KGF Chapter 02 අවසන් වෙයි, Bagheera ඇරඹෙයි

Avatar Kavinu Weerakkody | May 28, 2022 103 Views 0 Likes 0 Ratings

103 Views 0 Ratings Rate it

ඉන්දියාව තුළ විසිරී තිබෙන ප්‍රාන්තීය සිනමා අතුරින් පසුගිය කාල වකවානුව පුරාම කන්නඩා සිනමාවට හිමි වූයේ එතරම් ප්‍රබල ස්ථානයක් නම් නොවෙයි. කර්ණාටක ප්‍රාන්තයෙන් බිහි වූ කන්නඩ සිනමාවට ඇලුම් කරන සැලකිය යුතු රසික පිරිසකුත් එම ප්‍රාන්තයෙන් පිටත කලාපවල දැකගන්නට හැකියාවක් ලැබෙන්නේ ද නැහැ. ඉන්දීය චිත්‍රපටවලට ස්ථාවර වෙළදපොළක් තිබෙන මැදපෙරදිග සහ උතුරු ඇමරිකානු ප්‍රදේශ තුළත් කන්නඩ චිත්‍රපට සඳහා හොඳ මට්ටමේ ඩයස්පෝරාවක් සිටින්නේ ද නැහැ.

මෙවැනි සාධක මුල් කරගනිමින් කන්නඩ චිත්‍රපට කර්මාන්තයේ වෙළදපොළ වර්ධනය සිදු වූයේ දමිළ, තෙළිඟු, මලයාලම් වැනි ප්‍රාන්තීය සිනමාවන්වට සාපේක්ෂව ඉතාම සුලු ප්‍රතිශතයකිනුයි. නමුත් මේ සියල්ලම කණපිට හරවමින්, එතෙක් කිසිවෙකුගේ අවධානයට ලක් නොවූ කර්ණාටක සිනමාව එක් රැයකින් මුලු ඉන්දියාවේම කතාබහට ගොනු කරගන්නට 2018දී එක් කන්නඩ සිනමාපටයකට හැකියාව ලැබුනා.
ඒ Prashanth Neel විසින් අධ්‍යක්ෂණය කළ KGF: Chapter 01 චිත්‍රපටයයි.

එහි සාර්ථකත්වය නිසාම චිත්‍රපට මාලාවක් වශයෙන් එය දිගු කරන්නටත්, එහි පළමු සීක්වල් නිර්මාණය මෙම වසරේ මුල් භාගයේදී සිනමාශාලා ප්‍රදර්ශනයට මුදා හරින්නටත් නිෂ්පාදකවරුන් පියවර ගත්තා. ඒ KGF: Chapter 02 යනුවෙනුයි. කිසිවෙකුත් නොසිතූ පරිදි ඉන්දියාවේ ප්‍රාන්ත රාශියක ආදායම් වාර්තා බිඳ හෙළමින් තිරගත වූ ඒ KGF: Chapter 02 සිනමා නිර්මාණය සිය ප්‍රදර්ශනය අවසාන වනවිට කෝටි 1200කට අධික අතිශය-ඉහළ ආදායමකට හිමිකම් කීමට සමත් වූයේ එදා මෙදාතුර ඉන්දීය චිත්‍රපටයක් ලබාගත් තෙවනියට වැඩිම ආදායම සනිටුහන් කරමින්…

ඒ ආකාරයට, වසරේ දැවැන්තම ඉන්දීය චිත්‍රපටය ලෙසින් සාර්ථකව තිරගතවීම නිමා කළ KGF: Chapter 02ට පසු සිය නවතම සිනමාපටයේ නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමට Hombale Films මූලිකත්වය ගෙන ඇතැයි පැවසෙනවා. Hombale Films යනු KGF චිත්‍රපට ද්විත්වය නිෂ්පාදනය කළ චිත්‍රපට නිෂ්පාදන ආයතනයයි. කර්ණාටක ප්‍රාන්තය මුල් කරගනිමින් පිහිටුවා තිබෙන මෙම සිනමා සමාගම KGF චිත්‍රපට මාලාවට අමතරව 2014 වසරේ සිට Raajakumara, Yuvarathna, Ninnindale, Masterpiece වැනි ජනප්‍රිය ප්‍රාන්ත සිනමාපට ගණනාවකට නිෂ්පාදනයෙන් එක්ව තිබෙනවා. එමෙන්ම ඒ සියල්ලම මෑතකාලීන කන්නඩ සිනමාවේ වාණිජමය වශයෙන් සාර්ථක වූ නිර්මාණ ද වනවා.

