Brie Larson දසවන F&F නිර්මාණයට සම්බන්ධ වෙයි

Avatar Kavinu Weerakkody | April 12, 2022 385 Views 0 Likes 0 Ratings

385 Views 0 Ratings Rate it

Fast and Furious චිත්‍රපට මාලාවේ මීළඟ නිර්මාණය වන F10 සිනමාපටය සඳහා රංගන ශිල්පිනී Brie Larson සම්බන්ධ වන බවට පසුගිය දිනකදී නිල වශයෙන් දැනුම් දුන්නා. Captain Marvel චිත්‍රපටයෙන් පසුගිය කාලයේදී වැඩි වශයෙන් රසිකයින්ට සමීප වූ Brie Larson, ස්වභාවයෙන්ම ක්‍රියාදාම නිර්මාණවලට ගැළපෙන රංගන ශිල්පිනියක්.

Brie Larson සම්බන්ධ වීමට නියමිත චරිතය පිළිබඳව නිසි තොරතුරක් තවමත් දැකගන්නට නොහැකි වුණත්, Dominic Toretto ප්‍රමුඛ කණ්ඩායමේ සාමාජිකයෙකු වශයෙන් ඇය එක්වීමට සූදානම් බවටයි හොලිවුඩයේ ප්‍රමුඛ පෙළේ සිනමා තොරතුරු සපයන්නන් කිහිප දෙනෙකුම ඔවුන්ගේ සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ දැනුම් දුන්නේ…
විශේෂයෙන්ම, වෙනත් නිළියක තෝරා නොගනිමින් ක්‍රියාදාම දර්ශන නිසාම රසිකයින් අතරේ ජනප්‍රියත්වයට පත් වූ Brie Larson වැනි රංගන ශිල්පිනියක මේ නිර්මාණයට තෝරා ගැනීම තුළින් පැහැදිලි වන්නේ ඇය සම්බන්ධ වන Action Sequences ප්‍රමාණයකුත්  F10 හරහා දැක ගැනීමට හැකි බවයි.

Brie Larson ඉදිරි F&F චිත්‍රපටයට සම්බන්ධ වන බවට දැනුම් දුන්නේ Fast & Furious චිත්‍රපට මාලාවේ නිෂ්පාදකවරයෙකු සහ ප්‍රධාන රංගන ශිල්පියා වන Vin Diesel විසිනුයි. ඒ ඔහුගේ නිල instagram ගිණුම් හරහා හැඟීම්බර පණිවුඩයකුත් එක් කරමිනුයි.

“Yeah yeah yeah… you see this angel over my shoulder cracking me up, you say to your self “ that’s captain Marvel”. Clearly there is love and laughter in this image. What you don’t see however, is the character you will be introduced to in Fast10. You have no idea how timeless and amazing she will be in our mythology. Beyond her beauty, her intellect… her Oscar, haha is this profound soul who will add something you might not have expected but yearned for.
Welcome to the FAMILY Brie.
@brielarson “

ඔවුන් දෙදෙනා සිනාමුසු මුහුණින් සිටින ඡායාරූපයක් අන්තර්ජාලයට එක් කරමින් Vin Diesel තැබූ එම සටහනේ අවසානයට Welcome to the FAMILY Brie.. යනුවෙන් සටහන් කර තිබීම බොහෝ දෙනෙකුගේ අවධානය දිනාගත් කාරණයක් වුනා. Brie රඟන චරිතය ප්‍රතිවීර චරිතයක් නොවී Dominic Toretto ප්‍රමුඛ කණ්ඩායමේ සාමාජිකයෙකු ම විය හැකි බවට ඔවුන් ඉඟි පළ කරන්නේ ත් මෙම හේතුව නිසායි.

