Film එකේ ඉන්නේ අනුරුද්ධ දුටු විජේවිරයි – විමුක්ති ජයසුන්දර

Avatar Nisanka Weheraduwa | February 27, 2019 11 Views 0 Likes 0 Ratings

11 Views 0 Ratings Rate it

මේ සිනමාපටයේ සිටින්නේ අනුරුද්ධ ජයසිංහ නමැති සිනමාකරුවා දුටු රෝහණ විජේවීරයි – විමුක්ති ජයසුන්දර

සංවාදය සහ සටහන් : භාතිය ගුණසේන

‘ගින්නෙන් උපන් සීතල’ චිත්‍රපටය පිළිබඳව සංවාදාත්මක ප්‍රවේශයක් අප පසුගිය සතියේ ආරම්භ කළෙමු. එම සංවාදයට පාඨක ඔබගේ මැදිහත්වීමද අපි අපේක්ෂා කරන්නෙමු. මෙවර ‘ගින්නෙන් උපන් සීතල’ සිනමා නිර්මාණය පිළිබඳව අදහස් පළ කරනුයේ ප්‍රවීණ සිනමාවේදියකු වන විමුක්ති ජයසුන්දරයි.

‘ගින්නෙන් උපන් සීතල’ චිත්‍රපටය සිනමා කෘතියක් කියන කාරණයට එහා ගිහිල්ලා මට වැදගත් වෙන්නේ රෝහණ විජේවීර කියන චරිතය නිසා. රෝහණ විජේවීර කියන්නේ ලංකාවේ වැඩිපුරම කතා කරපු චරිතයක්. ‘ලංකාව වැඩිපුරම කතා කරපු චරිතය’ කිව්වත් කමක් නැහැ. ඒක හරිම දුර්ලභ අවස්ථාවක්. රෝහණ විජේවීර පිළිබඳව යම් යම් රචනා, ඒ පිළිබඳව අදහස්, ඔහුගේ ජීවිතය පිළිබඳව පුවත්පත්වල පළ වුණා තමයි. නමුත් එතනින් එහාට නිර්මාණාත්මක දෙයකට ‘රෝහණ විජේවීර’ චරිතය යොදාගන්නවා අපි දැක්කේ නැහැ. ඒ නිසා සෑහෙන කාලයක් තිස්සේ විශාල පිරිසක් බලාගෙන හිටියා, ඒ අවස්ථාව එනකම්. ගොඩක් නිර්මාණකරුවන්ට එවැනි අදහසක් තිබුණත්, එය කරගැනීමට ලැබුණේ නැහැ. ඒකට හේතුව තමයි ඒ චරිතය තුළ තිබිච්ච දේශපාලන භාවිතාව. ඒ අභියෝගාත්මක තත්ත්වයත් එක්ක නිර්මාණකරුවන් ඒ චරිතය පිළිබඳව කරන සෘජු සංවාදයකට යෑම අත්හැරලා දාලා තිබුණා.

