Sri Lanka's Best Cinema Portal

 

සම්මානනීය නවකතාවකින් හැදුණ විශිෂ්ටතම චිත්‍රපටයක් – සක්කාරං

0
Posted April 19, 2016 by Cinema.lk A in Articles
sakkarang

1818 ඌව කැරැල්ල මෙරට සිංහලයා විසින් සිය නැති වී ගිය රාජ්‍ය බලය ලබා ගැනීමට දියත් කළ අවසාන සටන වූයේය. එම සටනේදී බ්‍රිතාන්‍යයන් විසින් ඉතා කෲර ලෙස කළ ජන සංහාරයෙන් පැතිර ගිය අඳෙීනාවේ දෝංකාරය කෙමෙන් මැකී යද්දී, බ්‍රිතාන්‍ය පාලකයා විසින් නුවර පෙරහැර කිරීමේ අයිතිය දළදා මාළිගාවට ලබා දුන්නේය. පෙරහැර කිරීම උඩරට ගම් දහයක රාජකාරිය විය. එහිදී උඩරට නිලමේ ඇත්තන්ගේ අනුහස්වලට අනුව ගම් පාලනයද, පෙරහැර ද සිදු විය. නිලමේවරුන්ගේ අඩන්තේට්ටම් මෙන්ම, ලිංගික අතවර ඉවසා සිටීමට ද ගම්මුන්ගේ රාජකාරියේම කොටසක් වූවාක් මෙන් විය. රජුගේ බලය යටතේ බලවතුන් වූ උඩරට රදලයින් ඉංග්‍රීසි ආණ්ඩුව යටතේ ඔවුන්ගේ සේවකයන් බවට පත් වූහ. එම මදි පුංචිකම ඔවුන් සමහන් කර ගත්තේ සිය යටත් වැසියන් කෙරෙහි තම සියලු ආධිපත්‍යයන් පතුරුවාලීමෙනි.

‘සක්කාරං’ පසුබිම් කරගන්නා මාලගම්මන ගම්මානය රාජකාරි ගම්මානවලින් එකකි. ඔවුහු සිය රාජකාරිය දේව කාරියක් කර ගනිමින්, එහෙත් තමන්ට කියා බිම් අඟලක ද හිමිකමක් නොමැතිව උපන් බිමේ කරුමයේ උරුමකරුවන් පිරිසක් බවට පත් වූහ. එහිදී සුබේ සහ රකීගේ සුන්දර කවියක් බඳු වූ ගේහසික ප්‍රේමය ගම් දනව්ව පුරා ආලෝකයක් වූයේ. පෙරහැර රාජකාරිය සොඳුරු නැටුම් මන්ඩියක් බවට පත් කරවමිනි.

සුද්දා කෝපි වවන්නට උඩරට ආක්‍රමණය කරන්නේ ඒ අතරය. ගැමියන් විසින් හරක බාන කවා ගත් දෙනිය හෝ පතන ඉන්පසු ඔවුන්ට එය අහිමිව ගියේය. බදු බර හා රාජකාරිය විසින් තැවුල් පත් ගැමි ජීවිතය තවදුරටත් ළං කළේ අනේකවිධ අතවරයන්ටය.

සුද්දා විසින් නොමිලයේ පුරුදු කළ සුදු සිකරට්ටුව හා මත් වතුර පහතරට සිට ගෙන ආ ජෙරමියස් මුදලාලි, ඉන්පසු ඒවා දුන්නේ මුදලටය. හුවමාරුව හුරු ගැමියා මෙන්ම, මත්පැනට ගිජු වූ ඇතැම් ගැමියන් මුදල් සොයන්නට යාමේදී ගිලිහී ගියේ එතෙක් රැකි ඔවුන්ගේ සාරධර්ම හා අපේකමයි. ඉඩම් හිමි ඇතැමුන්ගේ අයිතිය මුදලට පිටස්තරයන් අත පත් වූයේ රදලයින්ගේ ද ඕනෑ එපාකම් මතය.

සුබේ සිය දේවකාරිය වෙනුවෙන් නොව, තමන්ගේ පරපුරේ හෙට දවස වෙනුවෙන් පදිංචියේ අයිතිය ඉල්ලා සිය පරපුර දැනුවත් කරද්දී, රතී සිය දියණියගේ මුහුණුවරත්, ක්‍රියා කලාපයත් අතර දෝලනය වන්නේ සිය පතිවත තමාට අවනත නොවුණේදැයි සාංකාවෙනි.

ඉංග්‍රීසි පාලනය හා රදල පාලනය විසින් හුදෙකලා කරනු ලැබූ උඩරට අහිංසක වැසියන් තමන් පෙළූ අසරණකම විසින්ම සිය අයිතිය හා හිමිකම සොයා යන මාවතට තල්ලු කර හරිනු ලබයි. එහිදී බ්‍රිතාන්‍ය පාලකයා පලවා හැර දැමීමට පෙර ඔවුන්ට හිතවත්කම් සහ සහයෝගය දෙන රදල පරපුර නිහඬ කළ යුතු බව ඔවුන් සිතන බව අනාගතයට ගෙන යන්නට ‘රණා’ගේ හැසිරීම කොතෙක් දුරට ඉවහල් වේද?

