Sri Lanka's Best Cinema Portal

 


සිනමාවට පෙම් බැඳී වෙදැදුරාණෝ

0
Posted June 20, 2013 by Cinema.lk A in Articles
5767_393029770817684_1137492064_n

පවිත්‍ර කරදිය මිශ්‍ර සුළඟින් නිරතුරු සිහිල් පහස විඳින මාතර නගර මධ්‍යයේ බ්‍රෝඩ්වේ සිනමා ශාලාවේ ඉදිරිතම අසුනක, ඉදිරි කොනට බර දී මනුෂ්‍යත්වය චිත්‍රපටයේ රූප පෙළහර දෙස දෑස යොමන තරුණයෙකි. චිත්‍රපට කවදත් ප්‍රිය කළ මේ සොඳුරු නිර්මාණශීලී තරුණයා චිත්‍රපටවල ගීත කට පාඩමින් ගයමින් රූප දෙස බලා උන්නේ දැඩි උන්දුවකිනි.

සිනමාපටය නිමා වූ විගස ඒ චිත්‍රපටය පිළිබඳ විස්තරය කුඩා කොළ කැබැල්ලක ලියා ගත් මේ චරිතය බ්‍රෝඩ්වේ සිනමා ශාලාවේ නිතර ගැවසෙන සිනමාශාලා වැසියකු බවට පත් වූයේ කාලයේ ඇවෑමෙනි.

නිරතුරුවම චිත්‍රපටයට ප්‍රිය කළ හෙතෙම සිංහල, ඉංග්‍රීසි දමිළ, හින්දි මෙන්ම වෙනත් විදේශීය චිත්‍රපට සඳහා ද දැක්වූයේ දැඩි උනන්දුවකි. කුඩා කල සිටම වැඩී පෝෂණය වූ කලා ප්‍රේමිත්වයත්, මාතර ශාන්ත තෝමස් සහ මහින්ද විද්‍යාලයෙන් ලැබූ කලා ආභාසයත් හේතුවෙන් පෙර කී තරුණයා කලාව පිළිබඳ දත් මහ රුකක්ව වැඩුණේය.

පාසල් කාලයේ වේදිකා නාට්‍ය කිහිපයක්ම නිර්මාණය කළ හෙතෙම දෙස් විදෙස් කලාව පිළිබඳ පොත පත පරිශීලනය තමාගේ ජීවිතයේ ප්‍රමුඛ විනෝදාංශයක් කොට ගත්තේය.

මේ සියලු කටයුතු අතර අපේ කතාවේ නායකයා අධ්‍යාපනය අත් නොහැරියේය. මේ කලාකාමී සිතැත්තා වෛද්‍ය විද්‍යාලයට පැමිණියේ ද මේ මෘදු සිත ද රැගෙනමය. වෛද්‍ය විද්‍යාලයේ සිංහල කලා කවය පිහිටුවීමට ද පුරෝගාමියා වූ හෙතෙම දහසක් වැඩ අතර චිත්‍රපටය අත නොහැරියේය.

එක්තරා සොඳුරු වැහිබර හැන්දෑවක ඔහුගේ සිතට අලුත් අදහසක් ගෙවැදුණේය.

‘මං කවදාක හරි චිත්‍රපටයක් නිෂ්පාදනය කරනවා’ ඒ සිතිවිල්ල ඔහු පොදි බැඳ යටි හිත තුළ ඉතා පරෙස්සමට තැන්පත් කළේය.

අතීත කතාන්දරය එසේය.

ගෙවී ගිය අතීතයේ බුර බුරා නගුණ බලාපොරොත්තු යථාර්ථයක් බවට පත් වූයේ අලුත් වැස්සක නැවුම් දියවර අපේ සිනමා කෙතට තිළිණ කරමිනි.

* එදා බ්‍රෝඩ්වේ සිනමා ශාලාවේ චිත්‍රපට නැරැඹූ තරුණයා අද ලංකාව දන්න අති දක්ෂ ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍යවරයෙකි.

* එදා සිනමාපටයක් තනන්නට සිහින මැවූ මිනිසා අද ලොවම දන්නා නිෂ්පාදකවරයෙක්.

ඔහු නිකිණි වැස්ස අපට තිළිණ කරන්නට නිෂ්පාදනයෙන් දායක වූ විශේෂඥ වෛද්‍ය කුසුම්සිරි ද සිල්වාය.

* මුලින්ම අපි නිකිණි වැස්ස ළඟ නවතිමු.

