Hybrid Car එකතු කරන TITANIC නළුවා DiCaprio

Avatar Nisanka Weheraduwa | April 17, 2020 87 Views 0 Likes 1 On 1 Rating

87 Views 1 On 1 Rating Rate it

TITANIC නව මුහුදේ ගිලීයාම ආශ්‍රිත ඉතිහාස කතාව වර්ථමානයට ගෙනාවේ TITANIC චිත්‍රපටය කිවුවොත් ඒ කතාව නිවැරදියි. 1997 James Cameron තිර රචනය කොට අධ්‍යක්ෂණය කළ මේ චිත්‍රපටය, වසර 12ක කාලයක්ම ලෝකයේ වැඩිම ආදායම් ලැබූ චිත්‍රපටයට හිමි වාර්තාව ඉසිලුවා. මේ චිත්‍රපටයේ Jack සහ Rose කියන පෙම්වතුන් යුවල ලෙස රඟපෑ Leonardo DiCaprio සහ Kate Winslet ලෝකය පුරාම අතිශය ජනප්‍රිය වුනා. මෙයිනුත් Jack නැතිනම් DiCaprio අතිශය ජනප්‍රිය වුනා වගේම ඔහු හොලිවුඩ් තරුවක් බවට පත්වුනා. දක්ෂ නළුවකු හොලිවුඩ් සිනමාවේ දිගු ගමනක් යෑමට ඔහුට මේ චිත්‍රපටය විශාල දායකත්වයක් ලබාදුන්නා. ඔහු ගැන ඔබ මෙතෙක් දැන නොසිටි කරුණු කිහිපයක් අපි ඔබට කියන්න සූදානම්.

DiCaprio ඉපදෙන්නේ 1974 නොවැම්බර් 11 වැනිදා කැලිෆෝනියා ප්‍රාන්තයේ Los Angeles නුවරදී. ඔහු වයස අවුරුදු 05දී ඔහුගේ පළවැනි රංගනය ඉදිරිපත් කරන්නේ TV Series එකකට. teenager කෙනෙක් විදිහට රූපවාහිනී වෙළඳ දැන්වීම් කිහිපයකත්, TV Series කිහිපයකත් රඟපෑ ඔහු වයස අවුරුදු 17දී පළමු වරට සිනමාවට සම්බන්ධ වුනා. ඉන් පසු ගෙවුණු වසර පහක් තුළ මතකයේ හිටින චරිත කිහිපයක්ම රඟපෑවා වුනත් ඔහුට වාසනාව ගෙනාවේ TITANIC චිත්‍රපටයයි. එතනින් පසු Box office වාර්තා පිහිටවූ ජනප්‍රිය චිත්‍රපට රැසක විවිධ චරිත රඟපෑමට ඔහුට අවස්ථාව උදාවුනා වගේම OSCAR සම්මාන දිනා ගැනීමටත් ඔහුට හැකියාව ලැබුනා.

මේ වෙනකොට හොලිවුඩ් සිනමාවේ වැඩිම මිළක් අයකරන නළුවන් කිහිපදෙනාගෙන් කෙනෙක් ඔහු. ඔහුගේ සාමාන්‍ය මිළ ඇහුවොත් ඔබ පුදුම වේවි. 2017 වසර වනවිට ඔහු සාමාන්‍ය චිත්‍රපට චරිතයක් වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 20ක මුදලක් අයකළ බව ඔබ නොදන්නවා විය හැකියි. ඒ වගේම හොලිවුඩ් ශ්‍රේණිගත කිරීම් අනුව ඔවු හොලිවුඩ් සිනමාවේ සිටින Hottest actor කෙනෙක් බවත් පැවසෙනවා. චිත්‍රපට නිෂ්පාදකවරයෙක් වගේම ඔහු තවත් විටෙක සමාජ ක්‍රියාකාරිකයකුද වනවා.

DiCaprio රංගන ජීවිතය ආරම්භ කළ මුල් කාලයේ ඔහුගේ ඒජන්සියට අවශ්‍ය වුනා ඔහුගේ නම ඇමරිකානු උරුවට වෙනස් කරන්න. සරළව කිවුවොත් වඩා amaricanize screen name එකකින් ඔහුව තිරයට හඳුන්වා දෙන්න ඒජන්සියට අවශ්‍ය වුනා. ඔවුන් ඔහුට යෝජනා කලේ Lanny William කියන නම screen name එක විදිහට පාවිච්චි කරන ලෙස. නමුත් Caprio ඔවුන්ගේ යෝජනාව ප්‍රතික්ෂේප කළා.

ඒ වගේම DiCaprio පලවෙනි රංගන වෘත්තියෙන් නෙරපාහැරි බව ඔබ නොදන්නවා විය හැකියි. වයස අවුරුදු පහේදී දායක වුනු රූපවාහිනී මාලා නාටකයකින් ඔහු නෙරප හරියේ ඔහු විනය විරෝධීව හැසිරුණු නිසා බවත් සඳහන්. ඔහුට නම ලැබුණු ආකාරයත් රසවත් සිදුවීමක්. ඔහුගේ මව Emillia, ඉතාලියේ කලාගාරයක Leonardo DaVinci ගේ චිත්‍ර නරඹමින් සිටින අතරතුර ඇගේ කුසතුළ සිටි ළදරුවා පළමු වරට ඇගේ ඝර්භාශ බිත්තියට පහරදෙන සංවේදනය ඇයට දැනී තිබෙනවා. ඒ සිදුවීම සිහිපත් කිරීමට තමයි ඔහුට Leonardo ලෙස මුල් නම ලැබී තිබෙන්නේ.

