I Am Legend 02: විල් ස්මිත් නැවතත් මෙහෙයුමට

Avatar Kavinu Weerakkody | March 15, 2022 40 Views 0 Likes 0 Ratings

40 Views 0 Ratings Rate it

2007 වසරේදී තිරගත වීම ඇරඹි, Will Smith ප්‍රධාන චරිත නිරූපණය කළ I am Legend හොලිවුඩ් සිනමාපටය, ලෝ පුරා විශාල ප්‍රේක්ෂකාගරයක අවධානය දිනා ගත් සිනමා නිර්මාණයක්. වසර ගණනාවකට පසු එහි දෙවන දිගහැරුමක් පිළිබඳ ආරංචියක් දැන් හොලිවුඩයෙන් වාර්තා වී තිබෙනවා. මුල් චිත්‍රපටය නිර්මාණය වූයේ Richard Matheson විසින් රචිත I am Legend (1954) නැමැති විද්‍යා- ප්‍රබන්ධ නවකතාව ආශ්‍රය කරගෙනයි.

චිත්‍රපටය තිරගත කළ අවධිය Men in Black, Bad Boys, The Pursuit of Happiness වැනි නිර්මාණවල ජනප්‍රියත්වය හේතුවෙන් Will Smithගේ රංගන ජීවිතයේ උච්චතම අවධියක්ව තිබුනු නිසාම I am Legend චිත්‍රපටය නිකුත් වන තුරු බලා සිටි ප්‍රේක්ෂක පිරිසත් සුලුපටු නැහැ. ලෝ පුරා විශාල රසික පිරිසක් එය නැරඹීමට මඟ බලා සිටියා.

අවසානයේදී, I am Legend සිනමාපටය වටා ගොඩ නැඟී තිබුණු රසික ජනප්‍රියත්වය නැවත නැවතත් සනාථ කරමින් ලොව පුරා ඇමරිකානු ඩොලර් මිලියන 600කට ආසන්න ආදායමක් රැස් කරගැනීමට ඊට හැකියාව ලැබුනු අතර Saturn Awards for Best Actor, MTV Movie award for Best Male Performance වැනි සම්මාන ගණනාවකුත් Will Smith විසින් ජයග්‍රහණය කළා.

එතැන් සිට විවිධ අවස්ථාවන් හිදී I am Legend සිනමාපටයේ දෙවන දිගහැරුමක් හෙවත් sequel නිර්මාණයක් ගැන විවිධ ඉඟි පළ වුනත් ඒ කිසිවක් නිල වශයෙන් තහවුරු වූයේ නැහැ. 2019 වසරේදීත් ඇතැම් ප්‍රමුඛ පෙළේ වෙබ් අඩවි කිහිපයක්ම I am Legend දෙවන සිනමාපටයක් පිළිබඳව සාකච්ඡා සිදු වන බවට වාර්තා කර තිබුණත් කිසිවෙකු ඒ ගැන විශ්වාස කළේ නැහැ.
ඊට හේතුව වුණේ 2008 වසරේ සිටම මෙය චිත්‍රපට මාලාවක් වශයෙන් එළි දැක්වීමට සූදානම් බව නිෂ්පාදකයින් දැනුම් දුන්නත් ඒ වනතෙක්ම එහි යාවත්කාලීන වූ කිසිදු තොරතුරක් රසිකයින්ට නොලැබූ නිසායි.

2007දී I am Legend තිරගත වී වසරක් ගත වන්නටත් ප්‍රථම, චිත්‍රපටයේ අධ්‍යක්ෂක Francis Lawrence විසින් මෙහි prequel නිර්මාණයක් සිදුවන බවට රසිකයින්ට දැනුම් දුන්නා. විල් ස්මිත් විසින් රඟ දක්වන රොබට් නෙවිල්ගේ චරිතයෙ හි මුල්කාලීන සිදුවීම් ඇසුරෙන් එය නිෂ්පාදනයට වන බවටයි Francis Lawrence රසිකයින්ට දැන්වූයේ…

සුප්‍රසිද්ධ Game of Thrones ටෙලි කතාමාලාවේ නිර්මාතෘ වන D.B. Weiss මෙහි තිර පිටපත රචනයට ගිවිසුම්ගත වූ බවත් පළමු චිත්‍රපටයටත් වඩා වැඩි ආකර්ෂණීය චිත්‍රපටයක් මෙවර නිර්මාණය කරන්නට ඔවුන්ට හැකි බවත් අධ්‍යක්ෂක Francis Lawrence පවසා සිටියා.

