කර්ම කියන්නේ කරුමයට නෙවෙයි-ප්‍රසන්න ජයකොඩි

Avatar Cinema.lk A | November 9, 2012 69 Views 0 Likes 0 Ratings

69 Views 0 Ratings Rate it

’සංඛාරා’ නම් වූ සිය කුලුඳුල් චිත්‍රපටය ඔස්සේ විදග්ධ ලාංකේය සිනමා ප්‍රේක්ෂක විඥානය සියුම්ව ස්පර්ශ කළ ප්‍රසන්න ජයකොඩි දැන් නැවත ඔවුන් හමුවට පැමිණ සිටින්නේ ‘කර්ම’ චිත්‍රපටයත් සමඟිනි.

‘කර්ම’ විවිධ ප්‍රේක්ෂක, විචාරක ප්‍රතිචාරයන්ට බඳුන් වෙමින් මේ දිනවල තිරගත වේ.

මේ දිග හැරෙන්නේ ‘කර්ම’ පිළිබඳ ප්‍රසන්න හා කළ කතාබහකි.

‘කර්ම’ කියන නමත් එක්ක කෙනෙකුට එක්වරම හිතෙන්න පුළුවන් මෙය බෞද්ධ දර්ශනය පසුබිම් කරගෙන සෑදූ චිත්‍රපටයක්ය කියා.

‘කර්ම’ කියන වචනය මුළු ආසියානු කලාපයටම පොදු දෙයක්. බුදු දහමේ වේවා, හින්දු ආගමේ වේවා හැම ආගමකටම හැම සංස්කෘතියකටම ගැළපෙන කාරණා මේ චිත්‍රපටයේ තියෙනවා. දැන් අපි ගොඩක් වෙලාවට කරුමය කියන එකට තමයි කර්මය කියන්නේ. ඒත් ඒක එහෙම නෙවෙයි.

මේ ජීවිතය ඇතුලේ එල්ලිලා ඉන්න හැම කෙනෙකුටම අවශ්‍යයි. ඒ සඳහා ඔවුන් නොයෙක් ක්‍රියාකාරකම් කරනවා. ජීවිතය අපි වාහනයක් හැටියට ගත්තොත් එහි ක්‍රියාකාරිත්වයට අවශ්‍ය කරන ඉන්ධන ටිකටයි ‘කර්මය’ කියන්නේ. ‘කර්මය’ කියන එක ඇතුලේ විඳීම හා විඳවීම දෙකම තියෙනවනේ. ගොඩක් අය ගන්නේ විඳවීම විතරයි.

පියල්, අමන්දා සහ නදී කියන කේන්ද්‍රී‍්‍රය චරිත වටා තමයි කර්මදිග හැරෙන්නේ. ඔවුන් තමන්ගේ කතාව අපට කියාගෙන යනවා. මේ අතිශය පෞද්ගලික කතන්දරය පොදු ප්‍රේක්ෂකයාට කොහොමද වැදගත් වන්නේ?

සමාජයේ පොදු කාරණා කියන සියලුම දේවල් හටගෙන තියෙන්නේ වෙන කොහෙන්වත් නෙවෙයි. පෞද්ගලික කාරණා මත. මේක පොදු කාරණාවක් බවට පත් කරන්න පුළුවන් ශක්තියක් තියෙන පුද්ගලයන් එහෙම කරනවා. දර්ශනවාදියෙක් වුණත් එහෙමයි. දැන් සිද්ධාර්ථ කුමාරයාට ගිහි ගෙයින් නික්මෙන්නට හිතුණ පෞද්ගලික කාරණා තමයි අද මේ පොදු කාරණාවක් , දහමක් විදිහට සමාජගත වෙලා තියෙන්නේ. අද අපි පොදු කාරණා විදිහට දකින සියලුම දේවල් බැලුවොත් පෞද්ගලික කාරණා. මේ චරිත තුන පොදු චරිත තුනක් විදිිහට මම දකින්නේ. අපේ සමාජයේ ස්ථර තුනක නියෝජනයක් තමයි මේ. අපි එකිනෙකා හැම වෙලාවකම මේ ස්ථර තුන ඇතුලේ ඉන්නවා.

