ලාංකීය සිනමාවට අලුතින්ම එක් වන “කම්පනය”

Avatar Nisanka Weheraduwa | October 4, 2021 81 Views 0 Likes 5 On 1 Rating

81 Views 5 On 1 Rating Rate it

පසුගිය දිනවල මෙරට සමාජ මාධ්‍ය අවකාශයේ කතාබහට ලක්වුණු ලාංකීය සිනමාපටයක් තමයි Case No: 447 කියන්නේ. අධ්‍යක්ෂක ජෙගනාතන් චන්ද්‍රහසන්ගේ මූලිකත්වයෙන් යුතු Case No: 447 කණ්ඩායම පසුගියදා තවත් නව වෘතාන්ත චිත්‍රපටයක් ගැන ප්‍රේක්ෂකයින්ට දැනුම් දුන්නා. මේ නව සිනමාපටයේ සහය අධ්‍යක්ෂක සහ නිෂ්පාදන සම්බන්ධීකාරක මොහොමඩ මිශාල් පෙරේරාව, CinemaLk අපි සම්බන්ධ කර ගත්තේ මේ ගැන වැඩිදුර විස්තර දැනගන්නයි.

Q: ඔබ ඇතුළු කණ්ඩායම පසුගියදා තවත් අලුත් වෘතාන්ත සිනමාපටයක් පිළිබඳව  ප්‍රේක්ෂකයින්ට දැනුම් දුන්නා නේද? මොකක්ද මේ අලුත් නිර්මාණය..?

ඔව්, ඉදිරියේදී රූගත කිරීමට බලාපොරොත්තු වන අපේ අලුත්ම චිත්‍රපටයක නිල TITLE LOOK පෝස්ටරය නිකුත් කළා. ඒ තමයි “කම්පනය -The Shock” කියන සිනමාපටය…

Q: “කම්පනය” ලාංකීය සිනමා රසිකයින්ට නැවුම් ආරක සිනමා අත්දැකීමක් වෙයිද?

අනිවාර්යයෙන්ම ඔව්.

මොකද අපේ ප්‍රධාන රංගන ශිල්පීන්ගේ වෙනස්ම රඟපෑමක් මේ චිත්‍රපටයෙන් දකින්  පුළුවන් වෙයි. අනිත් specialties ගැන දැනගන්න ඉතින් චිත්‍රපටය බලන්නම වෙනවා. අපි ඒ ගැන ඒ වෙලාවටම කතා කරමු.

Q: මේ සිනමාපටයේ storyline එක ගැන ඉඟියක් දෙන්න ඔබ කැමතිද?

Thriller ශානරයේ සිනමා අත්දැකීමක් කියලා විතරක් දැනට කියන්නම්…

Q: මේ නිර්මාණයට සම්බන්ධ වන රංගන ශිල්පීන් පිරිස ගැන මතක් කළොත්?

ඇත්තටම මේ චිත්‍රපටයේ රංගන ශිල්පීන් ශිල්පිනියන් බොහොම සුලු පිරිසක් තමයි දායක වන්නේ . මෙහි ප්‍රධාන චරිත හතරෙන්, දෙකකට දායකත්වය ලබා දෙන්නේ දර්ශන් ධර්මරාජ් සහ ශානිකා නිරෝෂිණි විසින්. ඒ දෙදෙනාගේ පොඩි onboard වීඩියෝවක් අපි අන්තර්ජාලයට මුදා හැරියා. ඒත් සමගම මමත් කම්පනය චිත්‍රපටයට රංගනයෙන් දායක වීමට නියමිතයි

Q: තාක්ෂණික ශිල්පීන් වශයෙන් මේ නිර්මාණයට එකතු වෙන්නේ මොන වගේ පිරිසක්ද?

Case no 447 හෙවත් නඩු අංක 447 ටීම් එකමයි. අධ්‍යක්ෂණය ජෙගනාතන් චන්ද්‍රහසන්, කැමරාකරණය රාදෙයන් ඥානප්‍රකාසම්, සංගීතය හනී නයගරා සහ සහය අධ්‍යක්ෂණය, නිෂ්පාදන සැලසුම් සහ සම්බන්ධීකරණයෙන් මම තමයි දැනට ඉන්න තාක්ෂණික ශිල්පීන් පිරිස.

Q: කෝවිඩ් වසංගතය නිසා ලාංකීය සිනමාකරුවන්ට බොහෝ ගැටලුවලට මුහුණ පාන්නට සිදු වෙලා. මෙවැනි ගැටලුකාරී කාලයක “කම්පනය” සිනමාපටයේ වැඩ කටයුතු ඇරඹීම අභියෝගයක් නෙමෙයිද?