රෝහණ විජේවීර කියන සජීවී, සෘජු චරිතය නොවුණට ඒ අත්දැකීම ආශ්‍රය කරගත් විවිධ නිර්මාණ තිබෙනවා. නමුත්, ඔහුවම ආශ්‍රය කරගෙන හදපු පළමුවෙනි නිර්මාණය තමයි ‘ගින්නෙන් උපන් සීතල’ චිත්‍රපටිය. ඒ අර්ථයෙන් ගත්තාම රෝහණ විජේවීර පිළිබඳව සමාජයේ පිරිස් දකින ආකාරයන් කිහිපයක් තිබෙනවා. මට හිතෙන්නේ මේ චිත්‍රපටිය අධ්‍යක්ෂවරයාගේ කෝණයෙන්ම නැරඹුවොත් පමණයි චිත්‍රපටියේ තිබෙන සංවේදනාව දැනෙන්නේ. හැබැයි එතන ගැටලුවකුත් තිබෙනවා. මේ චිත්‍රපටිය දේශපාලනික වශයෙන් පමණක් තම තමා ඉන්න දේශපාලන ස්ථාවරයට අනුව බලන්න ගියොත් අපි හැමෝම අමාරුවේ වැටෙනවා.
ඒ නිසා තමයි මේ චිත්‍රපටියට විරුද්ධ වෙන පිරිස් විරුද්ධවෙලා තියෙන්නේ. ඒ කියන්නේ යම් කාලයක මේ දේශපාලන සංවිධානයට සම්බන්ධවෙලා ඉඳලා, පසුකාලීනව ඉවත් වුණු අය ඉන්නවා. ඒ කාලයේ ඉඳලාම සංවිධානයට විරුද්ධව වැඩ කරපු අය ඉන්නවා. එහෙම නැත්නම් ඒ කාලය තුළ අද දක්වා මේ සංවිධානය ගැන කිසියම් විදිහකට ආකල්පමය වශයෙන් ‘සුබ’ කියන තැන ඉඳගෙන වැඩ කරන පිරිසක් ඉන්නවා. එතකොට එවැනි දෘෂ්ටියෙනුත් මේ චිත්‍රපටිය දිහා බහුතරයක් බලන විදිහක් පේනවා අපිට. එතකොට ප්‍රේක්ෂකයා පැහැදිලිව තේරුම් ගත යුතුයි මේ ඉන්නේ රෝහණ විජේවීර කියලා හිතනවාට වඩා, මේ ඉන්නේ අනුරුද්ධ ජයසිංහ දුටු රෝහණ විජේවීර කියන එක තේරුම් ගන්න එක. ඒක ඉතාම වැදගත්.
මේ චිත්‍රපටිය බලනකොට අනුරුද්ධට එහා ගියපු රෝහණ විජේවීර කෙනෙක් දකින්න උත්සාහ කිරීම මම නම් කියන්නේ අනවශ්‍ය දෙයක්. මොකද ඒක එහෙම කරන්න පුළුවන්කමක් නැහැ. ඒ හින්දා අපි තේරුම් ගන්න ඕනෑ මේ චිත්‍රපටියේ රෝහණ විජේවීර කියන චරිතය ‘අනුරුද්ධ ජයසිංහ’ කියන නිර්මාණකරුවාට හසු වූ ප්‍රමාණයට විතරයි දැකලා තියෙන්නේ.

රෝහණ විජේවීර කියන චරිතය විවිධ විදියට තමයි මේ සමාජයේ ඉන්න විවිධ මිනිසුන්ට දැනුණේ. ඒ සියල්ලටම උත්තරයක් විදිහට මේ චිත්‍රපටිය සලකන්න බැහැ. අපි සිනමා කෘතියක් නරඹනවා කියලා කියන්නේ පැහැදිලිවම ඒක අධ්‍යක්ෂවරයාගේ මාධ්‍යය. මේ අනුරුද්ධ ජයසිංහ නමැති සිනමාකරුවාට හසු වූ රෝහණ විජේවීර. නමුත් අද අපි දකින බොහෝ සංවාදවල තිබෙන්නේ ‘මේ ඉන්නේ ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර. ඒ දේශපාලන ව්‍යාපාරයේ නායකයාගේ ජීවන චරිතයයි මේ තිබෙන්නේ’ කියන සංවාදය. එහෙම ගත්තොත් යම්කිසි ගැටලු සහගත තැනකට යනවා. ඉතින්, ඒ නිසා මේ චිත්‍රපටිය සිනමා ලෝකයේම තියාගන්නවාට මම කැමතියි.

ඒකෙදි දේශපාලනික වශයෙන් කතා කරන්න සාකච්ඡාවක් ඇති වෙන්න පුළුවන්. හැබැයි ඒ කාරණා දෙවැනියි. එහෙම සාකච්ඡා ඇති වීම අපට වළක්වන්න බැහැ. ඒක හොඳ කාරණාවක්. නමුත්, අපි යම්කිසි විදිහකට චිත්‍රපටියට විරුද්ධ වෙන්න හෝ මේක දිහා බලලා විශේෂ කැමැත්තක් ඇති කරගන්න වෙන්නේ අර අරමුණින් නම්, ඒකෙ ප්‍රශ්නයක් තිබෙනවා. ඒක තේරුම් ගන්න ඕනි. ඒකෙදි ගැටලු සහගත තත්ත්වයන් දේශපාලන ලෝකය තුළ ඇති වෙන්නත් පුළුවන්.