එතකොට මේ චරිත ඕපපාතික, නොඑසේනම් අක්මුල් නැති නිශ්චිත සමාජ පසුබිමක් නැති චරිත යැයි කියා කිසිවකු තර්කයක් මතු කළොත්?

මම මේ චරිතවල ඉතිහාසය නොගෙනෙන්නේ එහෙම වුණා නම් ඒක ඔවුන්ගේ පෞද්ගලික කතන්දරයක් වෙන නිසයි. පියල්, අමන්දා, නදී කියන මේ කේන්ද්‍රීය චරිතයන්හි අතීතය සොයා ගන්නේ ප්‍රේක්ෂකයා විසින්. දැන් පියල් කතා කරනවා දුරකතනයෙන් තාත්තත් එක්ක.

තාත්තත් එක්ක ගොත ගගහා පියල් කියන දේ තමයි ප්‍රේක්ෂකයාට ඇසෙන්නේ. නමුත් තාත්තා එහා පැත්තේ ඉඳන් කියන ඩයලොග්ස් ගොඩක් තියෙනවා. ප්‍රේක්ෂකයා තමන්ට නොඇසෙන ඒ ඩයලොග්ස් ටික ගන්නේ තමන්ගේ අත්දැකීම් එක්කයි. ඒ වගේ මේ හැම චරිතයකම ඉතිහාසය හදන්නේ ප්‍රේක්ෂකයා. ඔහුට තියෙන අත්දැකීම් සහ ඔහු දන්න දේවල් එක්ක මේ චිත්‍රපටයේ තමන්ට අයිති භූමිකාව හදාගන්න මම ප්‍රේක්ෂකයාට ඉඩ සලසා දී තිබෙනවා.

අපේ රටේ පුළුල් විදග්ධ ප්‍රේ්ක්ෂක පිරිසක් නැහැ. වැඩි දෙනෙක් හුරු වෙලා ඉන්නේ සරල, ජනපි‍්‍රය කථන්දර, සිනමාවෙන් රස විඳින්න. මේ තත්ත්වය මත ඔබ ඔය කියන කාරණය සඵල වේවිද?

80 දසකයේ මැද භාගයේ පටන් 2000 වසර පමණ වන තෙක් කාලය තුළ පුරුද්දක් විදිහට සිනමාව හා බද්ධ වුණ ප්‍රේක්ෂක පිරිසක් අපට හිටියේ නැහැ. එහෙම සිනමා සංස්කෘතියක් නැතිව ගිය එකත් එක්ක බහුතර ප්‍රේක්ෂකයන් කතන්දර කලාවට එහා යමක් හොයන්න උනන්දු වුණේ නැහැ. හැබැයි එක දෙයක් මම දැක්කා. ඒ තමයි ජනප්‍රිය රැල්ලේ චිත්‍රපටවලට වගේම උසස් සිනමා කෘතිවලටත් උනන්දුවක් දක්වන පිරිසක් තවම ඉන්න බව.

කොහොමද එහෙම කියන්නේ?

මගේ ‘කර්ම’ චිත්‍රපටය නැරඹූ පිරිස් දුරකතනයෙන් පවා කතා කර තම අදහස් පළ කළා. ඇතැම් විට උසස් පෙළ හදාරණ පාසල් සිසු සිසුවියන් පවා. ඔවුන් මේ චරිත අභ්‍යන්තරය මනා ලෙස වටහා ගෙන තිබුණා. මම චිත්‍රපටයේ ගැඹුරෙන් මතු කළ යථාර්ථය ඔවුන් නිසි ලෙස ග්‍රහණය කරගෙන තිබුණා. අඳුරු ශාලාවක, පුළුල් තිරයක් අභියස, හොඳ ශබ්ද පටයකට සවන් දෙමින් ප්‍රේක්ෂකයා සැදී පැහැදී සිටින්නේ වඩාත් වින්දනීය ඉසව්වකට ආත්මගත වෙන්න.

