Ayushmann Khurrana දොස්තර ඇඳුමට මාරු වෙයි.

Avatar Nisanka Weheraduwa | October 20, 2021 44 Views 0 Likes 0 Ratings

44 Views 0 Ratings Rate it

වාණිජ සිනමා ධාරාව ඇතුළේ ජනප්‍රිය වෙන බොහෝ නළුවන් නිතරම පාහේ එකම චරිත කිහිපයකට සීමා වීම නිතරම දැකගන්න ලැබෙන තත්වයක්. තමන්ගේ වාණිජමය වටිනාකමත් ආරක්ෂා කරගනිමින් චරිතාංග නළුවෙක් විදිහට ඉස්මතු වීමත් ලේසි පහසු අභියෝගයක් නෙමෙයි. හැබැයි Ayushmann Khurrana කියන්නේ මේ අභියෝගයට සාර්ථකව මුහුණ දෙමින් සිටින ශිල්පියෙක්. 2012දී තමන්ගේ පළමුවැනි සිනමාපටයේ සිට මේ දක්වාම ඔහු තෝරා ගනිපු චිත්‍රපටවලින් දැකගන්නට ලැබුණේ ඉහළ විවිධත්වයක් සහිත චරිත. ඒ වගේම, Ayushmann පවත්වා ගෙන ආ රසික ජනප්‍රියත්වය නිසා අද වන විට ඔහුගේ බොහෝ නිර්මාණ කෝටි 100කට ආසන්න ආදායම් ලබනවා. එකම චරිතයකට කොටු නොවී විවිධ අත්හදා බැලීම් කරන වර්තමාන ඉන්දීය වාණිජ සිනමාවේ ප්‍රබලම නළුවෙක් විදිහටත් ඔහුව හඳුන්වන්න හැකියි.

Ayushmann Khurranaගේ මේ විවිධත්වය නිසාම ඔහු ගිවිසුම්ගත වෙන අලුත් චිත්‍රපට ගැන ප්‍රේක්ෂකාගාරය දැඩි උඅනන්දුවක් දක්වනවා. දැනට වසර එකහමාරකට පෙර නිකුත් වුණු Gulabo Sitabo චිත්‍රපටයෙන් පසු ඔහුගේ කිසිම නිර්මාණයක් දැකගන්න ලැබුණේ නැති නිසා මේ උනන්දුව දෙගුණ තෙගුණ වෙලා කිව්වත් නිවැරදියි. කෝවිඩ් වසංගතය නිසා ඉන්දියානු සිනමා කර්මාන්තය මඳක් පසුබැස තිබුණත් දුෂ්කරතා මධ්‍යයේම බොහෝ සිනමාපටවල නිෂ්පාදන කටයුතු නොනවත්වාම සිදුවනවා. Ayushmann රංගනයෙන් දායක වුණු Doctor G චිත්‍රපටයත් එවැන්නක්.

Ayushmann Khurrana සම්බන්ධ වූ අලුත්ම නිර්මාණය වූ Doctor G සිනමාපටය පසුගිය සැප්තැම්බර් මාසයේදී රෑපගත කිරීම් අවසන් කළා. ප්‍රසිද්ධ චිත්‍රපට අධ්‍යක්ෂක Anurag Kashyapගේ සහෝදරිය Anubhuti Kashyapගේ අධ්‍යක්ෂණයෙන් නිමැවෙන මෙය නිෂ්පාදනය කරන්නේ Talvar, Raazi, Badhaai Ho වැනි ප්‍රසිද්ධ චිත්‍රපට රාශියක් සිදු කළ Junglee Pictures හරහායි. නිෂ්පාදකයින් Doctor G චිත්‍රපටය ගැන මුලින්ම මාධ්‍යයට අණාවරණය කළේ 2020 දෙසැම්බර් මාසයේදී වුණත් කෝවිඩ් වසංගතය නිසා එහි නිෂ්පාදන කටයුතු බොහෝ සෙයින් ප්‍රමාද වුනා. බොලිවුඩ් මාධ්‍ය වාර්තා කරන අන්දමට Doctor G නිර්මාණය වන්නේ වෛද්‍ය විද්‍යාලයක් මුල් කරගෙනයි. අයුෂ්මාන්ගේ පෙර චිත්‍රපටවල මෙන්ම මෙයත් සමාජ ප්‍රශ්නයක් වටා ගෙතෙන Campus comedy චිත්‍රපටයක් බවයි අන්තර්ජාලයේ දැක්වෙන්නේ. අයුෂ්මාන් සමඟින් මෙහි ප්‍රධාන කාන්තා චරිතයට රඟපාන්නේ සුරූපී හින්දි නිළි Rakul Preet Singh.  වෛද්‍ය ශිෂ්‍ය උදෙයි ගුප්තාගේ චරිතය ආයුෂ්මන් රඟපාද්දී කනිෂ්ඨ වෛද්‍ය ශිෂ්‍යා ෆාතිමා දුගල් විදිහට රකුල් ප්‍රීත් රඟපානවා. මෙහි තිර පිටපත ලියන්නට රචකයින් සිව් දෙනෙක් එක්වීමත් විශේෂත්වයක්. අධ්‍යක්ෂිකා Anubhuthi Kashyap සමඟින් ඊට එකතු වූයේ Sumit Saxena, Vishal Vagh සහ Saurabh Bharatයි.