නමුත්, එයින් වසර 02-03ක් ගත වනතුරුත් මෙහි කිසිදු වැඩි විස්තරයක් රසිකයින්ට දැනගන්නට ලැබුණේ නැහැ. අවසානයේදී, එකවරම 2011 වර්ෂයේ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවක් හරහා අධ්‍යක්ෂක Francis Lawrence විසින් I am Legend දෙවන සිනමාපටයේ සියලුම වැඩ කටයුතු නතර කළ බව යළිත් පවසා සිටියා.
2012 වසරේදී Warner Bros. මෙහි වැඩ කටයුතු යළි අරඹන්නට සූදානම් වුවත් ඒ උත්සාහය ඵලදායී වුණෙත් නැහැ.

I am Legend දෙවන චිත්‍රපටයක් ගැන නවතම ආරංචියක් පසුගිය සතියේදී ලෝක මාධ්‍යයේ අවධානයට ලක් වුණේ එවැනි පසුබිමක් තුළදීයි. නමුත් මෙවර පෙර අවස්ථාවන්ට වඩා විශේෂත්වයක් දැකගන්නට ලැබෙනවා. ඒ මෙවර ආරංචිය නිකුත් කළේ I am Legend හි ප්‍රධාන චරිතය රඟපෑ Will Smith විසින්මයි.

මෙවර චිත්‍රපටය අධ්‍යක්ෂණය, මුල් නිර්මාණයේ අධ්‍යක්ෂකවරයා වන Francis Lawreenceගෙන් ඉවත් කර තිබෙන බවකුත් අන්තර්ජාලයේ සඳහන් වනවා. නමුත් ඒ වෙනුවට මෙවර අධ්‍යක්ෂණයට තෝරා ගෙන තිබෙන්නේ කවුරුන්ද යන්න පිළිබඳ නිශ්චිත තොරතුරක් දැනගන්නට ලැබෙන්නේ නැහැ. නිල තොරතුරක් පළවී නැති නිසා ඇතැම්විට මෙය අසත්‍යයක් වීමටත් හැකියි. පළමු චිත්‍රපටය වෙනුවෙන් තිර පිටපත රචනා කළ Akiva Goldsman මෙවර නිර්මාණයටත් තිර රචනයෙන් එක්ව සිටිනවා.

I am Legend හි ප්‍රධාන චරිතය නිරූපණය කළේ Will Smith පමණක් වූවත්, මෙම දෙවන චිත්‍රපටයට තවත් ප්‍රධාන චරිතයක් එක්වී සිටිනවා. විල් ස්මිත් සමඟින් ලෝක සිනමාවේ තවත් ජනප්‍රිය චරිතයක් මීට එක්වීමට නියමිතයි. ඔහු නමින් සුප්‍රසිද්ධ හොලිවුඩ් රංගන ශිල්පී Micheal B. Jordan යි.
විල් ස්මිත් විසින් රොබට් නෙවිල්ගේ සුපුරුදු චරිතය නිරූපණය කළත් මෙහි Micheal B. Jordanට අදාළ චරිතය පිළිබඳව තොරතුරු අණාවරණය වී නැහැ. දැනට තහවුරු වී තිබෙන්නේ ඔහු මෙහි ප්‍රධාන සහ වැදගත් චරිතයක් නිරූපණ්ය කරන බව පමණයි.
I am Legend පළමු චිත්‍රපටයේ එක් දර්ශනතලයක ඡායාරූපයක් තම සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ මුදා හැරි Will Smith, ඊට Micheal B. Jordanවත් tag කර තිබුනේ රසිකයින්ට ඉඟියක් පවසමින්…