ඒක ඇතුලේ රූපවාහිනියට වඩා ගනුදෙනුවක් නොකෙරෙනවා නම් අධ්‍යක්ෂවරයා, ප්‍රේක්ෂකයාට කරන අසාධාරණයක්. කතන්දර කලාව රූපවාහිනියට හොඳයි. සිනමාව ඉන් එහා ගිය ගනුදෙනුවක්. සමහර විට දන්න කතන්දරයක් වෙන්න පුළුවන්. නමුත් කොහොමද අධ්‍යක්ෂවරයා මේක ප්‍රසන්ට් කරන්නේ කියන එකයි ඔවුන් බලන්නේ. ඒක ඇතුලේ තිබෙන දේ තමයි ඔවුන් අරගෙන යන්නේ.

මේ චිත්‍රපටය ඔබ පරිච්ඡේද හතරකට බෙදා වෙන් කරනවා. එයින් ප්‍රේක්ෂකයාට නිදහසේ චිත්‍රපටය නැරඹීමේ අවකාශය ඔබ අහුරා තිබෙන බවයි මගේ හැඟීම?

අපේ සමාජයට කතන්දර කලාව හොඳට හුරුයි. ආච්චිගේ, සීයාගේ ඉඳන්අපි කතන්දර කලාවත් එක්ක ඉඳලා තියෙනවා. දැන් තනි කෙනෙක් කතන්දරයක් කිව්වොත් අහලා නිකං ඉන්නවා. නමුත් එකම සිද්ධියක් ගැන කෙනෙක් ඇවිත් කියන දේට වෙනස් විදිහකට වෙන කෙනෙක් කියනවා. තව කෙනෙක් ඊටත් වඩා වෙනස්. ඔහොම තුන් හතර දෙනෙක් එකම සිද්ධිය විවිධාකාරයෙන් කියන කොට අපි අර කියපු ඒවා කිරලා, මැනලා වෙනම විනිශ්චයකට එනවා. ඒ අපේ තියෙන අත්දැකීම් සහ අපේ හෘද සාක්ෂියට අනුව. ඉතින් එවැනි ගනුදෙනුවක් කරන්න තමයි මම මේ උත්සාහ කළේ.

ඇයි ඔබ එහෙම ආස්ථානයකට එන්නේ?

මොකද එක දිගට කතන්දරයක් කිව්වම ප්‍රේක්ෂකයෝ අධ්‍යක්ෂවරයා කියන දේ බලලා නිකං ඉන්නවා. එකම කතන්දරේ විවිධ පැතිකඩ මේක ඇතුලේ තියෙන්නේ. ඉතින් වෙන කල්පනාවකට යන්න ප්‍රේක්ෂකයාට අවකාශ ලැබෙනවා. මේ කතාව හරි සරලයි. ඒ කතන්දරය ඇතුලේ මහා දෙයක් නෑ. හැබැයි ඒක ඇතුලේ අපේ ජීවිතයි, මේ ජීවිතයි ඇතුලේ හිතන්න හදන පරාසය තුළ තමයි මේ සංකීර්ණ බව දැනෙන්නේ. අපට හිතන්න තියෙන කෑල්ල එන්නේ. නැතිනම් වෙන්නේ මම ප්‍රේක්ෂකයා අල්ලාගෙන ‘මගේ කතන්දරේ බලපල්ලා’ කියලා ඔවුන් සිර කර ගත්තා වගේ වැඩක්.

නමුත් ඔබ කියන්නට හදන දේ එකවරම ග්‍රහණය කර ගන්නට ඇතැම් ප්‍රේක්ෂකයකුට නොහැකි වන්නට පුළුවන්?