අනුරුද්ධ මේ තෝරා ගැනීම තුළම ඔහු අතහරින විශාල පැත්තක් තිබෙනවා. හැබැයි අතහරින එක සිනමාකරුවාගේ කැමැත්ත. ඒකට අපිට අභියෝග කරන්න බැහැ. අපි බලන්න ඕන අනුරුද්ධ මේ චිත්‍රපටියේ ජයගෙන තිබෙන්නේ කුමක්ද කියන එක. ඒ ජයගෙන තිබෙනවා නම් තිබෙන්නේ අවසානයේ අපි හැමදෙනාටම දැනෙන වේදනාවක් ඉතුරු කරනවා ඔහු. ඒ වේදනාව ඉතුරු කරන්න රෝහණ විජේවීර කියන චරිතයට සාපේක්ෂව ඔහු පවුල කියන සාධකයත් ගන්නවා.

චිත්‍රපටියට බාහිරව අපි කල්පනා කළොත් මෑත කාලයේදී ඒ පවුල ගැන සාකච්ඡාවක් ඇති වුණා වගේම රෝහණ විජේවීරගේ පුත්‍රයා සම්බන්ධවත්, ඔහු මාධ්‍ය අභිමුවට පැමිණෙන්නෙත් මේ චිත්‍රපටය විසින් නිර්මාණය කරන පසුබිම නිසා. මෙන්න මේක දේශපාලනික වශයෙන්, ටිකක් පුළුල්ව බැලුවොත් යම්කිසි ගැටුම්කාරී තත්ත්වයකට යන්නත් පුළුවන්. මොකද රෝහණ විජේවීර අයිති වන්නේ කාටද කියන එක සම්බන්ධව, දෘෂ්ටිවාදී අර්බුදයකට අපි යනවා.

මම කියන්නේ මේ සිනමාකරුවාට තිබෙන සියලු අයිතීන්, එක්ක වෙන විදිහක විචාරයක් විදිහට ගත්තොත් එහෙම, අර ලෝකයේ හැදෙන ප්‍රධාන චරිතයන් සම්බන්ධ බයෝග්‍රැපි එහෙම නැත්නම් ජීවදත්ත පදනම් කරගෙන හදන සිනමා කෘතිවල දෙපැත්තක් ගන්න පුළුවන්. එකක් තමයි ඔහුගේ දේශපාලන සමාජීය කාරණා පමණක් ආශ්‍රය කරගෙන හදන චිත්‍රපටි. අනෙක් වර්ගය තමයි ඔහුගේ පෞද්ගලික ජීවිතය අරභයා හදන චිත්‍රපටි. දැන් මේ චිත්‍රපටියේදී උත්සාහයක් අරන් තිබෙනවා පවුල සහ පෞද්ගලික දේවල්වලට නැඹුරුවෙන ගමන්, සමාජ දේශපාලන කාරණා ස්පර්ශ කරන්න. හැබැයි මේ තුළ තිබෙන සමාජ, දේශපාලන කාරණා ගත්තොත් පොදුවේ අපි කවුරුත් දන්න, සාමාන්‍යයෙන් ඉතිහාසයෙන් වාර්තා කර තිබෙන දත්ත ටික තමයි ඔහු පෙන්වන්නේ. ඒකෙන්ම අපිට තේරෙනවා අනුරුද්ධ කවුරුත් දන්න දත්ත ටික පදනම් කරගෙන පුද්ගලයෙක් නිර්මාණය කරනවා. ඉතාමත්ම සංවේදී, පවුල නමැති ඒකකය තුළ සිටින පුද්ගලයෙක්ව නිර්මාණය කරනවා. ඒකෙන් සිදුවෙන ගැටලුව තමයි මම අනෙක් පැත්තෙන් දකින්නේ. දේශපාලන සත්වයෙක් විදිහට ඔහුගේ මැදිහත්වීමේ තිබෙන අඩුවක් කෙනකුට මේකෙන් දකින්න පුළුවන් බරපතළ විදිහට. ඒ බරපතළකම නිසා මේ ඉන්නේ රෝහණ විජේවීරද වගේ එකකට යා යුතු නැහැ අපි. මොකද අපි තේරුම් ගන්න ඕනේ මෙතන අනුරුද්ධ කරන දේ මොකක්ද කියන එක. ඒක නිසාම අපිට මේ චිත්‍රපටියෙන් විශේෂ දේශපාලන සාකච්ඡාවක් ඇති කරන්න පුළුවන්කමක් නැහැ. එවැනි උත්සාහයක් ගත්තොත්, අපි ලොකු පඹගාලක පැටලෙනවා කියන එක තමයි මගේ අදහස.

