Sri Lanka's Best Cinema Portal

 

Naina Mathur සහ Brad Cohen – සමාජ පන්ති දෙකක ගොඩනැගෙන එකසමාන අධ්‍යාත්මයන්

0
Posted April 20, 2018 by Nisanka Weheraduwa in Cinema Reviews
mthur

මිනිසුන් විවිධාකාරය. ලෝකය නිර්මාණය වීමේ තැන් පටන් මිනිස් වර්ගයා තුළ එකිනෙකට වෙනස් ලක්ෂණයන් පැවතුනු බවට සාක්ෂි තිබෙනවා. “මිනිසකු” ලෙස ඉපදෙන නමුත් විවිධ ආකාරයේ විෂම ලක්ෂණ සහිත වන පුද්ගලයින් “අස්වාභාවික” හෝ “අසාමාන්‍ය”  ලෙස වෙනම කුලකයකට දැමීමට ප්‍රජාව හුරුවී තිබෙනවා. එහි ආරම්භය කවදා කෙසේ සිදු වුවත් මේ වනවිට සමස්ථ සමාජයේම මේ තත්වය මුල්බැස අවසන්. අඩුවැඩි වශයෙන් සෑම තරාතිරමකම පුද්ගලයින් අතර මේ අදහස් පවතින නිසාම විවිධත්වය අනුමත කිරීමට නොහැකි වීම තුළ විවිධත්වයෙන් යුතු පුද්ගලයා අසරණ වන අවස්ථා බොහොමයි. එවන් පුද්ගලයින් ආබාධිතයින් හෝ වෙනත් එවැනි වචනයකින් හඳුන්වමින් අසාමාන්‍ය පුද්ගලයින් ලෙස වෙන් කිරීමට කටයුතු කිරීමේ ඛේදජනක තත්වයන් පිළිබඳව කියැවෙන කතා ඇසුරින් නිර්මාණය වුනු සිනමාපට බොහොමයක් ලෝක සිනමාව තුළ දක්නට ලැබෙනවා. ඉන් වැඩි ප්‍රමාණයක් සත්‍ය සිදුවීම් ඇසුරේ නිර්මාණය වූ සිනමාපට වීමත් විශේෂත්වයක්.

2008 වර්ෂයේ ඇමරිකාවේ නිර්මාණය වන Front of the class චිත්‍රපටය එවැන්නක්. Brad Cohen විසින් රචනා කළ එම නමින්ම යුතු නවකතාවක් ඇසුරින් මේ චිත්‍රපටය නිර්මාණය කෙරුනා. Peter Werner අධ්‍යක්ෂණය කළ චිත්‍රපටයට තිර රචනය සිදුකලේ Andrew Gottieb විසින්. එවකට නවක නළුවකු වූ James Wolk මෙහි ප්‍රධාන චරිතය රඟපාමින් විශිෂ්ට රංගනයක නිරත වුනා. Brad මේ කෘතිය රචනා කලේ තමන්ගේ ජිවන අත්දැකීම් ඇසුරින්. පොදු සමාජය අසාමාන්‍ය ලෙස සලකන තත්වයක් සහිතව උපත ලැබූ ඔහුට ජීවිතය ජයගෙන සිය අරමුණ කරා යාමට දැඩි අරගලයක නිරත වීමට සිදුවන්නේ මේ තත්වය හේතුවෙන්. Tourette Syndrome නම් තත්ව්‍යා ඔහුට ලැබෙන්නේ උපතින්. අවිඥාණිකව සම විටකම මතු කරන ශබ්දයක් සහ විවිධ චලනයන් සිදු කිරීම මේ තත්වයේ ලක්ෂණ වනවා. නමුත් අන් සියලු කාරනා අතින් ඔහු අතිශය සාමාන්‍යයි. ඒ වගේම ඔහු ඉතා දක්ෂ පුද්ගලයෙක්. නමුත් ඔහුගේ දක්ෂතා සහ හැකියාවන් අභිබවා මතුව එන්නේ ඔහුගේ එකී දුර්වලතාව නිසාම ඔහුට බොහෝ අවස්ථාවන් මගහැරෙනවා. Front of the class චිත්‍රපටය හරහා මේ සිදුවීම් සමගින් Brad සිය අරමුණු ඉටු කරගන්නා අයුරු අපුරුවට සිනමාරූපීයව ගෙන එනවා. වසර 8ක් පැරණි මේ චිත්‍රපටය පිලිබඳ නැවත අවධානය යොමු වන්නේ එම මාතෘකාවම පාදක කරගනිමින් නිර්මාණය වන බොලිවුඩ් චිත්‍රපටයක් ආදායම් වාර්තා පිහිටුවමින් තිරගත වීමත් සමගයි. ඒ, මේ දිනවල තිරගත වන Hichki ඉන්දීය චිත්‍රපටයයි.  ඒ හරහා කතාබහට ලක්වන්නෙත් Tourette syndrome තත්වයට මුහුණදුන් තරුණියකගේ ජිවන ගමන පිළිබඳව වීම විශේෂත්වයක්. හොලිවුඩ් චිත්‍රපටයට පාදක වුනු සිද්දිය සහ අදාළ කතා තේමාවම Adaptation ලෙස නිර්මාණය කෙරුණත් මේ චිත්‍රපටය අපුරුවට ඉන්දීය හෙවත් පෙරදිග සස්කෘතිය සහ අ තත්වයන් සමග ගලපා තිබීම සුවිශේෂියි.

