COVID වසංගතය අතරේ එන, මග නොහැරිය යුතු චිත්‍රපට – #1

Avatar Nisanka Weheraduwa | June 8, 2021 114 Views 0 Likes 0 Ratings

114 Views 0 Ratings Rate it

2020 වගේම 2021 වසරත් කෝවිඩ් වසංගතයත් සමඟම ගෙවී යන අතරේ සිනමා කර්මාන්තයටත් ඇති වුණේ දැඩි බලපෑමක්. ඇතැම් සිනමාපට ප්‍රදර්ශනය කරන්නට නිෂ්පාදකයින්ට සිදු වුණේ තෝරාගත් සීමිත සිනමා ශාලාවල පමණයි. ඒ වගේම ඇතැම් සිනමාපට, පුළුල් තිර ප්‍රදර්ශනයෙන් මිදිලා OTT (Over-the-Top) Platforms හරහා නිකුත් කරන්නට පියවර ගත්තා. කෙසේ නමුත්, මෙම වසරේ තිරගත වීමට තිබූ High Budget චිත්‍රපට බොහෝමයක් දින නියමයක් නොමැතිවම කල් දැමීමට තීරණය කෙරුණා.

මේ හැමදෙයකින්ම පාඩුව සිද්ධ වුණේ සිනමා ප්‍රේක්ෂකයින්ටයි. සුපුරුදු පරිදි මඟ බලා සිටි සිනමා අත්දැකීම් රාශියක්ම ඔවුන්ට අහිමි වුණා. කෙසේ නමුත්, මෙම වසර තුළත් ගුණාත්මක බවින් සහ ප්‍රේක්ෂක ප්‍රතිචාරයෙන් ඉහළ අගයක් ගත් සිනමාපට නිකුත් නොවුණාම නොවේ.

අප මේ ලිපි මාලාවෙන් බලාපොරොත්තු වන්නේත් ජනප්‍රිය සහ ගුණාත්මකබාවයෙන් යුතු එවැනි සිනමාපට කිහිපයක් පිළිබඳව ඔබව දැනුවත් කිරීමටයි.

Karnan (2021)

පසුගිය අප්‍රේල් 09වනදා නිකුත් වුණු Karnan සිනමාපටය දමිළ නලු ධනුෂ්ගේ ප්‍රධාන රංගනයෙන් හැඩවූවක්. Pariyerum Perumalට පසු මාරි සෙල්වරාජ්ගේ දෙවන අධ්‍යක්ෂණය වන මෙම සිනමාපටයේ සංගීතය හසුරුවන්නේ සන්තෝශ් නාරායන් විසිනුයි. මාරි සෙල්වරාජ්ගේ පළමු චිත්‍රපටය වගේම මෙයත් කුල ප්‍රශ්නය මුල් කරගෙන නිර්මාණය වූවක්. කතා තේමාව ගොඩ නැඟී තිබෙන්නේ කුලීන ගම්වැසියන් පිරිසක් වෙසෙන පොඩියන්කුලම් ගම්මානය ආශ්‍රිතවයි. Karnan පුරාවටම අධ්‍යක්ෂක විසින් භාවිතා කර තිබු සංකේත සහ සලකුණු, බොහෝ රසිකයින් මහත් ඉහළින් වර්ණනා කළා.

 

Pagglait (2021)

විවාහයෙන් මාස පහකට පමණ පසු තරුණ සන්ධ්‍යාගේ සැමියා මිය යනවා. ඔහුගේ මරණය නිසා පවුලේ හැමදෙනාම ශෝකයෙන් කල් ගතකළත් සන්ධ්‍යාට ඒ පිළිබඳව කිසිම දුකක් හෝ හැඟීමක් නැහැ. තමන්ගේ සැමියාගේ මරණය ගැන දුක් නොවන ඇයට අවශ්‍ය වෙන්නේ ඒ පරිසරයෙන් මිදී වෙනදා වගේම සැහැල්ලුවෙන් කාලය ගත කරන්නයි. Pagglait සිනමාපටය දිවෙන්නේ මේ සන්ධ්‍යාගේ අභිරහස් චර්යාව වටායි. මෙම වසර මුලදී Netflix හරහා නිකුත් වුණු Pagglait වෙනුවෙන් හිමි වුණේ අතිශ්‍ය ධනාත්මක ප්‍රතිචාර සහ රසික මතයන්…

Mumbai Saga (2021)

ජෝන් ඒබ්‍රහම් සහ ඉම්රාන් හෂ්මිගේ ප්‍රධාන රංගනයෙන් හැඩවුණු Mumbai Saga චිත්‍රපටය, ක්‍රියාදාම සිනමාපටයන්ට හිතැති ඔබට නම් මනාව ගැළපෙන්න පුලුවන්. මුම්බායි පාතාල රාජ්‍යය සහ පොලීසිය අතර සිදුවන ගැටුම් මතු කරමින් ගලා යන මේ සිනමාපටය මුල සිටම ක්‍රියාදාම සහ සටන් දර්ශන බහුලයි. තම බාල සොයුරාට සිදු වුණු අපරාධයක් නිසා පාතාලය දෙසට යොමුවන අමර් කාලයත් සමඟ බොම්බායි පාතාලය තමන් යටතට ගන්නවා. නමුත් ඔහුට තරඟයක් එල්ල වන්නේ පොලිස් පරීක්ෂක විජෛයිගේ ආගමනයත් සමඟයි. මොවුන් දෙදෙනා අතර ගණුදෙනුව කෙසේ අවසානයක් වේවිද? කවුරුන් අතින් කවුරු මියයාවිද? Mumbai Saga මේ හැමදෙයකටම පිළිතුරු සපයාවි.

