“ Holland, Michigan” ප්‍රධාන රංගනය Nicole Kidaman බාර ගනී

Avatar Kavinu Weerakkody | June 29, 2022 36 Views 0 Likes 0 Ratings

36 Views 0 Ratings Rate it

ඇමරිකානු රංගන ශිල්පිනී Nicole Kidman රංගනයෙන් සම්බන්ධ වන නවතම වෘතාන්ත චිත්‍රපටයක් ගැන පසුගියදා, හොලිවුඩ් මාධ්‍ය විසින් වාර්තා කළා. “ Holland, Michigan” යනුවෙන් හැඳින්වෙන මෙම සිනමා නිර්මාණය ත්‍රිලර් (Thriller) ශානරයට අයිති වන්නක්. චිත්‍රපටය අධ්‍යක්ෂණය සඳහා තෝරාගෙන තිබෙන්නේ හොලිවුඩ් අධ්‍යක්ෂිකාවක වන Mimi Caveවයි. Holland Michigan හි ප්‍රධාන චරිතයට රංගනයෙන් එක් වන ඇමරිකානු නිළි Nicole Kidman විසින් මෙහි නිෂ්පාදන පිරිවැය දරන බවට සහ, චිත්‍රපටයේ ප්‍රධාන නිෂ්පාදිකාව වශයෙන් ඇය සම්බන්ධ වන බවට වැඩිදුරටත් විස්තර පැවසෙනවා.

මෙම වෘතාන්ත චිත්‍රපටයට පාදක කතාව සහ තිර පිටපත රචනා කර තිබෙන්නේ Andrew Sodroski විසිනුයි. ඔහු මීට පෙර තිර රචනයෙන් සම්බන්ධ වූ Manhunt කතාමාලාව, මෑත ඉතිහාසයේ ජනප්‍රියම වෙබ් කතාමාලා ලැයිස්තුවට පවා එකතු වී තිබෙනවා. එනිසාම, මෙම වෘතාන්ත චිත්‍රපටය ගැන උනන්දු වන රසිකයින් පවා Andrew Sodroskiගේ තිර රචනය ගැන ධනාත්මක බලාපොරොත්තු සහිතව සිටින අයුරු දැක ගන්නට හැකියි.

වාර්තා වන අන්දමට මෙය සිනමාශාලා ප්‍රදර්ශනය මඟ හරිමින් Direct OTT ක්‍රමයට අන්තර්ජාලයට මුදා හරින නිර්මාණයක් වන අතර, Nicole Kidman ඒ සම්බන්ධව Amazon Studios සමඟින් ගිවිසුම්ගත වී තිබෙනවා. Nicole Kidman අවසන් වරට සම්බන්ධ වූ වෘතාන්ත නිර්මාණය වන Being The Richards සිනමාපටයත්, සිනමාශාලා ප්‍රදර්ශනයට නිකුත් නොකළ අතර  Amazon Prime Video තුළින් ලෝ පුරා රසිකයින්ට නැරඹීමට අවස්ථාව ලබා දුන්නා. ඒ චිත්‍රපටය වෙනුවෙන් ඇය විශිෂ්ටතම රංගන ශිල්පිනියට හිමි Golden Globes සම්මානය (Best Actress – Motion Picture Drama) පවා ජයග්‍රහණය කළා. ඊට අමතරව හොඳම නිළියට හිමි ඇකඩමි සම්මාන නිර්දේශයත්, SAG අවසන් නිර්දේශ වීම් අතරට පැමිනීමටත් හැකියාව ලැබුනා.

“ Holland, Michigan” චිත්‍රපටයේ plot details පිළිබඳව වැඩිදුර විස්තරයක් දැනගන්නට නොලැබුනත් එහි කතා සාරාංශය ගැන IMDb අඩවියේ යම් සඳහනක් පළ කොට තිබෙනවා. ඒ අනුව චිත්‍රපටය දිවයන්නේ සාමාන්‍ය පවුල් ජීවිතයක් ගත කරන ගැහැණියක සහ පිරිමියෙකු වටායි. Nicole Kidman මෙහි බිරිඳගේ චරිතයට පණ පොවන අතර ස්වාමිපුරුෂයාගේ ප්‍රධාන චරිතයට ගිවිසුම්ගත වූයේ කවුරුන්ද යන්න තවමත් තහවුරු වී නැහැ. සිය ස්වාමිපුරුෂයා තවත් කාන්තාවක සමඟ සම්බන්ධයක් පවත්වමින් තමන්ව මඟ හරින බවට බිරිඳට හැඟීමත් සමඟ, ඇය ඔහුට හොරෙන් ඔහු ගැන තොරතුරු සොයන්නට පටන් ගන්නා අයුරුත්, එහි ප්‍රතිඵලයක් ලෙස බිරිඳට හොරෙන් ඔහු ගත කළ අඳුරු සහ රහස් ජීවිතය ඇයට අණාවරණය වන අයුරුත් චිත්‍රපටයෙන් දැකගත හැකියි.

