Sri Lanka's Best Cinema Portal

 

කේ-සේරාට සම්මාන ලැබීම අහම්බයක්ද ?

0
Posted December 14, 2015 by Cinema.lk A in Articles
IMG_5654

කේ-සේරා නම් වූ චිත‍්‍රපටයක් ලංකාවේ නිෂ්පාදනයව තිබුණු බව බොහෝ අය දැනගන්නේ දෙරණ සිනමා උළෙලට පස්සෙ. එහිදී එය හොඳම නිළිය, හොඳම ගීතය ඇතුළු තවත් සම්මාන ගණනාවක් සමග හොඳම අධ්‍යක්ෂවරයාට හිමි සම්මානයන් හිමිකර ගන්නවා. මේ සම්මානය නිසා මුහුණු පොත රඟබිම කරගත් සයිබර් යුද්ධයක් පවා ඇවිලෙනවා. සාමාන්‍යයෙන් මුහුණු පොත කියන්නේ තක්කඞීන්ගේ පාරාදීසයක් තමයි. නමින් මුහුණුපොත වුණාට සහ වැඩිපුර සැරිසරන්නේ මුහුණු නැති අවතාර. මම හිතන්නේ අශෝක හඳගම මේ අවතාර බොහොම පහසුවෙන් දමනය කළා.

ඊළඟට පසුගිය රාවය පුවත්පතේ පළවූ හඳගම සමග කළ සාකච්ඡාව. එතැනදි ඔහු දෙරණ සිනමා සම්මාන පිළිබඳ ප‍්‍රශ්න කන්දරාවක් සමග ගැටෙනවා. ඉන් සිදුවන දේ තමයි කේ-සේරා චිත‍්‍රපටය ඊට වඩා වූ දෙයක් බවට උත්කර්ෂයට පත්වීම. ප‍්‍රශ්නය තමයි කේ-සේරා හඳගම කියන විදියේ උසස් චිත‍්‍රපටයක්ද, නැත්නම් ඒ සම්මානය අහම්බයක්ද කියන කාරණය.
මම මේ චිත‍්‍රපටය නරඹන්නේ අන්තර්ජාලයෙන්. පුළුල් තිරයක නැරඹිය යුතු චිත‍්‍රපටයක් පරිගණක තිරයකට ලඝු කිරීමෙන් ඊට සිදුවිය හැකි හානිය අඩු කළ විට මට හිතුණේ කේ-සේරා යනු අපූර්ව සිනමා නිර්මාණයක් බවයි. ලිබරල් ධනවාදය තුළ මරණය පවා සෞන්දර්ය වස්තුවක් ලෙස අලෙවි කළ හැකි බව මින් විදාරණය වන අධ්‍යාපනික එළැඹුමයි. (narrative approach) මෙම චිත‍්‍රපටයටම ආවේණික වූ එම සිනමා රටාව නිමවන්නේ Horror, Romance සහ Comdey යන ප‍්‍රවර්ග සම්මිශ‍්‍රණය වීමෙන්.

රාවය හඳගම සමග සාකච්ඡුාව පළකරන්නේ විසිඑක්වන පිටුවේ. ඔහු කේ-සේරා චිත‍්‍රපටයේ තේමාව ගැන වදනකුදු කියන්නේ නැහැ. ඔහුගේ කරුණු දැක්වීම කේන්ද්‍රීය වන්නේ තමන් සම්මාන සඳහා නිර්මාණ නම් කිරීමේදී භාවිත කළ තාක්ෂණික ක‍්‍රමවේදය පැහැදිලි කිරීමට. එහෙත් එම රාවය පත්තරයේම ඊළඟ පිටුවේ (23 පිටුවේ) සාකච්ඡාව සිදුවන්නේ ප‍්‍රකට අවමංගල්‍ය අධ්‍යක්ෂවරයකු වන ඕබි‍්‍ර වෙනීෂියස් රේමන්ඞ් සමගයි. හඳගම වෙනුවට කේ-සේරා චිත‍්‍රපටයේ දෘෂ්ටිවාදී ප‍්‍රවේශය පැහැදිලි කරන්නේ ඔහු. එහෙත් ඔහු මේ චිත‍්‍රපටය නරඹා නැතුවා පමණක් නොව දෙරණ සිනමා සම්මාන සමග ඊට ඇති සම්බන්ධය ගැන හාංකවිසියක් දන්නේ නැතුව ඇති. රේමන්ඞ් එය පවසන්නේ මේ විදියට.