ඔව්, මේ චිත්‍රපටය කීප වරක් නැරඹූ අය ඉන්නවා. කෙනෙක් මේ චිත්‍රපටය දැනුණේ නැත්නම් දෙපාරක් බලන්නේ නෑ. අතෑරලා දානවා. ඒත් තමන්ට අහුනොවුණ තැන සොයන්න ඔහු තව වරක් උත්සාහ කරනවා. ඉතිං ඒක මම දකින්නේ හොඳ ප්‍රවනතාවක් විදිහට. ඕඩියන්ස් එකත් එක්ක ඒ වගේ ගනුදෙනුවක් කරන්න ලැබීම ලොකු වටිනාකමක්. චිත්‍රපටය බලලා අත හෝදාගෙන ගෙදර එන්නේ නැතිව ප්‍රේක්ෂකයා ඒ කතාව එක්ක ජීවත් වෙනවා.

ප්‍රශ්නවලින් හෙම්බත් වෙලා, මිරිකිලා ඉන්න අයෙක් සිනමාහලකට ගොඩ වදින්නේ ඒ පීඩනයෙන් මිදිලා ටිකක් සතුටු වෙලා එන්න. තවත් ප්‍රශ්නයක් අරගෙන සිනමාහලෙන් පිටමං වෙන එක ප්‍රේක්ෂකයාගේ පැත්තෙන් බැලුවොත් ඔබට හිතෙන්නේ කොහොමද?

මම විශ්වාස කරනවා නිර්මාණාත්මක චිත්‍රපටයක් ඇතුලේ ප්‍රේක්ෂකයා සමඟ ගනුදෙනුවක් තිබිය යුතුයි. ඒ ගනුදෙනුව නැතිනම් සිනමා ශාලාවෙන්ම ඒක නවතිනවා. සමාජයත් එක්ක ගනුදෙනුවක් තිබෙන නිසා තමයි ශාලාවෙන් එලියට මේක එන්නේ. චිත්‍රපටයේ මංගල දර්ශනය නරඹන්න එක් පුද්ගලයෙක් ඇවිත් හිටියා වෙන කාගේදෝ ඉන්විටේෂන් එකකට. චිත්‍රපටය නරඹා ඔහු මා වෙත ඇවිත් ‘ප්‍රසන්න මට මේක හෙඩේක් එකක්’ කියලා කිව්වා. ‘මම මාතර යන්න ආවේ, දැන් මම ඒ ගමන යන්නේ නෑ. ගෙදර ගිහින් නිදා ගන්නවා.

හෙට උදේ ආයෙම එනවා ෆිල්ම් එක බලන්න’ ඔහු වැඩිදුරටත් කිව්වා. සමහර විට පළමුවෙන් ඔහුට එන්න ඇත්තේ ඔහු තුළ තියෙන අර්බුදයක්. හැබැයි පහුවෙනිදා විචාර බුද්ධියෙන් චිත්‍රපටය බලන්න එන්න ඇති ඒ විදිහට. ඒ වගේම ඔබ කිව් විදියට සමහරු එන්නේ සිනමාවෙන් සිහින ලෝකයක් දැකලා යන්න.

සිනමාව ෆැන්ටසියක්?

ඔව්. දැන් බොලිවුඩ් සිනමාව ගත්තොත් තනිකරම ඒ ෆැන්ටසිය තුළ ජීවත් වෙන්නේ මිනිස්සු. නමුත් චිත්‍රපටය නැරඹුවාම එතනින් එහාට ගනුදෙනුවක් නොවෙන්නට පුළුවන්. දැන් සිනමාහල් කලමණාකරුවන් කීප දෙනෙකු මට කියපු දෙයක් තමයි ‘වෙනදා ආපු නැති ඕඩියන්ස් එකක් ‘කර්ම’ චිත්‍රපටය බලන්න එනවයි කියන එක.