“ A thriller centered on a woman who suspects her husband is cheating, and enters into an affair of her own, before learning her husband’s true, dark secret life. “

මෙම නිර්මාණයේ අධ්‍යක්ෂිකාව වන Mimi Cave සිනමා කර්මාන්තයට පිවිසෙන්නේ 2014 වසරේදීයි. එතැන් පටන් කලා අධ්‍යක්ෂිකාවක, සහාය අධ්‍යක්ෂකවරියක සහ තිර රචිකාවියක ලෙස විවිධ නිර්මාණවලට සම්බන්ධ වන ඇය Holland Michiganට පෙර තවත් දිගු වෘතාන්ත සිනමාපටයක් අධ්‍යක්ෂණය කොට තිබෙනවා. Fresh ලෙස නම් කර තිබෙන ඊට රංගනයෙන් දායක වූයේ Sebastian Stan සමඟින් Daisy Edgarයි. 42 000කට අධික මනාප සංඛ්‍යාවකින් 6.8ක IMDb අගයක් ලබාගෙන තිබෙන එය බොහෝ hollywood ප්‍රේක්ෂකයින්ගේ ධනාත්මක අවධානයට නතු වුනා.
Fresh (2022)න් පසු Mimi Cave අධ්‍යක්ෂණය කරන දෙවන නිර්මාණය වන්නේ මෙයයි.

Nicole Kidmanට අමතරව Blossom Films නිෂ්පාදනය ආයතනය යටතේ Per Saari ද මෙහි සහාය නිෂ්පාදනය සඳහා එක්ව තිබෙනවා. මෙම චිත්‍රපටයට අමතරව Expats නමින් හැඳින්වෙන නව රූපවාහිනී කතාමාලාවක් නිෂ්පාදනය සඳහාත් ඇය මේ දිනවල සම්බන්ධ වී සිටිනවා.

1983දී Bush Christmas හරහා සිනමා රංගනයට පිවිසි Nicole Kidman වර්තමානයේදී ලෝක සිනමාව තුළ ජනප්‍රියතම සහ දැවැන්ත රංගන ශිල්පිනියක්. Academy සම්මානයක්, BAFTA සම්මානයක්, Golden Globes සම්මාන හයක්, Primetime Emmy සම්මාන දෙකක් ඇතුළුව විවිධ ශානරීය සම්මාන ගණනාවකින් පිදුම් ලැබූ ඇය එදා මෙදා’තුර සිනමා ඉතිහාසයෙන් බිහිවූ සාර්ථකම නිළියක ලෙසත් හැඳින්වෙනවා. 1980 දශකයේදී සිය රංගන දිවිය ආරම්භ කළ පසු Batman Forever, The Hours, Moulin Rouge, The Others, Dead Calm වැනි සිනමාපට හරහා දිගින් දිගටම ප්‍රේක්ෂක අවධානය දිනා ගැනීමට ඇය සමත් වුනා. එම කාල සීමාව තුළදී, එකම චිත්‍රපට ශානරයකට සීමා නොවී එකිනෙකට වෙනස් සහ විවිධ කතා තේමාවන්ගෙන් යුත් චිත්‍රපට තෝරා ගැනීම වෙනුවෙන් ඇය විචාරකයින්ගේ ඇගයීමට පවා ලක්වුනා.
විශේෂයෙන්ම එවකට ඇය සහ Tom Cruise අතර තිබුණු රංගන ගැළපීම බොහෝ දෙනෙකුගේ ආදරයට පාත්‍ර වුනා. ඒ නිසාම ඔවුන් දෙදෙනා එක්ව රඟපෑ Days of Thunder, Far and Away සහ Eyes Wide Shut වැනි නිර්මාණ එවකට හොලිවුඩ් රසිකයින්ගේ අතිශය ජනාදරයට පත් වූයේ නිතැතින්මයි..!

ඉදිරියේදී නිකුත් වීමට නියමිත Aquaman චිත්‍රපට මාලාවේ දෙවැන්න වන Aquaman and The Lost Kingdom හි අට්ලැන්ටා රැජිනගේ චරිතයෙන් ඇය නැවතත් රසිකයින්ට සමීප වීමට නියමිතයි.

Share

36 Views 0 Ratings Rate it

Written by Kavinu Weerakkody


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.