Hombale Films හි නවවන නිෂ්පාදනය වන මේ නවතම චිත්‍රපටය නම් කර තිබෙන්නේ Bhageera ලෙසයි. Action Thriller කාණ්ඩයේ නිර්මාණයක් වන මෙය කර්ණාටක ප්‍රාන්තයේ සෙසු ක්‍රියාදාම චිත්‍රපටවලට සාපේක්ෂව වැඩි පිරිවැයක් දරා නිර්මාණය කෙරෙන්නක් බවත් අන්තර්ජාලයේ සඳහන්! KGF චිත්‍රපට ද්විත්වයෙන් පසුව මුලු ඉන්දියාවේම අවධානය Hombale Films වෙත ලැබුනු නිසාවෙන්, Bhageera චිත්‍රපටයට උසස්ම ගුණාත්මකබාවයක් ලබා දීම ඔවුන්ගේ අරමුණ වී ඇති බවයි හැඟවෙන්නේ. KGF: Chapter 02 හි production quality ගැන බෙහෙවින් සතුටුදායක ප්‍රතිචාර ලැබූ නිසා වැඩි පිරිවැයක් දරමින් හෝ එම ප්‍රසාදය තමන්ගේ ඉදිරි චිත්‍රපට තුළත් රඳවා ගන්නට Hombale Films උත්සාහ ගන්නවා විය හැකියි.

කර්ණාටක ප්‍රාන්තයේ ප්‍රවීණ තාක්ෂණික ශිල්පින් රැසකගේ එකතුවෙන් නිර්මාණය වීමට නියමිත මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ Dr. Suri විසිනුයි. වාණිජ චිත්‍රපට අධ්‍යක්ෂණයට ඔහු සතු හැකියාව නිසාම Bhageera ගැනත් කන්නඩ ප්‍රේක්ෂකාගාරය බොහොම උනන්දුවෙන් පසුවනවා.
ඒ වගේම මෙහි ප්‍රධාන චරිතය නිරූපණය සඳහා තෝරාගෙන තිබෙන්නේ කන්නඩ නලු Srii Murali වීම ඒ උනන්දුව තවත් වැඩි කරන්නට සමත් වී හමාරයි. මේ කාණ්ඩයේ ක්‍රියාදාම චිත්‍රපට සඳහා කන්නඩයේ සිටින ජනප්‍රියම නලුවෙකු වන Srii Murali 2003 සිට මේ දක්වාම කර්ණාටක ප්‍රාන්තය තුළ හොඳින් ස්ථාවර වී, දැවැන්ත ප්‍රේක්ෂකාගාරයක් ගොඩ නඟා ගත් රංගන ශිල්පියෙක්.

2003දී Chandra Chakori හරහා සිනමාවට පිවිසි ඔහු ඉන්පසුව Kanti, Mufti, Bharaate, Sri Harikathe වැනි notable ව්‍යාපෘති ගණනාවකට රංගනයෙන් සම්බන්ධ වූවා. නමුත් ඒ සියල්ලටම වඩා ස්‍රී මුරලිගේ ජනප්‍රියම නිර්මාණය ලෙස සැලකෙන්නේ KGF අධ්‍යක්ෂක ප්‍රශාන්ත් නීල්ගේ සුසංයෝගයෙන් බිහිවූ Ugramm (2014) යි. ප්‍රශාන්ත්ගේ පළමු අධ්‍යක්ෂණය වූ එය එකල කන්නඩ සිනමාවේ මඟ වෙනස් කළ නිර්මාණය වූවා වගේම; ස්‍රී මුරලි වටා ඔහුටම අනන්‍ය වූ රසිකයින් පිරිසක් ගොඩ නැඟෙන්නටත් ප්‍රධානම සාධකයක් වුනා. අදටත් ඔහුගේ නම කියූ පමණින් බොහෝ දෙනෙකුගේ මතකයට නැඟෙන්නේ Ugramm කන්නඩ චිත්‍රපටයයි.

තවත් විශේෂත්වයක් වන්නේ Bagheera හි කතාව රචනා කර තිබෙන්නේ ද Prashanath Neel විසින්මයි. මෙය ඔහු සහ ස්‍රී මුරලි චිත්‍රපටයක් වෙනුවෙන් එක්වන දෙවන අවස්ථාව වන අතර පළමු නිර්මාණය වූ Ugramm මෙන්ම මෙහි කතා තේමාව ත් බොහොම unique වීමට තිබෙන හැකියාව වැඩියි. ප්‍රශ්නාත් මෙතෙක් රචනා කළ සෑම චිත්‍රපටයකින් ඒ බව නැවත නැවතත් සනාථ වී තිබෙන නිසා කන්නඩ ප්‍රේක්ෂකාගාරයේ සම්පූර්ණ අවධානය Bagheera වෙත යොමුව තිබීම පුදුමයට කාරණාවක් නොවෙයි!