අපි ඒක පැත්තකින් තියලා වෙන කෝණයකින් බැලුවොත් මට හිතෙනවා අනුරුද්ධ ජයසිංහ රෝහණ විජේවීර නමැති චරිතය එක්තරා පැත්තකින්, එක්තරා ආකාරයකින් තමයි ඔහු දැකලා තියෙන්නේ. පැහැදිලිවම ‘පවුල’ කියන සංයුතිය තුළ ඉන්න මනුස්සයෙක් ගැන තමයි මෙතැන කතා කරන්නේ. චිත්‍රපටිය තුළ අපි රෝහණ විජේවීරව දකින්නේ වැඩිවෙලාවක් පවුල තුළ ඉන්න කෙනෙක් විදිහට. ඒ නිසාම අනුරුද්ධ ජයසිංහ චිත්‍රපටිය ඉවර කරනකොට පවුල හැර යාමේ වේදනාවත් එක්ක තමයි අපි දුක්වෙන්නෙ.

මොකද රෝහණ විජේවීරගේ බරපතළ ප්‍රකාශනය තිබෙන්නේ ඔහුගේ දේශපාලන ජීවිතය තුළ. ඒ දේශපාලන ජීවිතය මේ චිත්‍රපටියේ පෙනෙන නොපෙනෙන මානයක තිබෙනවා කියන එකයි මගේ අදහස. නමුත්, රෝහණ විජේවීර කියන පුද්ගලයාගේ දේශපාලන භාවිතාව පිළිබඳව අනාවරණය නොවුණු විශාල පැත්තක් තිබෙන බව අමතක නොකළ යුතුයි.
මේ චිත්‍රපටියේ තිබෙන ප්‍රධානම ප්‍රශ්නය තමයි අපිට කාලයක් තිස්සේ තිබිච්ච බලාපොරොත්තුවක් ඉෂ්ට වුණා වගේ පෙනුණට, මේ චිත්‍රපටය පුද්ගලයෙකුට පමණක් සීමා වූ ලෝකයක රෝහණ විජේවීර නමැති චරිතය නතර කිරීම. රෝහණ විජේවීර සමාජයට බලපාන නායකයෙක් වුණේ කොහොමද? සමාජයේ හැරවුම් ලක්ෂයක් බවට ඔහු පත්වුණේ කොහොමද? වගේ බරපතළ කාරණා පිළිබඳ අදහස මේකෙන් වැළකිලා යනවා. අන්න ඒ ගොඩනැගීම මේ චිත්‍රපටිය තුළ නැහැ. තනි කෙනකුට මෙහෙම දෙයක් කරන්න පුළුවන් වුණේ කොහොමද? කොහොමද ඔහුට මේ පන්නරය ඇති වුණේ? කියන එක සම්බන්ධව අදහසක් නැහැ. මේ චිත්‍රපටයේ තිබෙන ප්‍රධානම ගැටලුව ඒක තමයි. ඒකෙන් විශාල අසාධාරණයක් වෙන්න පුළුවන් ඔහුගේ දේශපාලනය පිළිබඳව උනන්දුවක් දක්වන පිරිසකට. රෝහණ විජේවීරව අපිට ඓතිහාසිකව වැදගත් වෙන්නේ ඔහුගේ දේශපාලන භාවිතාව නිසානේ. ඒකෙන් යම් විදිහකට බැහැරවීමක් තිබෙනවාද කියන එක අපිට සාකච්ඡා කරන්න පුළුවන්.