මේ වැස්ස වහින කල් මං බොහොම කාලයක් බලන් හිටපු කෙනෙක්. පුංචිම කාලේ ඉඳලා සිනමාවට ඇලුම් කරපු මම තාරුණ්‍යයත් සමඟම සිනමාවට ඉතා සමීපව ආදරය කළා. මාතර බ්‍රෝඩ්වේ සිනමා ශාලාවට ආපු හැම චිත්‍රපටයක්ම වගේ මං බැලුවේ හරිම ආසවෙන්. ඒ දවස්වල චිත්‍රපටවලට ලබා දෙන ගීත පොත් මං බොහොම සුරක්ෂිතව තියා ගත්තේ චිත්‍රපටවලට තිබූ ආදරය නිසාමයි.

මේ කාලයේදීම චිත්‍රපටයකට දායකවීමේ හිතක් මට තිිබුණා. මෙහෙම කාලයක් ගත වුණා. චිත්‍රපටයක් නිෂ්පාදනය කරනවාමය කියල හිතාගෙන හිටියත් හොඳ පිටපතක් නොලැබීමෙන් තවත් කලක් ගත වුණා.

මේ අතරේ දවසකදී තමයි මට අරුණ ජයවර්ධන මුණ ගැහෙන්නේ. අරුණ මේ කතාව කියද්දිම මගේ හිතේ සිටි නිෂ්පාදකයා පිබිදෙන්නට පටන් ගත්තා. ඒ තරමටම ඒ කතාවේ ප්‍රබල සිනමාත්මක ගුණයක් මට වැටහුණා. මේ කතාව හරහා අරුණ විවිධ සමාජ පන්තිවල ගැටලු සියුම්ව සාකච්ඡා කොට තිබුණා. සමාජයේ දුර්වල තැන්වලට සාධාරණ අතුල් පහර කිහිපයක් අරුණ මේ හරහා මුදා හැර තිබෙනු මා දුටුවා. ඒ වගේම දේශපාලන උපක්‍රම, බලය මුදලට ගැනීම, ජීවත්වීමට ගන්නා තරගය, ඒ තරගය හරහා ඇතිවන ගැටුම, ගැටුම මත ඇතිවන බිඳ වැටීම, ප්‍රේමය, වෙන්වීම, බලාපොරොත්තු සුන්වීම වගේ සමාජයේ කතාබහට ලක් විය යුතු මාතෘකා බොහොමයක් මේ පිටපතේ කතාබහට ලක්වෙලා තිබුණා.

තවදුරටත් මම මේ කතාව අධ්‍යයනය කළා. බලාපොරොත්තු බිඳ වැටීමෙන් ජනනය වන ධෛර්යය, අලි මිනිස් ගැටුම, වියළි කලාපයේ ජනතාවගේ සැඟවුණු යථාර්ථය, විවිධ කර්මාන්තවල ගැටලු මෙන්න මේ වගේ උප මාතෘකා ටිකකුත් මේ පිටපත තුළ මට මුණ ගැසුණා.

කුඩා කාලයේ සිටම චිත්‍රපට නරඹපු මට මේ කතාව ගෙන ආවේ අමුතුම ආකාරයේ රසයක්. මුලින්ම මා තනිවම මේ කතාව වින්දා. ඉන්පසුව අරුණ සමඟ මම මේ ගැන බොහෝ දිගු සාකච්ඡා පැවැත්වූවා.

හරියට ගලා ගෙන යන්නට නොහැකිව එකම තැන රැඳුණු දිය කඩිති දෙකක් එකට හමු වුණා වගෙයි. අපි දෙදෙනාම මේ ගමන එක්ව යන්නට තීරණය කළා. එදා පටන් අපි ගමන ඇරැඹුවා. නිකිණි වැස්සට අහස බර වුණේ එහෙමයි.

* නිකිණි වැස්ස කලාත්මක චිත්‍රපටයක්. මේ ඔබේ පළමු නිෂ්පාදනය?