F9 චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ Justin Lin විසින්ම මේ චිත්‍රපටය ද අධ්‍යක්ෂණය කිරීමට නියමිතව තිබෙනවා. නිර්මාණයේ නම තවමත් සාකච්ඡා මට්ටමේ පවතින නිසා Fast and Furious 10 නැමැති working title එක යොදා ගනිමිනුයි මෙහි නිෂ්පාදන කටයුතු සිදු කෙරෙන්නේ. පෙර චිත්‍රපටවල සිටි Vin Diesel, Michelle Rodriguez, Tyrese Gibson, Ludacris, Sung Kang ඇතුළු Fast and Furious කණ්ඩායමේ original cast එක මේ චිත්‍රපටයටත් රංගනයෙන් සම්බන්ධ වනවා. 2017දී තිරගත වූ The Fate of the Furious හරහා F&F කතාමාලාවට පිවිසි ප්‍රතිවීර චරිතයක් වූ Charlize Theron ද චිත්‍රපටයේ සැලකිය යුතු රංගනයක් ඉදිරිපත් කරන බවට වාර්තා වනවා.
ප්‍රසිද්ධ ක්‍රියාදාම නළු Jason Momoaවත් මීළඟ F&F චිත්‍රපටයෙන් දැකගත හැකි බවට පසුගිය පෙබරවාරි මාසයේදී නිෂ්පාදකයින් විසින් තහවුරු කළා.

F9 : The Fast Saga චිත්‍රපටයට පෙර මේ කතාමාලාවේ තවත් චිත්‍රපට තුනක් Justin Lin විසින් අධ්‍යක්ෂණය කර තිබෙනවා. එමෙන්ම ඉදිරියේදී නිකුත් වීමට නියමිත F10 සහ F11 අධ්‍යක්ෂණයද ඔහු විසින් සිදු කිරීමට සූදානම් බවත් සනාථ වී තිබෙනවා. ඒ අනුව ඔහු විසින් සම්බන්ධ වූ සහ සම්බන්ධ වීමට නියමිත F&F චිත්‍රපට සංඛ්‍යාව 06ක්!

The Fast and the Furious: Tokyo Drift (2006)
Fast & Furious (2009)
Fast Five (2011)
Fast & Furious 6 (2013)
F9 : The Fast Saga (2021)
F10 (2023)
F11 (2024)

නිෂ්පාදක කණ්ඩායම පෙරදී තහවුරු කළ අන්දමට නම් F10 සිනමාපටය ලෝ පුරා සිනමාශාලාවල තිරගත කිරීමට නියමිතව තිබෙන්නේ 2023 මැයි 19 වනදායි. නමුත් දැන් පවතින කෝවිඩ් වසංගතය උත්සන්න වුවහොත් හෝ අවධානමත් සමඟ නිසි කලට නිෂ්පාදන කටයුතු අවසන් කරගන්නට නොහැකි වුවහොත්; release dates වෙනස් වීමට යම් සම්භාවිතාවක් තිබෙනවා.

පළමු චිත්‍රපටයේ සිට මේ දක්වා විවිධ, ජනප්‍රිය රංගන ශිල්පීන් බොහෝමයක් F&F චිත්‍රපට මාලාව සමඟ එක්වී තිබෙනවා. Vin Diesel, Paul Walker, Michelle Rodriguez, Tyrese Gibson, Ludacris වැනි main cast එකට අමතරව Dwayne Johnson, Jason Statham, Luke Evans, Kurt Russell, Helen Mirren සහ John Cena වැනි ලෝක ප්‍රසිද්ධ දැවැන්ත චරිත රාශියක් මේ කතාමාලාව හරහා රසිකයින්ට සමීප වුනා. Wonder Woman චිත්‍රපටයට සම්බන්ධ වීමට පෙර Gal Gadot විසින්ද F&F සිනමාපට 03කට රංගනයෙන් සම්බන්ධ වුනා.

රංගන ශිල්පී Vin Diesel සමඟ ඇති කරගත් පෞද්ගලික විරසකයක් නිසා පෙර සිනමාපටවල සිටි Dwayne Johnson හෙවත් ‘ද රොක්’ව F9 හි රඟපෑවේ නැහැ. ඉන් වසරකට පමණ පසු Vin Diesel විසින් තමන්ගේ සමාජ ජාලා ගිණුම් හරහා යළිත් Dwayne Johnsonට ආරාධනා කරමින් පැවසූයේ Fast and Furious චිත්‍රපට මාලාවට නිසි අවසානයක් ලබා දීමට යළිත් තමන් හා එකතු වන ලෙසයි. නමුත් ප්‍රසිද්ධියේම ඒ ආරාධනය ප්‍රතික්ෂේප කළ Dwayne Johnson යළිත් F&Fට එකතු වීමට තමාට කිසිදු අදහසක් නැති බවත් ප්‍රකාශ කර සිටියා.