Bagheera අධ්‍යක්ෂක Dr. Suriගේ පෙර චිත්‍රපට සියල්ලම පාහේ දකුණු ඉන්දීය රසිකයින් ධනාත්මකව බාර ගත්තද මෙය ඔහුගේ පෙර නිර්මාණවලට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් බවකුයි පෙනෙන්නට තිබෙන්නේ. Lucky (2012) තුළින් අධ්‍යක්ෂක භූමිකාව ආරම්භ කළ සූරි Maanja, Kawatle Satisha  වැනි ෆැමිලි එන්ටටේනින් නිර්මාණය කරමින් ක්ෂේත්‍රය තුළ සක්‍රීය අධ්‍යක්ෂකවරයෙකු වශයෙන් කටයුතු කළා. Bagheera හැඳින්වෙන්නේ ඔහුගේ සිනමා ජීවිතයේ වැඩිම නිෂ්පාදන පිරිවැය සහිත චිත්‍රපටය ලෙසයි.

නිෂ්පාදකවරුන් චිත්‍රපටයේ පළමු පූර්ව ප්‍රචාරක පෝස්ටරය මාධ්‍යයට අණාවරණය කර තිබෙන අතර එයින් හැඟෙන පරිදි ස්‍රී මුරලි නිරූපණය කරන්නේ පොලිස් නිලධාරියෙකුගේ චරිතයක් විය හැකියි. Bagheera චිත්‍රපටය තුළ KGF – ප්‍රධාන චරිතය රඟපෑ Yashගේ කැමියෝ දර්ශනයක් ඇතුළත් වේ යැයි ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබෙන නමුත් ඒ ගැන කිසිවක් තහවුරු වී නැහැ. එවැනි කැමියෝ දර්ශනයක් තිබුණත්, චිත්‍රපටයේ නිෂ්පාදකයින් අවසන් මොහොත දක්වාම එය රහසක්ව තබා ගැනීමට උත්සාහ දරනවා මිස ඒ ගැන තොරතුරු පිටතට ලබා දීම සිදු නොවන්නක්.

පසුගිය මැයි 20 වනදා මුහුරත් උළෙල පැවැත්වූ Bagheera හි නිෂ්පාදන කටයුතු මේ වනවිට ආරම්භ වී තිබෙන අතර කර්ණාටක සහ හයිද්‍රාබාද් ප්‍රදේශය තුළ ඊළඟ දර්ශන කොටස රූගත කිරීමට නියමිතයි. චිත්‍රපටයේ වැදගත් දර්ශන කිහිපයක්ම මයිසූර් සහ බැංගලූර් කලාප ආශ්‍රිතව රූගත කිරීමටත් ඔවුන් සැලසුම් කරන බවයි කන්නඩයේ සිනමා පුවත්පත් වාර්තා කරන්නේ. චිත්‍රපටයට සම්බන්ධ වන සෙසු නලු නිලියන් ගැන විස්තර හමු නොවුනත් සංගීත අධ්‍යක්ෂකවරයා වශයෙන් සම්බන්ධ වන්නේ Janeesh Loknath බව ඇතැමුන් පවසනවා.
එළඹෙන 2023 වසරේදී Bagheera තිරගත වීමට නියමිතයි.

KGF ජනප්‍රියත්වය නිසා කර්ණාටක ප්‍රාන්තීය නිෂ්පාදන ආයතනයක් වූ Hombale Films වර්තමාන ඉන්දියාවේම අවධානය දිනා ගෙන තිබෙන පසුබිමක Bagheeraට අමතරව ඔවුන්ගේ සෙසු upcoming projects ගැනත් සිනමා රසිකයින් උනන්දුවෙන් පසුවනවා. KGF චිත්‍රපට ද්විත්වයට පසු ප්‍රශ්නාත් නීල් අධ්‍යක්ෂණය කරන, Prabhas රඟන Salaar චිත්‍රපටයේ රූගත කිරීම් 30%ක් පමණ අවසන් බවට පසුගියදා දැනුම් දුන් අතර Yuva Rajkumar රඟන නිර්මාණයක් ගැනත් මාධ්‍යයට අණාවරණය කළා. එමෙන්ම දමිළ නලු Suriyaගේ Soorarai Pottru අධ්‍යක්ෂණය කළ Sudha Kongara සමඟ සිදු කරන්නට යන නවතම නිර්මාණයක් ගැනත් Hombale Films ආයතනයෙන් නිල නිවේදනයක් නිකුත් කර තිබෙනවා….

Share

103 Views 0 Ratings Rate it

Written by Kavinu Weerakkody


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.