නමුත් මෙය මුල් නිර්මාණයට අදාළ prequel චිත්‍රපටයක්ද නැතිනම් sequel චිත්‍රපටයක්ද යන්නවත් නිශ්චිතව තහවුරු වී නැහැ. ඇතැම් මාධ්‍ය මෙය prequel නිර්මාණයක් බවට ඉඟි පළ කරද්දි, තවත් තැනක sequel චිත්‍රපටයක් බවට උපුටා දැක්වෙනවා. වෛරසයට එරෙහිව ප්‍රතිකාරයක් සොයා ගැනීමට රොබට් නෙවිල් සිදු කරන මෙහෙයුමට බාධා පමුණුවන ප්‍රතිවීර චරිතයක් Micheal B. Jordan රඟ දක්වනු ඇති බවටත් අන්තර්ජාලයේ සඳහන් වනවා.

Micheal සහ Will Smith මේ සිනමාපටයට සම්බන්ධ වන්නේ රංගනයෙන් පමණක් නම් නොවෙයි. ප්‍රධාන චරිත රංගනයට අමතරව I am Legend දෙවන කොටසේ නිෂ්පාදනය සඳහාත් ඔවුන් දෙදෙනාම එක්වී තිබෙනවා. Outlier Society නිෂ්පාදන ආයතනයේ Elizabeth Raposo සමඟින් Micheal B. Jordan මෙහි නිෂ්පාදනයට සම්බන්ධ වනවිට Jon Mone සහ Ryan Shimazaki සමඟින් Will Smith ද සෙසු නිෂ්පාදකයෙකු වශයෙන් මෙම නිර්මාණයට නිෂ්පාදනයෙන් එක්ව තිබෙනවා. ඒ Westbrrok Studios සිනමා සමාගම නියෝජනය කරමිනුයි.

Will Smith සහ Micheal B. Jordan රංගනයෙන් මෙන්ම නිෂ්පාදනයෙන් එකතු වන පළමු නිර්මාණය වන්නේ මෙයයි. ඔවුන් දෙදෙනාම තමන්ට ආවේණික වූ රසික ප්‍රේක්ෂකාගාරයක් සහිත රංගන ශිල්පීන් දෙදෙනෙකු වන නිසා මේ නිවේදනය මුලු හොලිවුඩය පුරාම කතාබහක් ඇති කළ බවට සැකයක් නැහැ. Will Smith සහ Micheal B. Jordan දෙදෙනා රංගනයෙන් එකතු වූ චිත්‍රපටවල සමස්ත ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 12.3ක් වැනි අතිශය ඉහළ අගයක් වීම ඊට හොඳම නිදසුනක්…

Will Smith මේ දිනවල තමන්ගේ King Richard සිනමාපටය සමඟ ඇකඩමි සම්මාන උළෙලට සූදානම් වෙමින් සිටිනවා. එය ජයග්‍රහණය කළ අවසාන නිර්දේශවීම් ප්‍රමාණය පහකට අධිකයි. Micheal B Jordan මේ දිනවල කාර්යබහුල වී සිටින්නේ Creed III චිත්‍රපටය නිසායි. එහි ප්‍රධාන රංගනය මෙන්ම අධ්‍යක්ෂණය සිදු කිරීමට නියමිත තිබෙන්නේ ද ඔහු විසිනි.

කෝවිඩ් වසංගත තත්වය යම් පාලනය වීමක් සහිතව මේ ආකාරයෙන්ම පැවතුණහොත් I am Legend දෙවන දිගහැරුමේ නිෂ්පාදන කටයුතු මේ වසර තුළදී ඇරඹීමට නියමිත බවත් ඇතමුන් පවසනවා.

Share

40 Views 0 Ratings Rate it

Written by Kavinu Weerakkody


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.