මොරිස් දහනායක මහතා අභාවප‍්‍රාප්ත වේ

Avatar Cinema.lk A | July 27, 2013 15 Views 0 Likes 0 Ratings

15 Views 0 Ratings Rate it

ප‍්‍රවීන කලාකරු මොරිස් දහනායක මහතා අභාවප‍්‍රාප්ත වීය. රෝගාතුරව පසු වූ ඔහු පසුගිය කාලයේ රෝහල්ගතව ප‍්‍රතිකාර ලැබී ය. 1960 දශ‍කයේ ශ්‍රි ලංකාවේ ජනප්‍රිය ගායකයින් කිහිප දෙනාගෙන් මොරිස් දහනායක ගායකයාණන්ටද ගී ලොව රසික රසිකාවියන් අතරේ විශේෂ ස්ථානයක් හිමි විය. එදා ඔහු ගැයූ ‘සුදෝ පොඩ්ඩක් හඬන්න’ ගීතය ගුවන් විදුලිය ඔස්සේ දිනපතා විකාශය වූයේ ඒ තරමට එම ගීතය ජනප්‍රිය වූ බැවින් ය. ඒ වගේම ඔබ එන්න, රුවන් අම්බර, රස මිහිරි කතා, දුකෙන් තනිවම, ඔන්න  ඕලූ මලක්, මෙත්මල් පිබිදේවා’ වැනි තවත් ජනප්‍රිය ගීත දහසකට වඩා ඔහු ගායනා කර තිබිණ. චිත්‍රපට රැසකට රංගනයෙන්, ගායනයෙන් මෙන්ම සම නිෂ්පාදනයෙන් දායක වූ මොරිස් 2006 දී කලා භූෂණ සම්මානයෙන් සහ කොරියන් රටෙන් පිරිනැමූ සාම තානාපති සම්මානයෙන් ද පිදුම් ලැබූවෙකි.

පළමුව මියුසියස් විද්‍යාලයෙන්ද ඊට පසු කොළඹ ආනන්ද, බැද්දේගම ක්‍රියිස්ට් චර්ච්, යාපනයේ ශාන්ත ප්‍රැටි‍්‍රක්, ගාල්ලේ ශාන්ත ඇලෝසියස්, කොළඹ ඇලෙක්සැන්ඩ්‍රා සහ කොළඹ වෙස්ලි විද්‍යාලවලින් අධ්‍යාපනය ලැබු ඔහු හරුන් ලන්ත්‍රා, ආර්. ශිවනන්දන්, ඇන්ටන් ජෝන්ස් ආදීන්ගේ සමකාලීනයෙක් වීය. ගුවන් විදුලි ගායන පරීක්ෂණයෙන් ‘ඒ’ ශ්‍රේණියේ ගායකයකු ලෙස තේරී ඇති මොරිස් දහනායක කාලයක් ශ්‍රි ලංකා රක්ෂණ සංස්ථාවේ ක්‍රියාකාරි අධ්‍යක්ෂවරයෙක් වශයෙන්ද සේවය කළේය.

පාරාවළලු චිත්‍රපටයේ පොලිස් පරීක්ෂකවරයෙක්ගේ චරිතයක් නිරූපණය කරමින් සිනමාවට පිවිසි ඔහු ‘උන්නත් දාහයි මලත් දාහයි, ලස්සන කෙල්ල, ප්‍රවේසම්වන්න, ඔන්න මාමෙ කෙල්ල පැනපි, ඔන්න බබෝ බිල්ලෝ එනවා, ජීවන ගීතය, ආදරේ හිතෙනව දැක්කම, හිතුවක්කාරයෝ, හොඳම වෙලාව, රහසක් නැති රහසක්, ඉන්ස්පෙක්ටර් ගීතා, නැව ගිලුණත් බෑංචූං, අම්මයි දූලා දෙන්නයි’ ඇතුලු චිත්‍රපට 20 කට වැඩිය රඟපා ජනාදරයට පාත්‍ර විය.

මොරිස් දහනායක ඉතා සාර්ථක යුග ජීවිතයක් ගත කළ කලාකරුවෙකි. ඔහු සිය බිරිඳ වන මානෙල් දහනායක මහත්මියට සහ පුතුන් දෙදෙනා වූ චන්න අනුර සහ සංජීව වත්තල දහනායක යන දෙදෙනාට අසීමිත ලෙස ආදරය කළේය. දරුවන්ගේ හෝ බිරිඳගේ සිත රිදෙන ලෙස නොහැසිරීමට මොරිස් දහනායක කලාකරුවා නිරතුරුව වගබලා ගත්තේය.

2011 වසරේ දැඩි ශිතලක් ශ්‍රි ලංකාවේ සමහර ප්‍රදේශ පුරා පැතිරී ගියේය. එම ශීත තත්ත්වය මොරිස් දහනායක රෝගියෙක් බවට පත් ක‍රමින් ඔහු හදිසියේ නිවස තුළ ඇද වැටුණේය. රෝහල්ගත කොට ස්වල්ප කාලයක් ප්‍රතිකාර ලබා දී යළි නිවසට රැගෙන ආවද ඉන් අනතරුව ඔහු විටින්විට රෝගී තත්ත්වයට ලක් විය. විශේෂයෙන් ගලනාලය ආශ්‍රිත රෝගී තත්ත්වයකින් මොරිස් දහනායක පීඩා වින්දේය. මීට සති කිහිපයකට පෙර ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කරන ලද මොරිස් දහනායක කලාකරුවාට අවශ්‍ය ප්‍රතිකාර නිසි පරිදි ලබා දී ඔහු සුවපත් කරන්නට වෛද්‍යවරුන් සහ හෙදියන් බොහෝ අවධානයෙන් කටයුතු කළහ. මීට සතියකට පමණ පෙර රෝගී තත්ත්වය උත්සන්න වීමෙන් මොරිස් දහනායක කලාකරුවා රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළ අතර 23 වැනිදා රාත්‍රි 11 ට පමණ ගායකයාණන්ගේ හඬ සදහටම ශ්‍රි ලාංකික කලා රසික රසිකාවියන්ගෙන් සමු ගත්තේය.

ශ්‍රි ජයවර්ධනපුර රෝහලේ තිබෙන එම කලාකරුවාගේ දේහය 27 වැනිදා අලුයම් කාලයේ නාවින්න, විජයාරාම පටුමග, දේවානන්ද පාර, අංක 09, ‘වයිට් හවුස්’ දරන ඔහුගේ නිවසට රැගෙන ඒමට නියමිතය. අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ලැබේ.

lakbima

Share

15 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.