FILMFARE පිටකවරය සැරසූ ලාංකික නිළිය

Avatar Nisanka Weheraduwa | October 29, 2020 89 Views 0 Likes 0 Ratings

89 Views 0 Ratings Rate it

වර්ෂ 1923 ජනවාරි 15 වැනිදා නුවරඑළිය ප්‍රදේශයේ රම්බොඩ ගමේ ලස්සන දැරියක් උපත ලැබුවා. වතු නිළධාරියෙක් වුනු John Daniel සහ ගුරුවරියක් වුනු Helen Rose දෙදෙනාගේ පවුලේ උපත ලැබූ මේ දැරියට Daisy Rasammah Daniels ලෙසින් නම් තැබුනා. පසු කලෙක වේදිකාව, රිදී තිරය, ග්‍රැමෆෝනය, ගීත ප්‍රසංග වේදිකාව ජයගත් කලා ශිල්පිනියක වූ “රුක්මණී දේවි” උපත ලැබූයේ එලෙසින්.

නුවරඑළිය ප්‍රදේශයේ උපත ලැබුවත්, කොළඹ ජීවත් වුන ඩේසි දැරිය මුලින්ම St.Matthews විද්‍යාලයට සහ එතැනින් වැල්ලවත්ත St.Clare’s විද්‍යාලයට ඇතුල්ව අධ්‍යාපනය ලැබුවා. ගායනයට, නර්ථනයට සහ රංගනයට උපතින්ම දස්කම් දැක්වූ ඩේසි දැරියට පාසලේ නත්තල් සැමරුම් කලාපය වෙනුවෙන් කෙරෙන කලා කටයුතු වලට දායක වීමට නිතැතින්ම අවස්ථාව හිමි වනවා. වයස අවුරුදු 12දී ඇය ශාන්ත ක්ලෙයාර්ස් විද්‍යාලයේ නත්තල් නාට්‍ය වුනු සපත්තු මසන්නාගේ බිරිඳ (The Shoemakers Wife) නාට්‍යයේ රංගනයට එකතු වුනා. නාට්‍ය නැරඹු එවකට ප්‍රධාන පෙලේ නාට්‍යවේදියකු වූ වෝල්ටර් අබේසිංහ ඇගේ පියාගේ අවසරය ලබාගෙන සිය නවතම වේදිකා නාට්‍ය නිෂ්පාදනයට ඇයව සම්බන්ධ කරගන්නවා. සිංහල නාට්‍ය සභාව මගින් 1935 වසරේ නිෂ්පාදනය කළ රාමායනය නාට්‍යයේ සීතා ලෙස ඩේසි ඩැනියෙල්ස් රංගනයට එකතු වන්නේ මෙලෙසින්.

පසු කලෙක ඇය සිංහල වේදිකාවේ අපූරු චරිත රැසක් රඟපෑ රංගවේදිනියක වනවා. ජානකීහරණය සහ මායාවතී මේ නාට්‍ය අතර විශේෂ වනවා. නාට්‍ය රංගනයට අවතීර්ණ වීමත් සමග කල් යාමේදී එවකට ජනප්‍රිය නළුවකු, ගායකයකු සහ නාට්‍යවේදියකු වූ එඩී ජයමාන්න සමග විවාපත් වන ඩේසි, ඔහු සමග මීගමුව ප්‍රදේශයේ පදිංචියට යනවා. සිය සැමියාත්, බී.ඒ.ඩබ්.ජයමාන්නයනුත් සමග මිනෙර්වා නාට්‍ය සංසදය වෙනුවෙන් නාට්‍ය රැසක රංගනයෙන් දායක වීමට ඇයට හැකියාව ලැබුනා.  කඩවුණු පොරොන්දුව, Apparition, Changing Fate, වැරදුණු කුරුමාණම, Fantastic Faith, Hasty Decision, කපටි ආරක්ෂකයා, අයිරාංගනී වැනි නිර්මාණ ඒ අතර විශේෂයි.

