A Simple Favor සීක්වල් නිර්මාණයට Anna හා Blake නැවතත්…
ඔබ හොලිවුඩයේ black comedy චිත්‍රපටවලට කැමති අයෙක් නම්, 2018 වසරේදී තිරගත වුනු A Simple Favor සිනමා නිර්මාණය නරඹා නොතිබෙන්නට විදිහක් නැහැ. Anna Kendrickගේ ප්‍රධාන රංගනයෙන් හැඩ වූ A Simple Favor හොලිවුඩ් සිනමාපටය එම වසරේදී සැලකිය යුතු ප්‍රේක්ෂක අවධානයක් නතු කරගන්නට සමත් වුනා. ඩොලර් මිලියන 18ක නිෂ්පාදන පිරිවැයට සාපේක්ෂව ඩොලර් මිලියන 100කට ආසන්න Box-Office ආදායමක් ලබා ගත් නිසා ඊට හොඳ වාණිජමය ශක්තියක් පවා හිමි වූවා. මෑතකාලීනව හොලිවුඩයේ තිරගත වූ black comedy චිත්‍රපට අතුරින් වාණිජමය සහ ප්‍රේක්ෂක ආකර්ෂණය කියන දෙවර්ගයෙන්ම වැඩිම සාර්ථකත්වයක් ලබා ගත් නිර්මාණ ලැයිස්තුවෙ හි A Simple Favor සිනමාපටයත් දැකගත හැකියි.
2018 සැප්තැම්බර් මාසයේදී ලෝ පුරා තිරගත වීම ඇරඹි මෙම නිර්මාණය අධ්‍යක්ෂණය කළේ Paul Feig විසිනුයි. වාණිජමය වශයෙන් සාර්ථක චිත්‍රපට ගණනාවක නිර්මාණකරු වන ඔහු කලක් හාස්‍ය ශිල්පියෙකු ලෙසද විවිධ වැඩසටහන් ඉදිරිපත් කළ අයෙක්. ඒ නිසාමදෝ ඔහු අධ්‍යක්ෂණය කළ බහුතරයක් චිත්‍රපට අයත් වන්නේ හාස්‍යෝත්පාදක (Comedy) ශානරයටයි.
A Simple Favor චිත්‍රපටය අවසානයේදී එහි දෙවන කොටසක් නිකුත් විය හැකි බවට ඉඟියක් දක්නට ලැබුණත් ඒ ගැන නිශ්චිත නිවේදනයක් නිකුත් වූයේ නැහැ. Anna Kendrick පවා කිහිම වතාවකදීම දෙවන දිගහැරුමක් ගැන ධනාත්මක ප්‍රතිචාරයක් ලබා නොදුන් නිසාම, රසිකයින්ට පවා දෙවන සීක්වල් නිර්මාණයක් ගැන විශ්වාසයක් පැවතුනේ නැහැ. නමුත් පසුගිය අප්‍රියෙල් මාසයේ සිට හොලිවුඩයට සම්බන්ධ ප්‍රධාන පෙළේ වෙබ් අඩවි ගණනාවකින්ම A Simple Favor දෙවන චිත්‍රපටයක් ගැන rumors පවතින බවත්, නුදුරු දිනකදීම නිළ වශයෙන් එහි නිෂ්පාදන කටයුතු ඇරඹිය හැකි බවත්, ප්‍රකාශ කිරීම නිසා රසිකයින් නැවතත් ඒ ගැන සොයා බලන්නට යොමු වුනා. එම ප්‍රවෘත්තිය සත්‍යයක් බවට පෙරළමින් පසුගිය මැයි මාසයේදී A Simple Favor දෙවන චිත්‍රපටය ගැන ඔවුන්ගේ නිෂ්පාදන ආයතනයෙන්ම නිළ වශයෙන් මාධ්‍යයට අණාවරණය කළා.
මුල් චිත්‍රපටයේ නළු නිළියන් පිරිස සහ ප්‍රධාන තාක්ෂණික ශිල්පීන් පිරිස නැවතත් මෙම නිර්මාණයට එකතු වීමට නියමිතයි. පළමු චිත්‍රපටයේ ප්‍රධාන චරිතය ඉදිරිපත් කළ Anna Kendrick සහ ඇගේ යෙහෙලියගේ චරිතය රඟපෑ Black Lively දෙවන කොටසේ ප්‍රධාන චරිත ද්විත්වයට නැවත වතාවත් සම්බන්ධ වන අතර චිත්‍රපටයේ තිර පිටපත රචනයෙන් දායක වන්නේ පළමු නිර්මාණයේ තිර පිටපත රචනා කළ Jessica Sharzer.
