditya Dhar අධ්‍යක්ෂණය කළ Uri: The Surgical Strike චිත්‍රපටය තමන්ගේ සිනමාශාලා ප්‍රදර්ශනය අවසාන කරද්දි මෑතකාලීන ඉන්දියානු සිනමාවේ iconic වැඩක් වෙලා ඉවරයි. කෝටි 25ක පමණ පිරිවැයකින් නිපදවුණු  ලෝ පුරා තිරගත කිරීමෙන් අනතුරුව Uri තමන්ගේ ගමන නිමා කළේ ඉන්දියානු කෝටි 350කට එහා ආදායමකුත් එක්කයි. ඒ වගේම 66වන ජාතික සම්මාන උළෙලෙදි හොඳම අධ්‍යක්ෂකවරයා සහ හොඳම නළුවා ඇතුළු සම්මාන 04ක්ම තමන් සතු කරගන්නටත් එයට හැකි වුණා. මේ සාර්ථකත්වයත් එක්කම විකීගේ රංගන ජීවිතයත් කණපිට හැරවුණා කිව්වොත් තමයි හරි. නිරායාසයෙන්ම ඔහුව බොලිවුඩයේ සුපිරි තරු ශ්‍රේණිගත කිරීම්වලට ඇතුල් වුනා වගේම ඉන්දියාව පුරාම විකීගේ මුහුණ හඳුනන ප්‍රේක්ෂකාගාරයකුත් ඇති වුණා.

මෙවන් පසුබිමක් ඇතුළෙ නිර්මාණය වුණු Vicky Kaushal කියන රංගන ශිල්පියා මේ වෙනකොට තමන්ගේ අනන්‍යතාවය සිනමාව ඉදිරියේ ඔප්පු කරලා අවසන්. Sardar Udham Singh, The Immortal Ashwatthama, Takht, Mr Lele වැනි ඔහුගේ ඉදිරි සිනමා නිර්මාණ නැරඹීමට රසිකයින් පසුවෙන්නෙත් බොහොම නොඉවසිල්ලකින්.

Share

62 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.