මම හිතන්නේ ලෝක සිනමාවේ ඔය අර්බුදය ජය ගැනීම සඳහා සමීක්ෂණ පැත්තෙදි සහ රචනයේදී, වගේම ප්‍රදේශය තෝරා ගැනීමේදී මීට වඩා ශ්‍රමයක් තිබෙනවා කියන එකයි මගේ අදහස. ‘බයෝපික්’ කියන අදහසට ගියොත්, ඒක මීට වඩා සංකීර්ණ තැනක තිබෙන්නේ. මීට වඩා අධ්‍යයනයන් සහිත, මීට වඩා පොහොසත් තැනක තිබෙනවා කියන එක තමයි මගේ අදහස. මේ චරිතය අයිති මේ රටේ ජනතාවටනේ. ඒ ජනතාව තුළ විවිධාකාරයේ රෝහණ විජේවීර කෙනෙක් හැම කෙනා තුළම ඉන්නවා. ඒ සියලු දෙනාම එකතු කරලා හදන චිත්‍රපටියක් හදනවා කියන්නේ ඉතාම අමාරු වැඩක්. නොදන්න කෙනෙක් ගැන චිත්‍රපටියක් හදන්න ලෙහෙසියි.
අනුරුද්ධ හැමවෙලාවෙම උත්සාහ කරලා තියෙනවා මේ මොහොතේ අපි හැමෝම දන්න, පුවත්පත්වල වාර්තා කරපු එක තබාගන්න. එතනින් බැහැර වුණොත්, ඉතිහාසයේ සාක්ෂි සම්බන්ධව ගැටලුවක් වෙන නිසා වෙන්න ඇති ඔහු එහෙම කරන්න ඇත්තේ. ප්‍රශ්නය තිබෙන්නෙත් ඒක තමයි. මොකද පත්තරවලින් අපි දැනගත්තු කෙනාට වැඩි කෙනෙක් මෙතන සිටිය යුතුයි.
ඒ කියන්නේ තනි මනුස්සයෙකුට කොහොමද පුළුවන්කමක් ලැබුණේ විශාල පිරිසක් එකඟ කරගන්න. ඒක සාක්ෂාත් කරගැනීම සඳහා මානසික, කායික සියලු දේ ඒකට යොදවන්න, ඒක රඳවා තබාගන්න සහ ඒක දැවැන්ත ව්‍යාපාරයක් විදිහට ගොඩනගන්න. ඒ දැවැන්ත ව්‍යාපාරය මැදිහත් වෙන ආකාරය සමාජයට… මේක ඉතාම ගැඹුරුයි නේ. ඒ නිසා අපි අද නැවත සාකච්ඡා කළ යුත්තේ සමාජ ව්‍යාපාරය ගොඩනැගීමේදී සමහර දේවල් පිළිබඳව ගත හැකි ඓතිහාසික කාරණා මේ චිත්‍රපටියේ මතුවෙලා නැහැ.
නමුත්, අනුරුද්ධගේ මේ නිර්මාණාත්මක දායකත්වය මම කිසිම වෙලාවක බැහැර කරන්නේ නැහැ. මොකද මේක ඉතාම අභියෝගාත්මකයි. චිත්‍රපටියක් නිර්මාණය වුණාට පස්සේ ‘නොහදපු චිත්‍රපටි පේනවා මිසක් හදපු චිත්‍රපටිය පේන්නේ නැහැ.’ ඒකයි ගැටලුව.

සංවාදය සහ සටහන : භාතිය ගුණසේන

Share

11 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.