හොලිවුඩ් චිත්‍රපටයේදී අපට හමුවන්නේ Brad Cohen වන නමුත් බොලිවුඩ් චිත්‍රපටයේ අපට හමුවන්නේ Naina Mathur නම් තරුණියක්. ගැහැනියක් වීම සහ පෙරදිග රටක සංස්කෘතික ගැහැනියක් වීම නිසාම Brad මුහුණ නොදුන් අභියෝග රැසකට Naina මුහුණපාන බව චිත්‍රපටය ආරම්භයේම විවිධ දර්ශන හරහා ඉඟි ලබා දෙනවා. නමුත් Brad මෙන්ම Nainath මුහුණ දෙන්නේ එකම ශාරීරික තත්වයන්ට. සමාන තත්වයන්ට මුහුණ දෙන ඔවුන් දෙදෙනා ජිවත් වන වටපිටාවන් වෙනස් නිසාම අත්දැකීම් සියල්ලත් එකිනෙකට වෙනස් වනවා. නමුත් මේ දෙදෙනාටම සමාන කාරනා කිහිපයකුත් චිත්‍රපට දෙකේම හඳුනා ගැනීමට හැකියි. Brad මෙන්ම Nainaටද අපූරු මව්වරුන් සිටීම විශේෂත්වයක්. සමස්ථ සමාජයම අසාමාන්‍යයි සලකන තම දරුවා අතිශය සාමාන්‍ය බවට විශ්වාස කරන ඔවුන්ගේ සම අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරන ඒ මව්වරුන් දෙදෙනා නොවන්නට මේ දෙදෙනාටම ජීවිතය ජය ගැනීම එතරම් පහසු නොවන්නට බොහෝ සෙයින් ඉඩ තිබෙනවා. එමෙන්ම පොදු සමාජය විශ්වාස කරන දරුවා විශ්වාස නොකරන පියවරුන් දෙපළක් මේ දෙදෙනාටම සිටිනවා. අවසානයේ ඒ මවුවරුන්ට ඔවුන්ගේ සැමියන්ගෙන් වෙන්ව ජිවත් වන්නට සිදු වන්නේත් තම දරුවාගේ තත්වය පිලිබඳ විශ්වාස කිරීම හේතුවෙන්. කවර තත්වයක් යටතේ වුවත් කොන්දේසි විරහිතව ආදරය බෙදා ගන්නා සහෝදරයින් දෙදෙනෙක් මේ දෙදෙනාටම සිටිනවා. මේ වටපිටාව නිසාම ඔවුන්ගේ ගමනට පහසුවක් වී තිබීම විශේෂයි. නමුත් Brad සහ Naina වෙනස් වන්නේ ඔවුන් ගැටෙන සමාජ පනතින්හි වෙනස නිසාමයි.