“I am super excited to be a part of Doctor G. There are many firsts in this film for me starting with my co-star Ayushmann and I am thankful to Junglee Pictures and the director Anubhuti for bringing us together. I was in love with the script from the time I had heard it. It’s a very interesting concept of medical drama and campus comedy that will bring a new perspective to the audience. I cannot wait to start shooting for the film”.

ප්‍රධාන කාන්තා චරිතය නිරූපණය කරන Rakul Preet Singh මේ චිත්‍රපටය ගැන අදහස් දක්වලා තියෙන විදිහෙන්ම තිර පිටපතේ සාර්ථකත්වය ගැන යම් අදහසක් ලබා ගන්නට හැකියාව තිබෙනවා. Ayushmann සහ Rakul Preetට අමතරව රංගන ශිල්පීනි Shefali Shaත් මෙම සිනමාපටයේ උපප්‍රධාන චරිතයකට ගිවිසුම් ගත වී තිබෙනවා. ඒ නන්දිනී නැමැති ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරියකගේ චරිතය උදෙසායි. ලෝක ප්‍රසිද්ධ Emmy සම්මානයෙන් පවා පිදුම් ලැබූ ඉන්දීය Delhi Crime වෙබ් කතාමාලාව Shefali Shaගේ රංගන ජීවිතයේ සංදිස්ථානයක් ලෙසින් හැඳින්වූවාට වරදකුත් නැහැ. රංගන ශිල්පී Ayushmann Khurrana මෙහි පසුබිම් ගායනයටත් එකතු වී සිටින බවක් බොලිවුඩ් මාධ්‍ය වාර්තා කළත් ඒ ගැන නිල තොරතුරක් තවමත් ලැබී නැහැ. නමුත් Ayushmann කියන්නේ නළුවෙක් වගේම ගායකයෙක් විදිහටත් හොඳ සාර්ථකත්වයක් ලබා ගත් කෙනෙකු නිසා ඇතැම්විට මේ ආරංචිය ඇත්තක් වෙන්නත් පුලුවන්. Vicky Donor, Badhai Hoo, Andhadhun වැනි ඔහු රඟපෑ චිත්‍රපට කිහිපයකම ගීත ගායනයටත් අයුෂ්මාන් දායක වුනා.

It is always amazing to see two talented individuals coming together. For Doctor G, we wanted a very interesting cast and I am happy we have Ayushmann and Rakul with us. Their on-screen pairing is fresh just like the characters they play in the film and their energies and chemistry will be unique and refreshing for the audience”.

Doctor G අධ්‍යක්ෂිකා Anubhuti Kashyapගේ චරිත තේරීම ගැන හරියටම දැන ගන්න නම් අපිට ලොකු කාලයක් ගත වෙන එකකුත් නැහැ. මොකද මේ වන විට මෙහි සංස්කරණ කටයුතු සිදු වෙමින් පවතිනවා වගේම ඉන්දීය සිනමා ශාලා නැවත විවෘත කිරීම ගැනත් රජය යහපත් ප්‍රතිචාරයක් දක්වමිනුයි ඉන්නේ. ඉතින් අනෙකුත් සිනමාපට වගේම Doctor G නරඹන්නටත් වැඩි කාලයක් නම් බලා ඉන්නට සිදු වෙන එකක් නැහැ.

Share

44 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.