FUNNY BOY – 2021 OSCAR සම්මාන උළෙලේ කැනඩා නියෝජනය.

Avatar Nisanka Weheraduwa | November 1, 2020 113 Views 0 Likes 0 Ratings

113 Views 0 Ratings Rate it

ශ්‍රී ලංකික සම්භවයක් සහිත කැනේඩියානු ලේඛකයකු වූ Shyam Selvadurai සිය පළමු කෘතිය රචනා කොට එය කැනඩාවේදී ප්‍රකාශයට පත් කලේ 1994 වර්ෂයේ. තමන්ගේ පළවැනි නවකතාව වුනු මේ පොතට ඔහු නම තැබුවේ FUNNY BOY ලෙසින්. අකුරු සහ වචන ලෙසින් ඔහු නිර්මාණය කළ මේ කතාව රුප මාධ්‍යයෙන් නිර්මාණය වී OSCAR සම්මාන උළෙල නියෝජනයට ඉදිරිපත් කෙරෙනු ඇතැයි ඔහු එදා නොසිතන්නට ඇති. නමුත් 2021 වසරේ OSCAR සම්මාන උළෙල සඳහා අන්තර්ජාතික වෘතාන්ත චිත්‍රපට (International feature) කාණ්ඩය යටතේ තරග කිරීමට ඔහුගේ පොත ඇසුරෙන් නිර්මාණය වුනු FUNNY BOY චිත්‍රපටය ඉදිරිපත් කෙරෙනවා. ඒ, උළෙලේ කැනඩා නියෝජනය ලෙසිනුයි.

OSCAR සම්මාන සඳහා නිර්දේශිත සම්මානනීය අධ්‍යක්ෂවරියක් වන Deepa Mehta මේ චිත්‍රපටය නිර්මාණය කොට තිබෙනවා. දැඩි ප්‍රේක්ෂක සහ විචාරක අවධානයක් දිනාගත් තුන් ඈඳුතු චිත්‍රපට (trilogy) වන FIRE(1996), EARTH(1998) සහ WATER(2005) චිත්‍රපට නිර්මාණය කළ ඇය මීට පෙර දෙවරක් ඇගේ සිනමා නිර්මාණ ලංකාවේදී රූගත කොට තිබෙනවා. මෙවර ඇය Shyam Selvadurai සමග එක්ව FUNNY BOY සිනමා මාධ්‍යයෙන් ඉදිරිපත් කරනවා.

Shyam රචනා කළ කෘතිය WH Smith “Books in Canada First Novel Award” සහ  The “Lambda Literary Award” in the US සම්මාන දිනා ගත්තා සේම විදෙස් භාෂා කීපයකටම පරිවර්ථනය කෙරුනා. 1970 සහ 80 දශක වල ශ්‍රී ලංකාවේ ජීවත් වුනු Arjie නම් තරුණයෙක් ආශ්‍රයෙන් මේ කතාව ගොඩනැගෙනවා. ලාංකික කොළඹ සමාජයේ ජීවත් වන ජාතික වශයෙන් සුළුතරය නියෝජනය කරන ජනවර්ගයක තරුණයෙක් සහ ලිංගික සුළුතරය නියෝජනය කරන සාමකාමී තරුණයෙකු වන Arjie ඇසුරින් Shyam එවක ලාංකීය සමාජ දේශපාලනික වටපිටාව ගැන ගැඹුරු කතිකාවක් ගොඩනගනවා. මේ කතාව FUNNY BOY චිත්‍රපටය ඔස්සේ රූප මාධයෙන් Deepa Mehta විසින් මෙලෙස නිර්මාණය කොට තිබෙනවා.

Brandon Ingram, Nimmi Harasgama, Ali Kazmi, Agam Darshi, Sema Biswas, Rehna Mudannayake, Shivantha Wijesinha, Nadun Dissanayake, Arun Indika, Ruvin De Silva ඇතුළු රංගන ශිල්පීන් පිරිසක් චිත්‍රපටයට රංගනයෙන් දායකත්වය ලබාදී තිබෙනවා. ශ්‍රී ලංකාවේ දර්ශන තල උපයෝගී කරගනිමින් මෙහි රූගත කිරීම් සිදු කෙරුනා. චිත්‍රපටය දෙසැම්බර් 10 වැනිදා සිට Netflix ඔස්සේ නැරඹීමට අවස්ථාව ලැබෙනු ඇති.

“Film එකක් කියන්නේ අධ්‍යක්ෂවරයාගේ ප්‍රකාශන මාධ්‍යය. ඒක අපි මුලින්ම තේරුම් ගත යුතුයි. නවකතාව කියන්නෙ මගේ තනි නිර්මාණයක්. චිත්‍රපටයකට ගෙන ඒමේදී ඒ කතාව ගොඩනැගෙන විදිහ මම පිටපතේ මගේ කොටසින් සම්පූර්ණ කළා. දීපා ලංකාවේ පූර්ව නිෂ්පාදන කටයුතු වලට එද්දී මම ඒ පිටපත ඇයට බාරදීලා පැත්තකට වුනා. ඒ පිටපත තුළ ජීවත් වෙමින් මගේ කතාවේ ඇගේ චිත්‍රපටය නිර්මාණය කරන්න මම ඇයට ඉඩදුන්නා. මම ඒකට ඊට වඩා අතපොවන්න අවශ්‍ය නැහැ කියලයි මම හිතුවේ. දීපා කියන්නෙ ලංකාවත් එක්ක සමීප කෙනෙක්. ඇයට ලංකාවේ පරිසරය සහ සමාජය ගැන හොඳ අවබෝදයක් තියෙනවා. මිට පෙර ඇය චිත්‍රපට දෙකක්ම ලංකාවේ රූගත කරලත් තිබෙනවා. ඒ නිසා, ඇයට හැකිවෙලා තියෙනවා ලංකාවේ සමාජ දේශපාලනික කොටස් පුද්ගල චරිත එක්ක අපූරුවට මිශ්‍ර කරමින් චිත්‍රපටය ගොඩනගා තියෙනවා” FUNNY BOY චිත්‍රපටය පිලිබඳ අදහස් දක්වමින් Shyam එලෙස පවසා තිබුනා.

Share

113 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.