Harish Shankarගේ ආදායම් බදු වැටලීමේ මෙහෙයුම

Avatar Kavinu Weerakkody | May 22, 2022 30 Views 0 Likes 0 Ratings

30 Views 0 Ratings Rate it

1980 දශකයේදී ලක්නව් ප්‍රදේශයේ සත්‍ය ආදායම් බදු වැටලීමේ සිදුවීම් පාදක කරගනිමින් නිර්මාණය වුනු Raid හින්දි චිත්‍රපටය බහුතරයක් උතුරු ඉන්දීය සිනමා ලෝලීන් ප්‍රිය කරන නිර්මාණයක්. ඒ වගේම  Ajay Devganගේ ප්‍රසිද්ධිය අඩු වෙමින් ගිය කාලයක, Raid චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට පණ පෙවීම නිසා ඔහු යළිත් නලුවෙක් වශයෙන් හොඳ ස්ථාවරත්වයකට පැමිණියා. විචාරකයින් මෙන්ම සාමාන්‍ය ප්‍රේක්ෂකාගාරයේ අවධානයද එකසේ දිනා ගනිමින් සාර්ථක-Positive ප්‍රතිචාර ලබා ගත් Raid සිනමා නිර්මාණය, චිත්‍රපටයේ නිෂ්පාදන කණ්ඩායමටත් හොඳ සාර්ථකත්වයක් ලබා දුන්නේ ඉන්දීය කෝටි 150කට ආසන්න ආදායම් වාර්තාවක් ද සමඟයි.

චිත්‍රපටයේ ප්‍රධාන කාන්තා චරිතය රඟපෑ Ileana D’Cruzව හින්දි රසිකයින්ගේ අවධානයට නතු වූයේත් Raid නිසා බවයි ඇතමුන් සඳහන් කරන්නේ… ඇය වර්තමානයේදී බොලිවුඩය තුළ සාර්ථක ස්ථානයක් අත්පත් කරගෙන හමාරයි! එසේම එතරම් රසික ජනප්‍රියත්වයක් දිනා නොගත් චිත්‍රපට ගණනාවකට පසුව Ram Kumar Gupta හින්දි සිනමාවේ බලාපොරොත්තු තබා ගත හැකි අධ්‍යක්ෂකවරයෙකු ලෙසත් මෙයින් අවධානයට පත් වුනා.

මෙසේ ජනප්‍රියත්වය සහ ගුණාත්මකබාවය හොඳින් රඳවා ගත් මෑතකාලීන බොලිවුඩ් නිර්මාණයක් වූ Raid හි, දකුණු ඉන්දීය ප්‍රතිනිර්මාණයක් ගැනත් කලක සිටම rumors පැතිරුනු බවට ඔබට මතක ඇති. නමුත් ඒ කිසිවක් නිල වශයෙන් තහවුරු කරගත් බවක් දැනගන්නට ලැබුනේ නැහැ.

ලක්නව් ප්‍රදේශයේ සිදු වූ සිදුවීමක් ඇසුරෙන් නිර්මාණය වූ චිත්‍රපටයක් දකුණු ඉන්දීය ප්‍රේක්ෂකයින්ට ගැළපෙන අන්දමට නිෂ්පාදනය කරන්නට හැකි දැයි තිබූ ප්‍රශ්නය නිසාම බොහෝ දෙනෙක්ගේ අදහස වුනෙත්, මේ නිර්මාණය සිදු නොවනු ඇති බවටයි.
නමුත් මේ වනවිට Raid චිත්‍රපටයේ දකුණු ඉන්දීය ප්‍රතිනිර්මාණයක් ගැන තොරතුරු නිල වශයෙන්ම අණාවරණය වී තිබෙන නිසා එහි ප්‍රායෝගිකබාවය ගැන කතා කළ පිරිසත් චිත්‍රපටය ගැන උනන්දු වෙන්නට පටන් ගෙන තිබෙනවා. මෙය ප්‍රතිනිර්මාණය වීමට නියමිතව තිබෙන්නේ තෙළිඟු බාසාවෙනුයි.

තෙළිඟු චිත්‍රපට කර්මාන්තය ස්වභාවයෙන්ම Mass Action ස්වරූපය ගන්නා නිසා මේ නිර්මාණයටත් එහි බලපෑම නිරායාසයෙන්ම ලැබෙන්නට පුලුවන්. මුල් හින්දි චිත්‍රපටයට වඩා වැඩි ක්‍රියාදාම දර්ශනත්, නිතරම ඉස්මතු වී පෙනෙන ප්‍රධාන නලුවාගේ චරිතයකුත් Raid තෙළිඟු ප්‍රතිනිර්මාණයට ඇතුළත් වීමේ හැකියාව තිබෙනවා.
විශේෂයෙන්ම මේ නිර්මාණය අධ්‍යක්ෂණයට තෝරා ගෙන තිබෙන අධ්‍යක්ෂකවරයාත් තෙළිඟු Mass – වාණිජ සිනමාවේ පතාකයෙකු නිසා ඒ ලක්ෂණ හොඳින්ම දැකගත හැකි වේවි…