DiCaprio පුංචි ගැහැණු ළමයෙකුගේ භාරකාර පියා ලෙස කටයුතු කරන බවත් බොහෝ දෙනෙක් නොදන්නා කරුණක්. Mozambic රාජ්‍යයේ ළමා ගම්මානයක අසරණ  දැරියක් වෙනුවෙන් ඔහු සියළු බරපැන දරමින් ඒ දැරිය ඇතිදැඩි කරවනවා. තවත් බොහෝ අසරණ දරුවන්ගේ සුභසාධනය වෙනුවෙන් ඔහු සිය දායකත්වය ලබාදෙන බවත් පැවසෙනවා. ඔහුට වයස අවුරුද්දක් පමණ කාලයේ ඔහුගේ දෙමව්පියන් වෙන් වනවා. නමුත් වගකීම් පැහැර නොහරිමින් ඔහුගේ මවත් පියාත් දෙදෙනාම ඔහුට අවශ්‍ය සියල්ල ලබාදෙමින් ඔහුගේ කටයුතු වලට උදවු කරමින් ඔහුව හදාවඩාගත් බවත් ඔහු විසින්ම සඳහන් කොට තිබෙනවා. කෙසේ වෙතත් ඔහු උසස් පාසලේදී වරක් පාසලින් නෙරපාහැර තිබෙන බවත් ඔහු වරක් සිනාසෙමින් පවසා තිබුනා.

OSCAR සම්මාන ඉතිහාසයේ වැඩිම වරක් twitter සමාජ ජාලය තුළ සංසරණය වුනු පුවත වුනේ ඔහු පළමු වරට හොඳම නළුවා ලෙස OSCAR සම්මාන දිනු පුවතයි. 2016 වසරේ හොඳම නළුවා ලෙස ඔහු ඇකඩමි සම්මාන දිනා ගත්තේ The Revenant චිත්‍රපටය වෙනුවෙන්. එසැනින්  ඒ පුවත සහිත සුබපැතුම් පණිවිඩ ඇතුළුව twitter පණිවිඩ 440,000ක් පමණ twitter සමාජ ජාලය තුළ පලවී තිබුනා. ඒ වගේම 2017 අවුරුද්දේ DiCaprio විසින් Beach front ඉඩමක් මිළදී ගැනීමට ඇමරිකානු ඩොලර් මිලියන 23ක් වැයකොට තිබෙනවා. අක්කර 1.1ක් පමණ වන මේ භූමිය තට්ටු දෙකක මුහුදට විවෘත මන්දිරයක්, පෞද්ගලික මුහුදු වෙරළ තීරයක් සහ නාන තටාකයක් සහිතයි. චිත්‍ර සහ මූර්ති වලට වැඩි කැමැත්තක් දක්වන ඔහු ඇමරිකානු ඩොලර් මිලියන 1.2ක් වැයකොට වෙන්දේසියකින් සිතුවමක් මිළදීගෙන ඇති බව ඔබ නොදන්නවා ඇති. Salvador Dalai ගේ සිතුවමක් ඔහු මෙලෙස මිළදීගෙන තිබෙනවා.

1999 වසරේ දිනක උත්සව අවස්ථාවකදී තවත් නිරුපන ශිල්පිනියක් බෝතලයක් කුදුකොට ඔහුට පහරදී තිබෙන බව ඔබ අසා නැතුව ඇති. මේ පහරදීම හේතුවෙන් ඔහුගේ මුහුණේ තුවාල 17ක් ඇතිවුණු බවත් පැවසෙනවා. ඒ වගේම ඔහු වාහන වල දැඩි ඇල්මක් දක්වන කෙනෙක්. නමුත් ඔහු පරිසරවෙදියෙක් වන නිසා ඔහුගේ එකතුවේ තිබෙන්නේ eco-friendly වාහන පමණයි. fully electric හෝ hybrid වාහන පමණයි ඔහු සිය එකතුවට මිළදී ගන්නේ.

Titanic නෞකාවේ සිට දිවි බේරාගත් වයස්ගත කාන්තාවක් සාත්තු නිවාසයක සිට එහි බිල්පත ගෙවාගත නොහැකිව Titanic සැමරුම් විකිණීමට සුදානම් බව ඇසූ ඔහු, ඇය වෙනුවෙන් අරමුදලක් පිහිටවූවා. ඩොලර් 20,000ක් පමණ බැර කරමින් ඇරඹු අරමුදලට Kate Winsletද පරිත්‍යාග එක් කරමින් සම්බන්ධ වුනා. නමුත් එම කාන්තාව මාස හයකට පසු මියගොස් තිබුනා. ඒ වගේම එක පුද්ගලයකු මේ යුවල සමග එනම්, Dicaprio සහ Kate සමග රාත්‍රී භෝජන සංග්‍රහයකට සම්බන්ධ වීමට ඩොලර් මිලියන 1.35ක් වැයකොට ඇති බවත් ඔබ නොදන්නවා ඇති. අරමුදල් එක්රැස් කිරීමේ අවස්ථාවකදී ඔවුන් දෙදෙනා සමග රාත්‍රී භෝජනයකට සහභාගී වීමට ප්‍රවේශපතක් වෙන්දේසියේ විකුණා ඇති අතර එය ඇමරිකානු ඩොලර් මිලියන 1.35කට අළෙවි වී තිබෙනවා.

තවමත් සිය ජනප්‍රියත්වය එලෙසින්ම රඳවාගත් DiCaprio 2019 වසරේ රඟපෑ Once upon a time in hollywood චිත්‍රපටයේ චරිතයට ඇකඩමි සහ Golden globe සම්මාන සඳහා නිර්දේශ වුනා.

Share

87 Views 1 On 1 Rating Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.