Padachone Ingalu Kaatholee ළඟදීම මලයාලම් සිනමා තිරයේ
දකුණු ඉන්දීය රංගන ශිල්පී Sreenath Bhashiගේ ප්‍රධාන රංගන දායකත්වයෙන් යුතු නවතම මලයාලම් සිනමාපටයක් ගැන තොරතුරු කේරළ මාධ්‍ය පසුගිය සතියේදී වාර්තා කළා. කේරළයේ තරුණ පරපුරේ කැපී පෙනෙන නලුවෙකු වන Sreenath Bhashi සැමවිටම එකිනෙකට වෙනස් තිර පිටපත් තෝරා ගනිමින්, විවිධ ශානරමය උත්සාහයන් සිදු කරන්නට වෙහෙසෙන රංගන ශිල්පියෙක්. තමන්ටම ආවේණික සහ තමන් වටා බැදුණු විශාල රසිකාගාරයක් Sreenathට නොමැති වුණත්, ඔහුගේ මෙම versatile චරිත නිරූපණය නිසා Sreenath Bhashiගේ චිත්‍රපට ගැනත් කේරළය පුරා කතාබහ සිදු වනවා.
‘ Padachone Ingalu Kaatholee ‘ යනුවෙන් හැඳින්වෙන මෙම මලයාලම් සිනමාපටයේ අධ්‍යක්ෂකවරයා වශයෙන් කටයුතු කරන්නේ Bijith Balaයි. මේ සිනමාපටය තුළින් Bijith Bala නැවතත් අධ්‍යක්ෂණයට පිවිසෙන්නේ ඔහුගේ ප්‍රථම නිර්මාණය වූ Nellikka චිත්‍රපටයෙන් වසර 08කට පසුවයි. ප්‍රධාන චරිතය Sreenath Bhashi විසින් රඟ දක්වන අතර රංගන ශිල්පිනී Grace Antony සහ Ann Sheetal ද ‘Padachone Ingalu Kaatholee’ චිත්‍රපටයේ වැදගත් චරිත ද්විත්වයකට ගිවිසුම්ගත වී තිබෙනවා.
මෙහි පළමු පූර්ව ප්‍රචාරක පෝස්ටරය එළි දැක්වූයේ මලයාලම් සිනමාවේ දැවැන්තයෙකු වන Megastar Mammootty විසිනුයි. කඳු පන්තියක පහළ සිට ඉහළට ඇදෙන වාහන පෙළකින් යුතු ඒ පූර්ව ප්‍රචාරක පෝස්ටරය තුළ චිත්‍රපටයේ කතා තේමාව ගැන සැලකිය යුතු ඉඟියක් ලබා දී තිබුණේ නැහැ. එම නිසා රසිකයින් සිනමාපටය ගැන විවිධ මත පළ කළත්, ඉන්පසුව අධ්‍යක්ෂක Bijith විසින් ම මෙහි storyline update එකක් ලබා දුන්නා. ඒ Silver Screen India වෙබ් අඩවිය සමඟ සිදු කළ සම්මුඛ සාකච්ඡාවක් අතරතුරදී යි!
“ Padachone Ingalu Kaatholee උතුරු කේරළයේ මායිම්ව තියෙන කන්නූර් ගම වටා ගෙතෙන කතාවක්. ප්‍රදේශයේ දුෂ්කර පාසලක ගුරුවරයෙකුගේ චරිතයක් තමයි චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට රඟපාන Sreenath Bhashi විසින් නිරූපණය කරන්නේ. වසර ගණනාවක් තිස්සේ එම විදුහලේ සේවය කළත් ඔහුට ස්ථිර පත්වීමක් ලබා ගන්න අවස්ථාවක් හිමි වන්නේ නැහැ.
තමන්ට වැටුපක් ලැබෙන එකම මාර්ගය පවා අවිනිශ්චිතව තිබෙන පසුබිමක, ඔහු සහ මිතුරන් අතර සිදුවන සිද්ධි දාමයක් මුල් කරගෙනයි මේ Padachone Ingalu Kaatholee සිනමාපටය නිර්මාණය කර තිබෙන්නේ. “
අධ්‍යක්ෂක Bijith Bala විසින් පසුගියදා රූපගත කිරීම් ඇරඹි, තමන්ගේ නවතම සිනමාපටය ගැන දැක්වූයේ එවැනි අදහසක්…
මුලු චිත්‍රපටය පුරාම බොහොම තාත්වික, සරල සහ ගම්බද කතාවක් පසුබිම් වී තිබෙන බව ඔහු වැඩිදුරටත් එහිදී පැවසුවා. ඒ වගේම මෙයට පාදක වී තිබෙන්නේ උතුරු කේරළය නිසා චිත්‍රපටයේ භාෂා ව්‍යවහාරයත් යම් ප්‍රදේශීය උච්චාරණයක් සහිතව දැකගන්න ලැබිය හැකි වෙතැයි Bijith Bala ප්‍රකාශ කළා. නමුත් කේරළයේ සාමාන්‍ය ප්‍රේක්ෂකාගාරයට ඉන් බාධාවක් නොවන ආකාරයෙන්, භාෂා ව්‍යවහාරය ගැන වඩාත් සැලකිල්ලක් දක්වන බවයි ඔහුගේ අදහස වූයේ. මේ වනවිට, එම භාෂා ප්‍රශ්නය විසඳා ගැනීමට විෂය පිළිබඳ විශේෂඥයෙක්ව ද චිත්‍රපට කණ්ඩායමට සම්බන්ධ කරගෙන තිබෙනවා.