නැටුමත්, වාදනයත් විසින් පණ පෙවුණු පාරම්පරික රාජකාරි ගම්මානයක, ගිනිගහන සුබේගේ තාරුණ්‍යය සමඟ රාවණා දේශයෙන් ආ රතීගේ ගායනයත් සමඟ නැගී ගිය සුරල් තානම්, නකල්ස් කඳු වැටි සිසාරා නැඟු වසන්ත රාවය, කොතෙක් දුරට ජීවය පිරුණු හඬක් සේ ගලා යන්නේද? බ්‍රිතාන්‍ය අයබදු විසින් හප කළ උඩරට වැසියාගේ ඉඩම් අයිතිය පවා ඉංග්‍රීසි බලයට නතු වෙද්දී, රදලයින් විසින් සුද්දන්ගෙන් තමන්ට වූ මදි පුංචිකම් පිරිමසා ගත්තේ, රාජකාරියෙක් හික්මවනු ලැබූ ගැමියාගෙනි. කුල පීඩනය, භූමියේ අස්වාමිකත්වය හා ලිංගික සූරා කෑම විසින් එතෙක් හීල් හෙවණේ ගලා ගිය ඔවුන්ගේ සොඳුරු ජීවන රටාව පරදා පුපුරා යන ඉවසීම ශ්‍රී ලංකා ඉතිහාසයේ මතුවෙන පළමු පොදු ජන අයිතිය සොයා යන 1848 කැරැල්ලේ ආරම්භය ලෙසින්,

තමන්ගේකම ඉස්මතු කළ දේශීය සංස්කෘතියේ හෙට දවස, බ්‍රිතාන්‍යයන් විසින් තමන්ගේ අධිරාජ්‍යවාදයේ පෙර මඟ කර ගන්නේ, ‘ජයනී’ වැන්නියන්ගෙන්ද? නොඑසේ නම් ඇය සිය පියා සුබේගෙන් ගිලිහී යන අයිතිය පෙරට ගෙනි යන්නියද? ජෙරමියස් මුදලාලි මුහුදුකරෙන් උඩරටට එන්නේ, උඩත්, පාතත් එකතු කර සුද්දා එළවන්ටද? නෙඑසේ නම් සුද්දාගේ මත්පැන් නුපුරුදු සිරිත්වලින් උඩරට දූෂණය කොට වෙළෙඳ ආර්ථිකය මතින් මෝදු විය හැකි අධිරාජ්‍ය විරෝධී හඩ නිහඬ කරවන්නද?

සියලු දුක්ඛ දෝමනස්සයන් සේම සුඛයේ සුවඳ ද එකසේ ඉවසාලමින් සිය දායකයන්ගේ අයිතිය සොයා යන ‘රතනපාල’ හිමියන්ගේ අතින් ගිලිහී යන අරගලයේ කෙවිට දරා ගන්නේ, සුද්දාගේ සිපිරි ගෙයින් මුවහත් වෙන රණාද?

රතී, ජයනිගේ පීතෘත්වය පිළිබඳ සම්මත සිතුවිල්ලක – අසම්මත පිළිතුර වෙද්දී, සත්කාරයට ලොල් නොවූ සුබේ, පීඩිතයාගේ හිමිකම වෙනුවෙන් එක් වෙද්දී, රදලයින් නිහඬ කරමින් අන්ධකරයේ පෙරට ඇදෙන රණාට ඉදිරි මඟ ආලෝකය සපයන්නේ ඇසළ පෙරහැරේ බුද්ධ වන්දනාවක යෙදෙන හෙළයේ මහා සංස්කෘතිය සමග කැටුව පෙර ගමන් යන විලක්කු ආලෝකයද?

ඔවුන්ගේ මේ නැඟී සිටීම ශ්‍රී ලාංකික ඉතිහාසයේ මතු වූ පළමු පොදු ජන අයිතිය සොයා ගිය 1848 කැරැල්ලේ ආරම්භයද?

මේ සියල්ල ඔස්සේ නුවර පෙරහැර ඇසළ උත්සවයක් වශයෙන් හුදෙකලාවෙම පෙර ගමන් ආරම්භ කරන්නේ. දේශයේ උරුමය සහ අයිතිය සොයා යන පීඩිතයින්ගේ අරගලයට අවැසි ආලෝකය ලබා දෙන්නටද?

‘සක්කාරං’ මුද්‍රිත මාධ්‍යයෙන් 2011 වර්ෂයේ ප්‍රශස්තම ස්වර්ණ පුස්තක නවකතා පහෙන් එකක් ලෙස සම්මානිත වී, ශ්‍රව්‍ය – දෘශ්‍ය කාව්‍යයට අවැසි තිර රචනය ද ලියූ චම්මින්ද වෙලගෙදර නවකතාකරුවා සහ ආචාර්ය ධර්මසේන පතිරාජ සිනමාකරුවා අතර වූ සුසංයෝගයේ ඵලයයි සක්කාරං චිත්‍රපටය.

sarasaviya

Share

About the Author

Cinema.lk A


 
Popular
 
  • 11054457_1409705939357865_5822327755300679673_n
  • 10350634_880714251944840_8448217158647864537_n
  • spring depart
  • 598556_431654790279257_1742531492_n [1024x768]
  • madras-cafe-4a
  • aba and coba
  • 174_2
  • mahin2