ඔව් අභියෝගයක් තමයි, ඒ අභියෝගය නම් අපේ කණ්ඩායමට පහසුවෙන් ජයගන්න පුළුවන් වෙයි. සිනමාකරුවන්ට පමණක් නෙමේ. ලංකාවේ අපි හැමෝටම මේ වසංගත තත්ත්වය තදින්ම බලපෑවා.  අපි දැන් බලාගෙන ඉන්නෙ සංචරණ සීමා ඉවත් වෙනකන්! මොකද අපේ කණ්ඩායමේ තවත් ලොකු නිර්මාණයක නිෂ්පාදන කටයුතු තාවකාලිකව නතර වෙලා.

Q: ලාංකීය සිනමාවේ වාණිජ නිර්මාණ.. එහෙමත් නැතිනම් commercial movies හිඟයක් ගැන බොහෝ දෙනා චෝදනා කරනවා. තරුණ නිර්මාණකරුවෙකු වශයෙන් ඒ ගැන ඔබේ අදහස..?

අනිවාර්යයෙන්ම ඔව්. මං කලිනුත් කියලා තියෙනවා මේ ගැන. අපිට commercial , entertaining, mass, masala ෆිල්ම්ස් ගොඩක් අඩුයි. නිර්මාණකරුවන් සම්මාන වලට චිත්‍රපට හදන එක සහ Art films පොඩ්ඩක් නවත්තලා , අපේ ප්‍රේක්ෂකයින්ට චිත්‍රපට හදන්න ඕන. හැබයි ප්‍රේක්ෂකයාත් දැන ගන්න ඕනෙ ඒ නිර්මාණ සිනමා ශාලාවටම ගොස් නරඹන්න…

Q: කම්පනයට පෙර ඔබ කණ්ඩායම විසින් නිර්මාණය කළ Case No: 447 චිත්‍රපටයත් සමාජ මාධ්‍ය තුළ කතාබහට ලක් වුණා. මේ වෙනකොට එහි වැඩ කටයුතු සිද්ධ වෙන්නේ මොන ආකාරයෙන්ද?

Case No: 447 කියන්නේ අපි කවුරුත් බලාපොරොත්තු තියාගෙන සිටින නිර්මාණයක්. චිත්‍රපටයේ Pre production නම් ඉවරයි. Shooting තමයි දැන් පටන් ගන්න තියෙන්නෙ. මේක රූගත කිරීම් පටන් ගන්න හදනකොටම නොයෙකුත් බාධා පිට බාධා පැමිණියා. ප්‍රධානම බාධාව වුණේ කෝවිඩ් වසංගතය හරස් වීම.   Case No: 447 කියන්නේ ප්‍රේක්ෂකයින් වෙනුවෙන් කරන චිත්‍රපටයක්. Entertaining බයිස්කෝප් ෆිල්ම් එකක්. කවුරුවත් Case No: 447 ගැන බලාපොරොත්තු නැති කරගන්න එපා. කම්පනය චිත්‍රපටය රූගත කිරීම් අවසන් කළ ගමන්ම අපි අනිවාර්යෙන්ම Case No: 447 හි රූගත කිරීම් පටන් ගන්නවා.

Q: ඒ කියන්නේ වැඩි කාලයක් ගත වෙන්න කලින් Case No: 447 නරඹන්න අපිට හැකි වෙයිද?

කොවිඩ් වසංගතය ආයෙමත් හරස් නොවේවා කියලා මං ප්‍රාර්ථනා කරනවා. එහෙම හරස් නොවුණොත්, Case No: 447 ඉක්මනින්ම ප්‍රේක්ෂකයින්ට බාර දෙනවා.

Q: ඉදිරි කලා කටයුතු ගැනත් මතක් කළොත්?

කම්පනය සිනමාපටයට කලින් අපි තව නිර්මාණයක් කරනවා. ඒ චිත්‍රපටයේ විස්තර අපි රූගතකිරීම් අවසන් කළහම දැනුම් දෙන්නම්. ඉන්පසුව කම්පනය රූගත කිරීම් ආරම්භ කරනවා. අපි කරපු Dairy කෙටි සිනමාපටයත් ඉදිරියේදී එළි දැක්වීමට නියමිතයි. ඒත් එක්කම මම, චන්ද්‍රහසන් සමඟ එකතු වෙලා තව චිත්‍රපට පිටපත් 4ක් සහ web series පිටපත් 3ක් අවසන් කළා. බලමු! ඒ පිටපත්වලටත් හොඳ නිෂ්පාදකවරයෙක් අපට මුණ ගැහෙයි කියලා මන් හිතනවා.

Share

81 Views 5 On 1 Rating Rate it

Written by Nisanka Weheraduwa


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.