නමුත් මෙවර චිත්‍රපටයේදී මෙහි storyline/plot details ආදිය පිළිබඳව ඇතැම් රසිකයින්ට යම් කුතුහලයක් පැන නැඟී තිබෙනවා. පළමු A Small Favor සිනමාපටයට පාදක වූයේ Darcaey Bell නැමැති කතුවරිය රචනා කළ, චිත්‍රපටයේ නමින්ම හැඳින්වෙන A Simple Favor නැමැති ප්‍රබන්ධ කතාවකුයි. නමුත් මෙම දෙවන චිත්‍රපටයට ආදාළ පිටපත Jessica Sharzer විසින් රචනා කරන්නේ කුමක් මුල් කරගෙනද යන්න තවම හෙළිදරවු වී නැහැ.
කෙසේ වුවත්, මෙවර චිත්‍රපටයේ පිටපත රචනා කිරීම සඳහා Jessica Sharzer සමඟින් Darcaey Bell ද එක්වීමට ඉඩකඩ තිබෙන සඳහන්.
1986 තරම් අතීතයේ සිට විවිධ රූපවාහිනී කතා මාලාවන්ට රංගනයෙන් සම්බන්ධ වූ Paul Feig පළමු වරට සිනමාපටයක් අධ්‍යක්ෂණය කරන්නේ 2003 වසරේදීයි. I am David (2003) යනුවෙන් හැඳින්වෙන එම නිර්මාණයේ තිබෙන සරල හාස්‍යමය ගතිය නිසාම එය එකල බොහෝ ජනප්‍රියත්වයට පත්ව තිබෙනවා. එතැන් පටන් Bridesmaids (2011) , The Heat (2013) , Ghostbusters (2016) , Last Christmas (2019) ආදී comedy ශානරයේ – ජනප්‍රිය චිත්‍රපට ගණනාවක් පෝල් ෆෙයිග් අධ්‍යක්ෂණය කළ අතර ඔහු වැඩිම අවධානයට පත් වුනේ ජේසන් සැතම් රඟපෑ Spy (2015) සිනමා නිර්මාණයත් සමඟයි.
පෙර චිත්‍රපටවල සාර්ථකත්වය සහ හාස්‍යමය චිත්‍රපට අධ්‍යක්ෂණය කිරීමට ඔහු දක්වන දක්ෂතාවය නිසාම, දෙවන A Simple Favor චිත්‍රපටයටත් ඔහු එක්වීම බොහෝ දෙනෙකුගේ ප්‍රශංසාවට හේතු වී තිබෙන අයුරු දැකගත හැකියි.
අධ්‍යක්ෂණයට අමතරව චිත්‍රපටයේ ප්‍රධාන නිෂ්පාදකවරයා ලෙසත් Paul Feig කටයුතු කරනවා. ඒ ඔහුට අයිති Feigco Entertainment නිෂ්පාදන ආයතනය යටතේයි. Paul Feig සමඟින් මෙහි සම නිෂ්පාදිකාව ලෙස සම්බන්ධ වන්නේ Laura Fischerයි. සුපුරුදු ලෙසම Lionsgate සමාගම යටතේ චිත්‍රපටය බෙදා හැරීමට නියමිතයි.
සිනමාපටයේ ප්‍රධාන චරිතය වන ‘ස්ටෙෆනි’ නැමැති vloggerගේ භුමිකාව නිරූපණය කරන රංගන ශිල්පිනී Anna Kendrick මේ දිනවල ඇගේ මීළඟ නිර්මාණය වන Alice Darling නැමැති ත්‍රිලර් චිත්‍රපටයේ රූගත කිරීම්වලට එකතු වී සිටින අතර ඇය රඟපෑ කතාමාලා කිහිපයක්ම පසුගිය දිනවල විකාශනය ඇරඹුනා.
A Simple Favor හි ස්ටෙෆනිගේ අත්භූතජනක යෙහෙළිය වන ‘එමිලි නෙල්සන්’ගේ චරිතය රඟපාන Blake Lively මේ දිනවල ඇගේ පළමු සිනමා අධ්‍යක්ෂණය සඳහා සූදානම් වනවා. Seconds යනුවෙන් නම් තබා ඇති එය Bryan Lee O’Malleyගේ ග්‍රැෆික් නවකතාවක් ඇසුරෙන් නිෂ්පාදනය වන සිනමාපටයක්.
Written by Kavinu Weerakkody