බටහිර පිලිබඳ පොදු විශ්වාසය නම් ඔවුන් විවෘත සහ දියුණු ජාතින්ය යන්නයි. නමුත් මේ චිත්‍රපටය හරහා ඒ අදහසට යම් අභියෝගයක් එක කරන බව පැහැදිලියි. Brad පාසල් අවදියේ පටන් මුහුණ පාන අභියෝග ඊට කදිම සාක්ෂි වනවා. Nainaa මේ සමකාලින් අත්දැකීම් සියල්ලට එලෙසින්ම මුහුණ පානවා. මේ දෙදෙනාටම හමුවන ඉතා බුද්ධිමත් විදුහල්පතිවරුන් දෙදෙනෙක් හේතුවෙන් ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු ඉතා සාර්ථක අයුරින් අවසන් කිරීමට ඔවුනට අවස්ථාව ලැබෙනවා. නමුත් ගුරුවරයකු වීමේ අරගලය මේ දෙදෙනාම එකම අයුරින් මුහුණ දුන්නත් ඔවුන් දෙදෙනාට ලැබෙන පාසල් සහ එහි අධ්‍යාපනය ලබන දරුවන්ගේ තත්වය එකිනෙකට වෙනස් වනවා. අවසානයේ ගුරු වෘත්තියට පිවිසෙන Brad ඔහුට ලැබෙන කුඩා දරුවන්ගේ පන්තිය මනා ලෙස හසුරුවන අයුරු පෙන්වනවා. නමුත් HIchki හරහා අපට දක්නට ලැබෙන පාසල ඊට හාත්පසින්ම වෙනස්. Nainaa ගුරුවරියක ලෙස සේවයට එක් වන්නේ ඇය උගත් පාසලටමයි. නමුත් එදා නොතිබූ 9F පන්තියක් එහිදී ඇයට හමු වනවා. මේ පන්තියේ සිටින සිසුන් Bradගේ සිසුන්ට වඩා හාත්පසින්ම වෙනස්. කිසියම් දේශපාලනික තින්දුවක අතුරු පලයක් ලෙසට අසල “මුඩුක්කු” ලෙස වර්ගීකරණය කළ පහල සමාජ මට්ටමක සිසුන් 14ක් සහිත 9F පන්තිය ඇගේ පන්තිය ලෙස නම් කෙරෙනවා. Bradගේ පාසලේ Mr.Wadiya තරම් අසුභවාදී ගුරුවරයකු සිටියේත් නැහැ. Nainaගේ පන්තියේ සිසුන්ට ඉගෙනීම පිලිබඳ අදහසක් හෝ අවශ්‍යතාවක් තිබුනෙත් නැහැ. ඉන්දීය ජන සමාජයේ එක පැතිකඩක් සහ ඒ සඳහා තම දායකත්වය දැක්වීමේ නොතිත් ආශාවෙන් පෙලෙන මධ්‍යම පාන්තික තරුණියක් සමගින් චිත්‍රපටයට තවත් අපූරු දිශානතියක් එක් කිරීමට රචකයා සමත් වනවා. Tourette syndrome සහිත Nainaa එතෙක් සාමාන්‍ය යයි සලකන ගුරුවරයකුට කිසිසේත් කළ නොහැකි වූ අපූරු විස්කමක් කිරීමට සමත් වනවා. එහි අවසානයේ තමා පරාජිතයකු බව පිළිගැනීමට Mr.Wadiyaට සිදු වනවා. මේ කතා සංකලනය Hichki හරහා අපූරු සංවාදයකට මග පාදනවා. Nainaa විශ්වාස කරන ඇගේ මතවාදය හරහා සමස්ථ ගුරු පරපුරට නැවත සිතා බැලීමට යමක් ඉතිරි කරන්නට නිර්මාණකරුවා සමත් වනවා. ඇය වරක් පවසන්නේ “You know Mr.Wadiya, There are no bad students, only bad teachers” යනුවෙන්. මේ අදහස පමණක්ම Naina සහ ඇගේ සිසුන් හරහා සමාජගත කරන්නට උත්සාහ කරන සංවාදයට ප්‍රවේශයක් සැපයීමට සමත් වනවා.

සටහන : නිසංක වෙහෙරදුව

Share

About the Author

Nisanka Weheraduwa


 
Popular
 
  • 11054457_1409705939357865_5822327755300679673_n
  • 10350634_880714251944840_8448217158647864537_n
  • spring depart
  • 598556_431654790279257_1742531492_n [1024x768]
  • madras-cafe-4a
  • aba and coba
  • 174_2
  • mahin2