1938 වසරේ ඇගේ කලා දිවියේ තවත් නැවුම් ආරම්භයක් සටහන් වනවා. එච්. ඩබ්. රූපසිංහ සංගීතවේදියා සමග එක්ව ඇය “සිරි බුද්ධගයා විහාරේ” නම් ජනප්‍රිය ගීය ග්‍රැමෆෝන් තැටියකට පටිගත කොට තිබෙනවා. මේ ගීය අතිශය ජනප්‍රිය වීමත් සමග ඩේසි ගායිකාවක ලෙස වැඩි ජනප්‍රියත්වයක් හිමිකර ගත් බව සඳහන් වනවා. එතෙක් ඩේසි ඩැනියෙල්ස් නම්වූ කලාකාරිය “රුක්මණී දේවි” ලෙස අභිෂේක ලබන්නේත් මේ වෙනස සමගිනුයි. රූපසිංහ මාස්ටර් ඒ නම යෙදු බවට මතයක් පවතින අතරම ඇතැමෙකු පවසන පරිදි ජයන්ත වීරසේකර සහ මයිකල් ලියනගේ එනමින් ඇය හැඳින්වූ බව තවත් පිරිසක් පවසනවා. කෙසේ නමුත් රටපුරා ජනතාව “රුක්මණී දේවි” ලෙස ඇය හඳුනා ගැනුනා.

1947 වසරේ මෙරට පළමු කතානාද චිත්‍රපටය වන “කඩවුණු පොරොන්දුව” නිෂ්පාදනය කිරීමේදී එහි රංජනී ලෙස චරිත රංගනයට එක්වෙමින් ඇය සිනමා නිළියක බවට පත්වනවා. එතැන් පටන් ඇය “දේශීය සිනමාවේ පළමු ශ්‍රී ලාංකික නිළිය” ලෙස හඳුනා ගැනුණු අතර මියයන තෙක්ම ඇය සිනමා රංගන කටයුතු වල නිරත වුනා. නුවන් නයනජිත් රචනා කළ “ලාංකේය සිනමා වංශය” කෘතියේ 637, 638 පිටුවේ සඳහන් වන අයුරින් රුක්මණී දේවි ලාංකීය සිනමාවේ චිත්‍රපට 99කට රංගනයෙන් දායකවී තිබෙනවා. ඇය රඟපෑ අවසන් චිත්‍රපටය වන “ඇර සොයිසා” චිත්‍රපටය තිරගත වී තිබෙන්නේ ඇගේ අභාවයෙනුත් වසර හයකට පසුවයි.

නිළියක, ගායිකාවක ලෙස රටක් ආදරය කළ ඩේසි රාසම්මා ඩැනියෙල්ස් නැතිනම් රුක්මණී දේවි 1978 වසරේ ඔක්තෝබර් 28 වැනිදා ජාඇල තුඩැල්ල ප්‍රදේශයේ ඇතිවූ හදිසි රිය අනතුරක් හේතුවෙන් ජිවිතයෙන් සමුගෙන තිබෙනවා. නමුත් මෙරට සිනමා ඉතිහාසයේ නොමැකෙන මතක රැසක් සටහන් කිරීමට මේ ශිල්පිනිය වාසනාවන්ත වුනා. එවකට ඉන්දියාවේ අතිශය ජනප්‍රිය (අදද ලොව පුරා ප්‍රසිද්දියක් ඇති) FILMFARE සඟරාවේ පිටකවරය සැරසූ එකම ශ්‍රී ලාංකික නිළිය ලෙස තවමත් ඇගේ නමින් වාර්තාවක් සටහන්ව තිබෙනවා. එසේම සම්මාන කිහිපයක්ද දිනාගැනීමට සමත්වූ ඈ 1979 සරසවිය සම්මාන උළෙල්දී ජිවිතයේ එක වරක් පමණක් පිරිනැමෙන “රණ තිසර” සම්මානයෙන්ද පිදුම් ලැබුවත් ඒ වනවිට ඇය ජිවතුන් අතර නොසිටි බව ඉතිහාස් තොරතුරු පවසනවා.

මේ වනවිට කඩවුණු පොරොන්දුව තිරගතවී වසර 73ක් ගතව ගිහින්. රුක්මණී දේවිය මෙලොවින් සමුගෙන ගොස් වසර 42ක් ගතවී ගිහින්. නමුත් තවත් යුග ගණනාවක් ඈ පිලිබඳ මතකාවර්ජනයන් සිදුවන තරම් ඈ ප්‍රභල තාරකාවක්ව ද්ශීය සිනමා සහ සංගීත ක්ෂේත්‍රයේ බැබළෙනු ඇති.

කවර පින්තූරය : ධනංජය චතුරංගගේ ඩිජිටල් සිතුවමක්.

 

Share

89 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.