Drishyam 02 (2021)

ධර්ම යුද්ධය සිංහල සිනමාපටය, 2013දී නිර්මාණය වුණු Drishyam මලයාලම් සිනමාපටයේ ප්‍රතිනිර්මාණයක්. ඉන්දියානු භාෂා 05කට පමණ ප්‍රතිනිර්මාණය වුණු Drishyam චිත්‍රපටය 2019 වසරේදී චීන භාෂාවටත් රීමේක් වෙනවා. මෙම වසර මුලදී ඇමසොන් ප්‍රයිම් ඔස්සේ නිකුත් වූ Drishyam 02 චිත්‍රපටය එහිම දිගුවක්. Drishyam පළමු සිනමාපටය අවසානයේදී I.G. ප්‍රභාකර්ගේ පුත්‍රයාගේ මරණයට ජෝජ්කුට්ටිව අල්ලා ගැනීමට පොලීසියට හැකිවන්නේ නැහැ. Drishyam 02 ආරම්භ වන්නේ මෙම සිදුවීමෙන් වසර කිහිපයකට පසු සිද්ධි දාමයක් අළලායි. පළමු චිත්‍රපටය වගේම මෙයත් ජිතූ ජෝසප්ගේ තිර රචනයෙන් සහ අධ්‍යක්ෂණයෙන් නිමවුණා. ප්‍රධාන චරිතය රඟ දැක්වූයේ මෝහන්ලාල් විසින්මයි.

(2021) Nobody

John Wick චිත්‍රපට මාලාව රසවිඳි ඔබට, ඊට බොහෝ සෙයින් සමාන චිත්‍රපටයක් රස විඳින්නට හැකියාව තියෙනවා. එය තමයි Nobody (2021). ඇත්තෙන්ම Nobody තිර පිටපත රචනා කරන්නෙත් ජෝන් වික් චිත්‍රපට මාලාවේ තිර රචකයා විසින්ම වීමත් විශේෂයි. බිරිඳ සහ දරුවන් සමඟින් සාමාන්‍ය ජීවීතයක් ගත කරන හච්ගේ ජීවිතය කණපිට පෙරළෙන්නේ ඔහුගේ නිවස හොරු බිඳීමෙන් පසුවයි. සාමාන්‍ය රැකියාවක් කරන සාමකාමී පුද්ගලයෙක් පිටුපස සැඟවී තිබෙන භයානක අතීතයක් මතුවෙන්නේ මෙම සිද්ධියත් සමඟයි. ඔබ Thriller රසිකයෙක් නම්, නැත්නම් ජෝන්වික් කැටගරියේ චිත්‍රපටයක් නැරඹීමට අවශ්‍ය නම්, Nobody (2021) ඊට හොඳම පිළියමක් වේවි.

Cinema Bandi (2021)

පසුගිය මාසයේ නිකුත් වුණු මේ තෙළෙඟු සිනමාපටය අධ්‍යක්ෂණය කරන්නේ Praveen Kandregula කියන තරුණ සිනමාකරුවා විසින්. 8.1ක ඉහළ IMDb අගයක් රඳවා ගන්න සමත් වුණු Cinema Bandi ඇතුළේ රඟපාන අතිබහුතරයක් නලු නිළියන් පවා නවක ශිල්පීන් පිරිසක්. ගම්වාසීන් පිරිසකට අහම්බයෙන් හමුවන කැමරාවක් නිසා ඇති වූ සිදුවීම් පෙළක් ගැනයි චිත්‍රපටය දිව යන්නේ. මොවුන්ට සිනමාකරණය ගැන කිසිදු න්‍යායික දැනුමක් නැති වුණත් ඔවුන්ගේ එකම අරමුණ වෙන්නේ මේ කැමරාවෙන් චිත්‍රපටියක් හදන්න. මිනිත්තු 98ක් පුරාවට දිවෙන මේ කතාන්දරය, මෙම වසරේ නිකුත් වුණු තෙළෙඟු චිත්‍රපට අතුරින් වැඩිම ප්‍රේක්ෂක ආකර්ෂණයක් ලබාගත් නිර්මාණයක් බවත් කිව යුතුමයි.

Best Movies So far: 2021 ලිපි මාලාවේ දෙවන ලිපියෙන් ඉක්මනින්ම මුණ ගැහෙමු. වසරේ නැරඹිය යුතුම චිත්‍රපට රැසක් ගැන තොරතුරු ඔබට ගෙන එන්න අපි සූදානම්.

 

Share

114 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.