Silver Screen India හි සමඟ සිදු කළ සාකච්ඡාවේදී Padachone Ingalu Kaatholee හි රංගන ශිල්පීන් තෝරාගැනීම ගැනත් යම් අදහස් ප්‍රමාණයක් හුවමාරු වුනා. වෙනත් චිත්‍රපට මෙන් තරු ගුණයක් සහිත රංගන ශිල්පීන් තමන්ට අත්‍යාවශ්‍ය නොවන බවත්, චරිතය හා 100% ගැළපෙන ශිල්පීන් පමණක් තමන්ගේ නිර්මාණයට සම්බන්ධ කරගත් බවත්, Bijith Bala විසින් එහිදී ප්‍රකාශ කළා.
Sreenath Bhashi, Grace Antony සහ Ann Sethalට අමතරව චිත්‍රපටයේ උප – ප්‍රධාන චරිත සඳහා Mamukoya, Alencier, Hareesh Karanan, Vijilesh, Nirmal Palazhim, Dinesh Prabhakar වැනි මලයාලම් රංගන ශිල්පීන් කිහිප දෙනෙකුම සම්බන්ධ වීමට නියමිතයි.
Padachone Ingalu Kaatholee පිටපත Pradeep Kavunthuraගෙනි. චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂකවරයා වශයෙන් Shaan Rahman කටයුතු කරන අතර කැමරා අධ්‍යක්ෂණය Vishnuගෙනි. අධ්‍යක්ෂවරයා වන Bijith Bala විසින්ම මෙහි සංස්කරණ කටයුතු සිදු කිරීමට නියමිත බවටත් ඇතැම් මාධ්‍ය වාර්තා කරනවා. Bijith විසින් ප්‍රධාන ධාරාවේ දකුණු ඉන්දීය චිත්‍රපට ගණනාවක සංස්කරණ ශිල්පියා වශයෙන් කටයුතු කර තිබෙන නිසා බොහෝ දුරට ඒ ආරංචිය සත්‍යයක් වීමට ඉඩ තිබෙනවා.
මෙහි රූපගත කිරීම් උතුරු කේරළයේ “කෝලිකෝඩ්” ඇතුළු සීමිත ප්‍රදේශ කිහිපයක් මුල් කර ගනිමින් පසුගිය පෙබරවාරි 11 වනදා ආරම්භ වූ අතර එකදිගට දින 40ක කාලයකින් අනතුරුව රූගත කිරීම් අවසන් වීමට නියමිතයි.
රේඩියෝ නිවේදකයෙකු වශයෙන් වෘත්තිය ජීවිතය ඇරඹි Sreenath Bhashi, රංගන ශිල්පියෙකු බවට පත් වෙන්නේ 2011 වසරේ තිරගත වූ “Pranayam” මලයාලම් සිනමාපටයත් සමඟයි. එතැන් පටන් Ustad Hotel, Honey Bee, Parava, Kumbalangi Nights, Kappela, Virus වැනි සිනමාපට 20කට අධික ප්‍රමාණයකට සහාය රංගනයෙන් දායක වූ ඔහු අද වනවිට මලයාලමේ ප්‍රධාන පෙළේ රංගන ශිල්පියෙකු බවට පත්වෙමින් සිටිනවා. 2021 වසරේදී ඔහු ප්‍රධාන රංගනයෙන් සම්බන්ධ වූ #HOME සිනමාපටය, ඉන්දියාව පුරාම කතාබහට ලක් වූ අතර මෑතකාලීන දකුණු ඉන්දීය සිනමාවේ ජනප්‍රියම නිර්මාණයක් ලෙසත් හැඳින්වෙනවා.
Padachone Ingalu Kaatholee හි අධ්‍යක්ෂකවරයා වන Bijith Balaගේ දෙවන දිගු වෘතාන්ත නිර්මාණය වන්නේ මෙයයි. පූර්ව ප්‍රචාරකපට සංස්කාරකවරයෙකු සහ සහය-අධ්‍යක්ෂකවරයෙකු වශයෙන් ක්ෂේත්‍රයට පිවිසි Bijith, 2014 වසරේදී තමන්ගේ පළමු චිත්‍රපටය වන Nellikka අධ්‍යක්ෂණය කළා. ඔහු තවමත් අධ්‍යක්ෂණයට නවකයෙකු වුණත් සංස්කරණ ශිල්පියෙකු වශයෙන් විශාල ජනප්‍රියත්වයක් දිනා ගත් අයෙක්. Angel John, Tahnthonni, Vellam වැනි ජනප්‍රිය මලායලම් චිත්‍රපට මෙන්ම, කේරළ ප්‍රාන්ත සම්මානයෙන් පිදුම් ලැබූ Captain (2018) සංස්කරණය කළේද ඔහු විසිනුයි.
Written by Kavinu Weerakkody