එවැනි ඕඩියන්ස් එකක් ඉතිහාසයේ අපට හිටියා. ඉතිං මේක හොඳ ප්‍රවණතාවක්. සමහර විට හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් වගේම අම්මයි දුවයි මේ චිත්‍රපටය නරඹන්න ආ අවස්ථාත් තිබුණා. ‘කර්ම’ වැඩිහිටියන්ට පමණයි චිත්‍රපටයක්. එහෙම චිත්‍රපටයක් බලන්න කවදාකවත් අම්මයි, දුවයි එන්නේ නෑනේ. නමුත් මේ චිත්‍රපටය බලන්න එනවා. ඉතිං මේ ප්‍රවණතාවය තිබෙන්නේ ඔය කියන ගනුදෙනුවත් එක්ක.

චිත්‍රපටයේ අවසන් දර්ශනය ඔබ ඉතා සංවේදීව රූපයට හසුකර ගන්නවා?.

මේ චිත්‍රපටයේ මුල ඉඳන්ම ප්‍රේක්ෂකයා ළං කරලා මේ කියන චරිතත් එක්ක දුක සැප බෙදාගෙන. කඳුළු සලන දෙයක් තිබුණේ නෑ. එන්ඩ් ෆෙ‍්‍ර්ම් එක වෙනකල් ඒක දුරස්ථව වෙනම, මිනිස්සුන්ට මේ විචාර බුද්ධියෙන් බලන්න තමයි තියෙන්නේ. හැබැයි එන්ඩ් ෆ්‍රේම් එකේදි මම ගේනවා ඕඩියන්ස් එක ඉතාම සංවේදී තැනකට. අපි හැමෝම ජීවිතයේ තමන්ට වඩා පෞරුෂයක් ඇති ගැහැනියකගේ තුරුලට හරි කැමතියි. මේ රූපෙත් එක්ක බැඳෙනවා මේ ඕඩියන්ස් එක. ඔය ෆෙ‍්‍ර්ම් එක ගැලෙව්වොත් මේ ෆිල්ම් එකේ ඉතුරු මුකුත් ගනුදෙනු කරන්නේ නෑ. ඔය ෆෙ‍්‍ර්ම් එකෙන් තමයි චිත්‍රපටයේ ආත්මය කියවෙන්නේ .

විශේෂයෙන්ම ආත්ම ප්‍රකාශනවාදී සිනමාවේදී පවතින සාමාජීය, දේශපාලන යථාර්ථය හසුකර නොගන්නා සිනමා කෘති ලෝක සිනමාවෙන් පවා ගැල වී යන යුගයක් මේ. අතිශය සිනමාරූපී චිත්‍රපටයක් ඔබ නිර්මාණය කළත් අපේ සමාජ, දේශපාලන සංකුලතාවන් එයට ආරෝපණය කරගන්නට ඔබ සමත් වී නැතැයි යමෙකු පැවසුවහොත්?

මම දකින දේශපාලනය වෙන තැනක තියෙන්නේ. අපි දේශපාලන සත්වයන් කිව්වට මේ සියලු දේවල් අතිශය පෞද්ගලික කාරණා. මේ පොදු කාරණා නෙවෙයි. පොදු කාරණය තියෙන්නේ ස්වභාව ධර්මය ඇතුලේ. අපිට ගෝචර වෙන වේගයක තමයි අප ජීවත් වෙන්නේ. නියම ටයිම් ලයින් එකක.

මේකට වඩා මේ වේගය වැඩි වුණොත් එහෙම අපේ ජීවිතයට වෙච්ච දෙයක් නැහැ. ඊට වඩා ගොඩක් ස්ලෝ වුණොත් අපට වෙන දෙයකුත් නැහැ. ඊළඟට අපි ගොඩක් ඈතට ගිහින් අපි දිහා බැලුවොත් එහෙම අපි නිකං ක්ෂුද්‍ර ජීවියෙක් වගේ. මේ චූටි ටයිම් ලයින් එකේ, මේ ටයිම් එකෙයි ස්පේස් එකෙයි අතර ලොකු සෙල්ලමක් අපි මේ දාන්නේ. අද සුලි කුණාටුවක් එනවා. හෙට වහිනවා. ඒක ඇතුලේ අපි හදා ගන්න දේශපාලන කාරණා තියෙනවනේ.