Brie Larson කියන්නේ මෙම ලැයිස්තුවට එකතු වන නවතම සිනමා තාරකාවයි. 2004 වසරේදී 13 Going on 30 සහ Sleepover චිත්‍රපට හරහා සිනමා රංගනයට පිවිසි ඇය, ප්‍රධාන චරිතයක් රඟපෑ පළමු සිනමා නිර්මාණය වන්නේ Hoot (2006) චිත්‍රපටයයි. 1996 සිට සක්‍රීයව රූපවාහිනී කතාමාලා සහ වෙනත් රූපවාහිනී වැඩසටහන්වලට දායකත්වය ලබා දුන්නත් ඇගේ සිනමා ගමන මදක් මන්දගාමී විදිහයි ආරම්භ වූයේ…

එතැන් පටන් House Broken, Greenberg, 21 Jump Street, Kong: Skull Island, Unicorn Store සහ Freefire වැනි චිත්‍රපට ගණනාවකට Brie Larson රංගනයෙන් දායකත්වය ලබා දුන්නා. 2019 වර්ෂයේදී  Captain Marvel නිර්මාණයෙන් Marvel සිනමා විශ්වයට එකතු වීමටත් ඇය වාසනාවන්ත වුනා.

Justin Lin අවසාන වරට අධ්‍යක්ෂණය කළ F9 : The Fast Saga (2021) සිනමාපටය, මේ චිත්‍රපට මාලාවේ පෙර නිර්මාණවලට වඩා වැඩි ඍණාත්මක ප්‍රතිචාරයක් ලබා ගත්තද ගෝලීය Box-Office දර්ශකයේ සාර්ථක ආදායමක් හිමි කරගනු ලැබුවා. පසුගිය ජූනි 25 වනදා තිරගත වීම ඇරඹූ එය ඇමරිකානු ඩොලර් මිලියන 726කට වැඩි ආදායමක් රැස් කර ගත්තේ ලෝ පුරා පැතිරුණු කෝවිඩ් වසංගත තත්වය පවා අභියෝගයට ලක් කරමින්…
වසරේ වැඩිම ආදායම්ලාභී සිනමාපට අතුරින් 05වන ස්ථානයට පත් වූයේ ද එයයි.

2001 වර්ෂයේදී The Fast and the Furious චිත්‍රපටයෙන් ඇරඹි Fast and Furious franchise මාලාවට දැන් වසර 22ක් සම්පූර්ණ වනවා. මුල සිට මේ දක්වාම ස්ථාවර ප්‍රේක්ෂකාගාරයක් රඳවා ගන්නට සමත් වූ මේ චිත්‍රපට මාලාව ලෝ පුරා ඇමරිකානු ඩොලර් බිලියන 6.6කටත් (6.61 $ Billion) වැඩි ආදායමකට හිමිකම් කියනවා. මේ නිර්මාණය වටා බැදුණු වීඩියෝ ක්‍රීඩා, විවිධ ක්‍රීඩා භාණ්ඩ, වාහන උපාංග…
Fast and Furious මේ සියල්ලකින්ම බැදුණු සිනමා පුරාවෘත්තයක්!
ලෝක සිනමාව තුළ වෙනම cult එකක් බිහි කළ, යුරෝපය පුරා වෙනම සංස්කෘතියක් බිහි කරන්නට මුල් වුණු චිත්‍රපට මාලාවක්!

ඉතින් එවන් ඉතිහාසගත චිත්‍රපට මාලාවක අවසානය වෙනුවෙන් එහි නිර්මාණකරුවන් තමන්ට හැකි උපරිම සාධාරණය ඉටු කරන්නට වෙහෙස වන බවට කිසිදු සැකයක් නැහැ.

Share

385 Views 0 Ratings Rate it

Written by Kavinu Weerakkody


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.