කොලිවුඩය කැළඹූ ලංකාවේ ගීතය – Varraru Varraru Annaatthe
දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය මුල් කර ගනිමින් ගොඩ නැඟුණු කොලිවුඩ් සිනමාව, අද වනවිට ලෝකයේ දැවැන්තම ප්‍රේක්ෂකාගාරයක් සිටින කලාපීය සිනමා කර්මාන්ත කිහිපයෙන් එකක්. එදා මෙදා’තුර කොලිවුඩ් සිනමාවෙන් බිහි වුනු රංගන ශිල්පීන් ප්‍රමාණය අති විශාලයි. නමුත් ඔවුන් අතරින් Super-Star කාණ්ඩයට අයත් වන්නට හැකියාව ලැබුනේ කිහිප දෙනෙකුට පමණයි. MGR, සිවාජි ගනේෂන් වැනි රංගන ශිල්පීන්ට පසු කොලිවුඩ් සිනමාවෙන් බිහි වූ ඊළඟ Super star විදිහට හඳුන්වන්නේ ඉන්දීය සුපිරි නළු Rajinikanthවයි.
ඒ නිසාම Rajinikanthගේ අලුත් චිත්‍රපට පිළිබඳව විස්තර දැනගන්නට ඔහුගේ රසිකයින් මිලියන ගණනක් බොහොම උනන්දුවෙන් පසුවෙනවා. ඉන්දියාව තුළ වගේම මෙරටත් ඔහුට දැවැන්ත ප්‍රේක්ෂකාගාරයක් සිටින නිසා රජිනිකාන්ත් ගැන නිතර නිතරම අපි අතරෙත් කියවෙනවා. රජිනිකාන්ත් වෙනුවෙන් ලංකාවේ තියෙන මේ උන්මාදය යළිත් සනාථ වුණු සිද්ධියක් පසුගිය සතියෙදි මාධ්‍ය වාර්තා අතරට එක්වුනා. ඔහුගේ නවතම චිත්‍රපටය වන Annaattheසිනමා නිර්මාණයට සමාගාමීවයි. Annaatthe චිත්‍රපටය වෙනුවෙන් ලාංකික කලාකරුවන් පිරිසක් නිර්මාණය කළ ප්‍රවර්ධන ගීතයක් (Promo song) තමිල්නාඩුවේ විශාල ජනප්‍රියත්වයක් ලබා තිබීම මේ අලුත් කතාබහට හේතු වුනා. ඉන්දීය සමාජ මාධ්‍ය අවකාශයේ ජනප්‍රිය වූ මේ ගීතය දමිළ රූපවාහිනී නාලිකා මඟිනුත් පසුව ප්‍රචාරය වූ බවට අන්තර්ජාලයේ සඳහන්. මේ වනවිට Rajinikanth රසිකයින් බොහෝමයක් මෙහි cover versions එළි දක්වමින් සිටින බවත් අන්තර්ජාල තොරතුරු අතර කියවෙනවා.
Varraru Varraru Annaatthe යනුවෙන් නම් කර තිබෙන මේ ගීතය ගායනා කරන්නේ ක්‍රිෂන් මහේෂන් සමඟින් රෝජා සිවකුමාර්. කන්දප්පු ජයෙන්තන්ගේ සංගීතයෙන් හැඩ වෙන Varraru Varraru Annaatthe ගීතය රචනා කර තිබෙන්නේ මෙරට ප්‍රසිද්ධ දමිළ ගීත රචකයෙකු වන පොතුවිල් අස්මින් විසිනුයි. Mixing & Mastering සඳහා අරුන් කුමාරස්වාමි සහය වී තිබෙනවා. මෙම ගීතයේ සංගීත අධ්‍යක්ෂණය කළ Kandeppu Jayenthan, මෙරට දමිළ සමාජයේ ප්‍රසිද්ධ සංගීත අධ්‍යක්ෂකවරයෙක්. වවුනියාව ප්‍රදේශයේ වාසය කරන ඔහු මීට පෙර අවස්ථා ගණනාවකදීම දකුණු ඉන්දියාව තුළ කතාබහට ලක්ව තිබෙනවා. සිව් වතාවකදීම ජාතික සම්මානයෙන් පිදුම් ලැබීමටත් Kandeppu Jayenthanට හැකියාව ලැබුනු බවත් සඳහන්.
Varraru Varraru Annaatthe ගීතයේ පද රචකයා වන Pottuvil Asmin ඉන්දීය සිනමාව තුළ ලාංකීය නාමය රැඳවූ විශිෂ්ටයෙක්. 2016 වසරේ හිටපු තමිල්නාඩු මහ ඇමතිනි ජයලලිතා ජෙයරාම්, මිය ගිය අවස්ථාවේදී ඔහු රචනා කළ “Vane Idinthadhamma” ගීතය මුලු තමිල්නාඩුව පුරාම එක සේ ජනප්‍රිය වුනා.. ප්‍රසිද්ධ දමිළ නළු විජේ ඇන්ටනි රංගනයෙන් දායක වූ Naan (2012) චිත්‍රපටයේ ගීත රචනයටත් පොතුවිල් අස්මින් සම්බන්ධ වී තිබෙනවා. 2015 Edison Awards සම්මාන උළෙලේදී හොඳම විදේශීය ගී පද රචකයාට (Best Overseas Lyricist) හිමි සම්මානය දිනා ගත්තේ ද ඔහු විසිනුයි. ඒ Amara Kaaviyam කොලිවුඩ් චිත්‍රපටයට රචනා කළ ‘Thaagam Theerea’ ගීතය වෙනුවෙනුයි.
අධ්‍යක්ෂක Sivaගේ මූලිකත්වයෙන් නිමැවෙන රජිනිකාන්ත්ගේ Annaatthe සිනමාපටය, එළඹෙන දීපවාලි උත්සවයට සමගාමීව නොවැම්බර් මස 04දා නිකුත් කිරීමට සැළසුම් කොට තිබෙන බව පැවසෙනවා. ඉන්දීය රුපියල් කෝටි 130කට ආසන්න මුදලක් මෙහි නිෂ්පාදනයට වැය වී තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කොට තිබුනා. Annaatthe හි රංගනය වෙනුවෙන් රජිනිකාන්ත්ගේ වැටුප පමණක් ඉන්දීය කෝටි 58ක්. මෙය Sun Pictures නිෂ්පාදනයක්.
Written by Nisanka Weheraduwa