සුලි කුණාටුවකයි, දේශපාලනයයි අතර සම්බන්ධයක් නෑනේ?

නෑ, මම කියන්නේ දේශපාලනය ඇතුලේ ඒවා යම් විදිහකට පාලනය වෙනවානේ. මේක ඇතුලේ තියෙන්නේ පෞද්ගලික කාරණා විතරයි.

පොදු කාරණා නැහැ. මම දන්න විදිහට දේශපාලනිකව, ස්වභාව ධර්මයා විසින් මිනිසාට ප්‍රධාන වශයෙන් පවරලා තියෙන්නේ තම වර්ගයා බෝ කිරීම. ගහක් හැදෙන්නේ මල්ඵල හටගෙන, ඒකෙන් තව තවත් ඵල දරන්නයි. මිනිසාත් එහෙමයි. තම වර්ගයා බෝ කරන එක තමයි මනුෂ්‍යයාට තියෙන පළමුවැනි පැෂන් එක. තිං මේ පැෂන් එක ජය ගන්න හදන දේත් එක්ක තමන්ගේ එරියස් එක, එක විදිහට සමාජ, දේශපාලන කාරණා හැටියට මේක ඇතුලේ පැළපදියම් වෙනවා. හැබැයි ස්වභාව ධර්මයට මේ ඔක්කොම නතුයි. දේශපාලනය කියන්නේ පොඩි ඩ්‍රීම් එකක් විතරයි මම දකින්නේ මේක ඇතුලේ. අපි හදාගන්න දේශපාලන මත කලින් කලට වෙනස් වෙනවා. ඒකත් එක්ක ස්වභාව ධර්මයා වෙනස් වෙන්නේ නෑ. ස්වභාව ධර්මය අපට දුන්න පැෂන් එක වෙනස් වෙන්නෙත් නෑ.

එතකොට ඉදිරියේදීත් ඔබේ සිනමා භාවිතය තුළ සාමාජීය හා දේශපාලනික කාරණා මතු කරමින් යම් ජීවිත විවරනයක යෙදෙන්නට ඔබ සූදානම් නැහැ?

සමාජයේ පවතින දේශපාලන කාරණා ‘කර්ම’ චිත්‍රපටයේ තියෙනවා. හැබැයි මම කියන්නේ මූලික අර්ථය ගත්තොත් එහෙම චිත්‍රපටයේ සමහර ඒවා ඕඩියන්ස් එකට අදාල නැති වෙන්නත් පුළුවන්. හැබැයි කවදා හෝ ඒකේ වටිනාකමක් තියෙයි. දැන් මම කියන කාරණය ලිහාගෙන ගියොත් මේ චිත්‍රපටය ඇතුලේ සමස්ථය ගත්තොත් සමාජ දේශපාලන කාරණාවන්හි වින්දනීය දේවල් මෙහි තිබෙනවා. ‘සංඛාරා’ එකෙත් තිබුණා. නැත්තේ නෑ. හැබැයි මම අලුතින් කරන්න යන චිත්‍රපටයේ මේ කියන ලක්ෂණ මීට වඩා හොඳින් තියෙනවා. ඒ කියන්නේ දේශපාලන රාමුව පැහැදිලිව දකින්නට ලැබෙනවා. ඊළඟට වින්දනීය ලේයර් එකක් වෙනම පේන්න තියෙනවා. එතනින් එහාට ගිය අධ්‍යාත්මික වපසරියකුත් ඒකේ ඇතුලේ තියෙනවා.

ඒ අලුත් චිත්‍රපටය දැන් තියෙන්නේ කුමන අදියරකද?

දැන් පිටපත ලියා අවසන්. ඇත්තෙන්ම රූ ගැන්වීම් යොදාගෙන තිබුණත් අයහපත් කලාගුණය නිසා ඒවා කල් දමන්නට සිදු වුණා. ළඟදීම එහි වැඩ කටයුතු ආරම්භ කරනවා.

සංවාදය – අසංක දේවමිත්‍ර පෙරේරා

c-sarasaviya

Share

69 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.