වාර්තා වන අන්දමට මෙම ප්‍රතිනිර්මාණය අධ්‍යක්ෂණය කිරීම සඳහා තෝරාගෙන තිබෙන්නේ ජනප්‍රිය ක්‍රියාදාම චිත්‍රපට ගණනාවක් ඉදිරිපත් කළ Harish Shankar විසිනුයි. ඔහුගේ Gabbar Singh සිනමාපටය එදා මෙදාතුර තෙළිඟු සිනමාවෙන් බිහිවූ iconicම MASS ACTION චිත්‍රපට කිහිපය අතරටත් එකතු වනවා. පසුගිය දිනෙක අධ්‍යක්ෂක Harish Shankar හින්දි සිනමාවේ කේන්ද්‍රීය නගරය වන මුම්බායි වෙත ගොස් තම චිත්‍රපටය සඳහා අවශ්‍ය කරුණු කිහිපයක් සාකච්ඡා කර තිබෙනවා. එහිදී මුල් Raid චිත්‍රපටය නිෂ්පාදනය කළ Kumar Mangat Pathakව හමුවී ඔහුගෙනුත් යම් අදහස් විමසා ඇති බවකුයි වාර්තා වෙන්නේ…

මෙම සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස මුල් Raid චිත්‍රපටයේ නිෂ්පාදන ආයතනය වූ Panaroma Studios සිනමා සමාගම විසින් මේ තෙළිඟු ප්‍රතිනිර්මාණයේ නිෂ්පාදන පිරිවැය දැරීමටත් එකඟ වී තිබෙනවා.

චිත්‍රපටයේ මූලික සැලැස්ම ගැන එකඟතාවයක් ගොඩ නැඟුණත් අජේ දෙව්ගන් රඟපෑ ප්‍රධාන චරිතයට ගැළපෙන රංගන ශිල්පියෙකු තවම සොයා ගෙන නොමැති බවයි සැලවෙන්නේ. ප්‍රසිද්ධ තෙළිඟු රංගන ශිල්පියෙකු වන Nithin Kumar Reddyව මීට යෝජනා වී තිබුණත් පිටපතේ යම් වෙනස්වීම් කිහිපයක් නිසා ඔහුගේ සම්බන්ධ වීම අවිනිශ්චිත බවටත් ඇතැම් ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා. කෙසේ වුවත් දැනට මෙම ප්‍රතිනිර්මාණයේ ප්‍රධාන චරිතය වෙනුවෙන් කිසිදු රංගන ශිල්පියෙකුගේ නමක් තහවුරු වී නැහැ. අධ්‍යක්ෂක Harish Shankar සෑමවිටම තමන්ගේ නිර්මාණ චරිත සඳහා accurateම නලු නිළියන් තෝරා ගැනීමට දක්ෂ පුද්ගලයෙකු ලෙසත් ක්ෂේත්‍රයේ ජනප්‍රිය වී තිබෙන නිසා ඔහු ඉක්මනින්ම මෙහි lead actor සඳහා ගැළපෙනම අයෙකු තෝරා ගනීවි…

2003 වසරේදී Ninne Istapaddanu තෙළිඟු චිත්‍රපටය රචනා කරමින් සිනමාවට පිවිසි Harish Shankar ඉන්පසුව Naa Autograph, Bujjigadu, Chintakayala Ravi වැනි චිත්‍රපට රචනා කරමින් දකුණු ඉන්දීය සිනමාවේ සක්‍රීය තිර පිටපත් රචකයෙකු වශයෙන් කටයුතු කළා.
ඔහු තම පළමු දිගු වෘතාන්ත චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ 2006 වර්ෂයේදී යි. “Shock” නමින් හැඳින්වූ එම සිනමාපටය එතරම් සාර්ථක වූයේ නැහැ. නමුත් 2012දී ඔහු අධ්‍යක්ෂණය කළ Gabbar Singh සිනමාපටය Harish Shankarගේ සිනමා ජීවිතයේ මෙන්ම වාණිජ තෙළිඟු සිනමාවේත් ප්‍රධාන සංදිස්ථානයක් වුනා.

ඉන්දීය කෝටි 150කට අධික ආදායමක් සමඟින් එකල දකුණු ඉන්දීය සිනමාවේ වැඩිම ආදායම්ලාභී චිත්‍රපට අතරට එකතු වූ Gabbar Singh, තෙළංගානා සිනමාවේ වෙන්ම cult (සිනමා සංස්කෘතියක්) බිහි කළ බවයි බොහෝ දෙනෙකුගේ අදහස වන්නේ… එහි ප්‍රධාන චරිතය රඟපෑ පවන් කල්‍යාන් වටා අතිශය ජනප්‍රියත්වයක් ඇතිවීමටත් ප්‍රධාන හේතුවක් වුනේ මෙයයි. Gabbar Singh චිත්‍රපටයේ දැකගන්නට ලැබුනු iconic references සහ mass sequences ඉන්පසුව බිහිවූ වාණිජ චිත්‍රපටවලටත් සෑහෙන බලපෑමක් ඇති කළා. අද දක්නට ලැබෙන තෙළිඟු වාණිජ චිත්‍රපට ගණනාවකට මුල් වූයේ ත් Gabbar Singh හරහා Harish Shankar ඇති කළ mass directing ශෛලයයි.

Share

30 Views 0 Ratings Rate it

Written by Kavinu Weerakkody


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.