ඔව්. මට අවශ්‍ය වෙලා තිබුණෙත් හොඳ චිත්‍රපටයක් නිර්මාණය කරන්න. මම මෙච්චර කාලයක් බලන් හිටියේ මේ වෙලාව එනකල්. ඒ නිසයි මේ චිත්‍රපටයේ නිෂ්පාදන කටයුත්ත නොබියව භාර ගත්තේ. එදා සිටම හොඳ චිත්‍රපට නරඹලා මා ලැබූ තෘප්තිය තවත් කෙනකු ලබනවට මං කැමැතියි. අනෙක මේ චිත්‍රපටයට අත තිබ්බේ ලාභ ලබන්න හිතාගෙන නෙවෙයි. මට අවශ්‍ය නිර්මාණයේ පොහොසත් බව වර්ධනය කරන්න මිසක් මගේ මුදල් පොහොසත්කම වර්ධනය කරගන්න නෙවෙයි. නමුත් මේ නිර්මාණය හරහා මා දැනුමෙන්, සමාජයෙන්, වින්දනයෙන් ඕනෑවටත් වඩා පොහොසත් වුණා.

අනෙක් කාරණය තමයි අරුණ ජයවර්ධනගේ අත්දැකීම්. සිනමාකරුවකුගේ හිත තුළ කැකෑරෙමින් තිබූ මේ වස්තු බීජය උපන් බිමේම මිය ගියා නම් එය වචනවලට පෙරළිය නොහැකි පාඩුවක්. මේ කතාව රූපයට නැගෙන තුරු ඉතාමත් ආසාවෙන් බලා සිටි රසිකයාත් මමයි කිව්වොත් ඒක නිවැරැදියි.

ඒ වගේම සිනමාව වාණිජ, කලාත්මක කියලා බෙදීමක් මගේ නැහැ. වින්දනාත්මක සිනමාව සහ වින්දනයක් නොගෙනෙන සිනමාව කියලා තමයි මං වර්ග කරන්නේ. මොන දේවල් කළත් මිනිස්සුන්ට විඳින්නට බැරි නම් ඒ නිර්මාණය අසාර්ථකයි. නිකිණි වැස්ස බුද්ධිමත් ප්‍රේක්ෂකයන්ට නැවත ලබා දුන් තිළිණයක්. මේ සිනමා කෘතිය ඇතුළේ ගැවසෙන චරිත ප්‍රායෝගිකව අපට හමුවන අය. මේ දර්ශන තල, රූප රාමු අපේ ඇසට හුරු ඒවා. නමුත් ඒවා ඇතුළේ සැරිසරන කතාන්දරය තුළ අපට පුන පුනා සිතන්නට, විඳින්නට, තර්ක කරන්නට දෙයක් ඉතිරි වෙලා තිබෙනවා.

ආර්ථික ලාභයට වඩා මට වටින්නේ ජනතාවගේ වින්දනයයි. ඒ නිසයි මං නිකිණි වැස්ස නිෂ්පාදනයට යොමු වුණේ.

* මගේ ඉහත ප්‍රශ්නයේ ‘මේ ඔබේ පළමු චිත්‍රපටය’ ලෙස මා නිමා කළේ ඔබේ ගමන ගැන නිශ්චිත ස්ථාවරයක් නැති නිසයි.

මගේ ගමනේ මේ වන විටත් මා බොහෝ දුර ගොස් අවසානයි. මේ සල්ලි ටිකෙන් මොකක් හරි කරලා ලාභ අරගෙන ඒකෙන් තවත් චිත්‍රපටයක් කරලා මුදල් ගොඩ වගේම නිෂ්පාදන ලැයිස්තුවේ නම හදාගන්නට මට කොහොමටවත් උවමනා නැහැ. මම මේ චිත්‍රපටයට වියදම් කළේ අපේ ජනතාවට ලස්සන නිර්මාණයක් තිළිණ කරන්නටයි. දැන් ජනතාවගේ වාරය.

මා බොහෝ දුර ගියා කිව්වේ මේ චිත්‍රපටය බොහෝ දුර ගියා කියන එකයි. ඇත්තටම මමයි අරුණයි දෙන්නම දුර ගියා. විදේශීය චිත්‍රපට උළෙල කිහිපයකට සහභාගි වෙන්නට අපට හැකි වුණා. ඒ උළෙලවලදීී ලෝකයේ ප්‍රමුඛ පෙළේ නිෂ්පාදකයන්, අධ්‍යක්ෂවරුන් වගේම දැවැන්ත නළු නිළියන්, කාර්මික ශිල්පීන් අපට හමුවුණා.

මේ වන විට ලෝකයේ ප්‍රමුඛ පෙළේ චිත්‍රපටකරුවන් මගේ පෞද්ගලික හිතවතුන්. ලාබෙට බාල චිත්‍රපටයක් කළා නම් මේ ගමන යන්නට ලැබෙන්නේ නැහැ. ඒ සබඳතා මට මුදලට වඩා වටිනවා.

