Don’t Look Up | නිල් කට්රොල්

Avatar Kavinu Weerakkody | March 2, 2022 448 Views 0 Likes 0 Ratings

448 Views 0 Ratings Rate it

ඔව් එකක් චිත්‍රපටයක් අනෙක නවකථාවක්. විද්‍යාත්මක දියුණුවේ උච්චතම අවස්ථා ප්‍රබන්ධගත Don’t Look Up චිත්‍රපටය අප විසින් අප හා අවට සංකීර්ණ ලෝකය ගැඹුරින් කියවා ගැනීම උදෙසාය. ලාංකේය මානව ශිෂ්ඨාචාරයේ ක්‍රි. ව 447 – 495 වකවානුවට පූර්ව යුගයේ පටන් වර්තමානය පසුකර අනාගත කාලයක් දක්වා දිවෙන ප්‍රබන්ධයක් සහිත නවකථාව අප විසින් සරල අකුරුමය රූප රාමු ඔස්සේ නැරැඹෙන්නකි.

නවකථාව පිටු 294 කි, චිත්‍රපටය පැය දෙකයි මිනිත්තු දහඅටකි,
චිත්‍රපටය උපහාසාත්මක ප්‍රහාරක යානාවක් වැන්න. ඉන් පිපිරෙන්නේ විටෙක අප ය, තවත් විටෙක සත්‍ය යථාර්තය ප්‍රේෂණය කරන බවට සැලැකෙන මාධ්‍ය ආයතන, ජනතාව පිළිබඳ උදාසීන එහෙත් ආත්මාර්ථය උදෙසා සක්‍රිය බ්‍රෂ්ට දේශපාලකයින්. නවකථාව ආවරණය කරන්නේ ඉන්ද්‍රජාලික බිම්බෝම්බ ගත වපසරියකි. එහි පා තැබීමට පරිස්සම් විය යුත්තේ සාම්ප්‍රදායික ඉතිහාස කථා කරපින්නා ගත්තවුන්ය, මහාවංසයේ ඇතැම් කෙප්ප දිවමතුරක් කරගත් වන්දිබට්ටයින්ය.

චිත්‍රපටයේ රඟන්නෝ ඔස්කා සම්මානලාභී චරිත, නවකථාව තුළ සජීවී වන්නේ මෙරට ඓතිහාසික රාජ්‍යත්වයේ උත්කර්ෂය තබා හැඟුම් කරණයක් පමණකුදු නොලද්දන් සහ නිසි ගෞරව සහිත අභිෂේකයක් නොලද්දන්. අධ්‍යක්ෂ Adam McKay ට සංගීතික තාක්ෂණික කලා ඈ නෛක විෂය ක්ෂේත්‍රයන්හි ඇසූ පිරූ ශිල්පීන් සහ කෙළ කෝටියක් ධනය ($75 million) ඊට වැය කිරීමට සිදුව ඇත. හුදෙක් කුතුහලය පරිශීලනය හැදෑරීම කියවීම සොයා හඹා යාම නිර්මාණාත්මක ආවේගය ආදී අභිනීල වත්කම්, ලේඛක මොහාන්රාජ් මඩවල විසින් වැයකරනු ලැබ ඇත.

නවකථා ක්ෂේත්‍රඵලය අපට සමීප දේශ සීමාවෙන් ඔබ්බට නොයන නමුත් සමස්ථ ලෝක ඉතිහාසයේ කූඨ බල ලෝභීත්වය හකුළුවාගෙන සිටී, චිත්‍රපටය ලංකේය දූපත්වාසී අපට දුරස්ථ නමුදු සමස්ථ පෘථිවි ගෝලය සැබැවින්ම භ්‍රමණය කරවන දේශපාලනයේ සිට, විශ්වාත්මක දේශගුණික බලපෑම්, තාක්ෂණයේ නව සොයාගැනීම් උපයෝගීතා හා මේ සියල්ල අතර දෝලනය වන නිර්ප්‍රභූමය ජනතාව දක්වා වූ ඉපුළුල් අවකාශයක් ආවරණය කරයි.

චිත්‍රපටය තත්ත්ය අද්‍යතන ලෝකය පිළිබඳ පරිකල්පනයකි. එය අවසන් වන්නේ හිතළු අනාගත නව භූමි ශිෂ්ඨාචාරයක ඇරැඹුමකින්. ලෝකය ඔසවා තිබෙන මුළාවක තරම කෙරෙහි නරඹන්නාගේ ඇස දල්වමින්. නවකථාව ඇරැඹෙන්නේ අනාගතය පිළිබඳ පරිකල්පනීය වාතාවරණයක් මවමින්. නිමාවන්නේ සීගිරිය කේන්ද්‍ර කරගත් ලාංකේය ශිෂ්ඨාචාරයේ සැඟව ගිය රාජ කථා චෝර කථා ධර්ම කථා උප කථා පරි කථා ජනකථා අතර සිටින සාමාන්‍ය මිනිසුන් කෙරහි දයාර්ද්‍ර බැල්මක් හෙළමින්. තමන් එතෙක් දන්නා ඉතිහාසයට වඩා වැඩි විශ්වාසයක් නවකථා ඉතිහාසය පිළිබඳ කියවන්නා තුළ ඇති කරමින්.

විය නොහැකියැයි නොසිතෙන තරමේ අසාමාන්‍ය ලිංගික ජවනිකා නවකථාවෙහි අන්තර්ගතය. එදිනෙදා සාමාන්‍ය ලිංගිකත්වය පවා දේශපාලිනික හා නාට්‍යාකාර බව චිත්‍රපටය අපට හෙළිකරයි.
චූල ප්‍රත්‍යන්ත දේශයක චූල නවකථාවක්, ගෝලීය ප්‍රාග්ධනයේ මුදුනත වැජඹෙන චිත්‍රපටයක් හා සසැඳිය නොහැකි ග්‍රහලෝක ද්වයක පරතරයක තිබුණද, සමස්ථ ලෝක සන්දර්භය පවත්නේ හැමවිටම මානව අවධානය වෙනතකට යොමුකිරීම උදෙසා බව සිත්ගන්නා සුළු වියමනකින් අපට පසක් කරයි.

සටහන- විදුර ඩයස් අබේගුණවර්ධන 

Share

448 Views 0 Ratings Rate it

Written by Kavinu Weerakkody


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.