* ඔබ පුන පුනා කියන්නේ මේ චිත්‍රපටය හැදුවේ ජනතාවට කියලා. කොහොමද දැන් ලැබෙන ජනතා ප්‍රතිචාරය?

ඇත්තටම සතුටුයි. චිත්‍රපටය බලලා ඇතැමුන් දුරකථන අංකය සොයාගෙන මට කතා කළා. ඒ වගේම ප්‍රේක්ෂකයන් මේ චිත්‍රපටය ඉතා ආදරයෙන් වැළඳගෙන තිබෙනවා. ඒක මට පෞද්ගලිකව සතුටු විය හැකි කාරණයක්. මං හිතන්නේ මගේ බලාපොරොත්තුව සාර්ථකයි කියලා. මොකද චිත්‍රපටයට ඉතා ඉහළ ජනතා ප්‍රතිචාර ලැබෙනවා.

* ඔබ යම් කිසි කලකිරීමකින් ඉන්නවා වගේ දැනෙනවා.

ඔව්. මං ඉන්නේ කලකිරීමකින්. ඒත් චිත්‍රපට කර්මාන්තයට තිබෙන ආදරය බිඳක්වත් අඩුවෙලා නැහැ. මේ චිත්‍රපටය පෙන්නගන්න මං අවුරුදු තුනක් දුක් වින්දා. අපි ආයාචනා කරන තත්ත්වයට පත් වුණා. මා හිතන්නේ උසස් නිර්මාණයක් කරලා එහෙම අසරණ විය යුතු නැහැ. මා නැවතත් උපන්නේ මගේ පුතා සුමිත් නිසා. ඔහුත් චිත්‍රපට කලාවට ඉතා ආදරය කරන කෙනෙක්. ඔහු මාවත් කරේ තියාගෙන උඩුගම් බලා පීනුවා. මං මහන්සිද අහද්දී සුමිත් ඇහුවේ තාත්තාට මහන්සිද කියලා. ඒ තරමටම ඔහු මාව ඔසවාගෙන දුර අරන් ගියා. නිකිණි වැස්සේ කොටසක්ම ඔහුට බාර විය යුතුයි.

මේ අවුරුදු තුන තුළ දුක සහ සතුට දෙකම ලැබුණා. මා හිතන්නේ අපේ රටේ චිත්‍රපට බෙදා හැරීමට හොඳ ප්‍රබල ප්‍රාණවත් ක්‍රමවේදයක් තිබිය යුතුයි.

* මේ කලකිරීම ක්ෂේත්‍රයෙන් ඉවත් වන්නට තරම් ප්‍රබලද?

අපෝ නැහැ. හොඳ තේමාවක් හරහා හොඳ පිටපතක් ලැබුණොත් මා නොබියව ඊට ඉදිරිපත් වෙනවා. මං මහා සල්ලිකාරයෙක් නෙවෙයි. නමුත් චිත්‍රපට කලාව වෙනුවෙන් විය යුතු දේ මං කරන්න පැකිලෙන්නේ නැහැ. මා නිතරම හිතන දෙයක් තමයි ඇයි අපට ඔස්කා සම්මානයකට යන්න බැරි වුණේ කියලා.

ඉරාන සිනමාවේ විස්මිත පෙරළි සහ තාක්ෂණික විප්ලවය විස්මයජනකයි. අපටත් එතනට යන්නට පුළුවන්. මං ඉන්නේ ලෝකය සමඟ ඉදිරියට යන ගමනක. ඒ නිසා ඉදිරියේදී අලුත්ම තැනකදී අපි හමුවේවි.

එහෙම නම් අලුත් වැස්සක තෙමෙන්න යළිත් හමු වෙමු. අවසානයේ කියන්න මේ සමස්ත නිර්මාණය ගැන ඔබ තෘප්තිමත්ද?

ඔව් . . . නිකිණි වැස්ස හොඳ සුබ මං සලකුණක්.

චතුර ගීතනාත් බණ්ඩාර – සරසවිය

 නිකිණි වැස්ස – MOVIE  ARTICLE

Share

About the Author

Cinema.lk A


 
Popular
 
  • 11054457_1409705939357865_5822327755300679673_n
  • 10350634_880714251944840_8448217158647864537_n
  • spring depart
  • 598556_431654790279257_1742531492_n [1024x768]
  • madras-cafe-4a
  • aba and coba
  • 174_2
  • mahin2