‘මේක ඇත්තටම ආර්ට් එකක්. මම ඒ ආර්ට් එක කරන කලාකරුවෙක්. අපේ පරම්පරාවම එහෙමයි. මේකට යම් ප‍්‍රමාණයකට රසායන ද්‍රව්‍ය පිළිබඳ අවබෝධය තියෙන්න ඕනෑ. මැහුම් කලාව පිළිබඳ, මේකප් කලාව පිළිබඳ අවබෝධය ඕනෑ. ඒ වගේම ඉවසීම පිළිබඳ ලොකු විශ්වාසයක් ඕනෑ. අපි ගාවට එන්නේ මියගිය අය බව ඇත්ත. ඒත් අයිතිකරුවන්ට ඔහුව බාරදෙන්න ඕනෑ සුව නින්දක ඉන්න කෙනෙක් විදිහටයි. ඒක කරන්න මේ ආර්ට් එක දැනගෙන ඉන්න ඕනෑ. මේක ආර්ට් එකක් කියලා විශ්වාස කරන්නත් ඕනෑ.’ (2015.12.06, රාවය)

මෙම සිනමා පටයේ කතාව සේරා නම් වූ උන්නතිකාමී තරුණියක වටා ගෙතෙන්නක්. අවමංගල්‍යධ්‍යක්ෂවරයකු වූ මියගිය තම පියාගේ අවමඟුලෙන් තමයි කතාව ඇරඹෙන්නේ. ඔහු මියයද්දී ඔවුන්ට ඉතිරිවන්නේ පිරිහී ගිය ව්‍යාපාරයක්. එහෙත් ඇය මේ අවමංගල්‍ය සේවා කාර්යයට නව නිර්මාණාත්මක මුහුණුවරක් දෙමින් එය ගොඩගැනීමට උත්සාහ කරනවා. සැබැවින්ම ඇය එතැනදී සාර්ථක වන බව කියන්න පිළිවන්. ඇය තම ඥාති සොයුරාගේ (හෑන්ස් බිලිමෝරියා) විරෝධය පවා නොතකා ස්වකීය අවමංගල්‍ය සමූහල (Funeral Parloury) රූපවාහිනී යන්ත‍්‍ර, ශීතකරණ, බිත්ති සැරසිලි, සැප පහසු පුටු සෙටි ආදියෙන් සමාලංකෘත කරනවා.

හඳගමගේ සහ රේමන්ඞ්ගේ සම්මුඛ සාකච්ඡා පළවූ රාවය පත්තරයේම පෙර පිටුවක තිබුණේ බාසුරු ජයවර්ධන, නදී වාසලමුදලි ආරච්චිගේ වුල්ෆන්ඩාල් ස්ටී‍්‍රට් නවකතාව පිළිබඳ ලියන විචාරයක්. අද කාලයේ කලාව යනු නිර්මාණශීලී ලෙස මිනී එම්බාම් කිරීමක් බව සිනමාපටයේ එන තොවිලයේදී ගැයෙන උපහාස කවි තුළ පවා ඉඟි කෙරෙනවා.

මෙම සිනමාපටයේ ආඛ්‍යානය (narration) පෙළ ගැසෙන්නේ තමාට මෙම ව්‍යාපාරය කරගෙන යෑමේදී අත්දකින සිදුවීම් සේරා විසින්ම විස්තර කිරීමක් වශයෙන්. එම විස්තර කිරීම් තුළ විදාරණය වන්නේ උන්නතිකාමය දෘෂ්ටිවාදයක් ලෙස ලිබරල් ධනවාදී පැවැත්ම වෙනුවෙන් පෙනී සිටින ආකාරයයි. අවමංගල අධ්‍යක්ෂණය යනු ආර්ට් එකක් බව එය කරන අය විශ්වාස කළ යුතු බව රේමන්ඞ් පරසක්වල ගහනවා. කේ-සේරා චිත‍්‍රපටයේ එක් අවස්ථාවක විධායක ශ්‍රේණියේ නිර්මාණ අධ්‍යක්ෂවරියක් වූ කාන්තාවක් මියගිය තම සැමියාගේ මනාව සකසා තිබූ මළමිනිය දැක සේරාට මෙලෙස පවසනවා.

‘ඔයා හරිම දක්ෂයි. හිතන්න බැරි විදියට වැඬේ කරලා. හරිම නිර්මාණශීලීයි. මම දන්නෙ නැහැ ඔයාට කොහොම ස්තුති කරන්නද කියලා. එන්න වැඩ කරන්න මගේ කොම්පැණියට උපදේශක කෙනෙක් හැටියට.’
ඇගේ ප‍්‍රකාශය අනුව මළමිනී නිර්මාණශීලී ලෙස හැඩගැන්වීම සහ අනෙක් කවර වූ නිර්මාණ කලාවක් අතර වෙනසක් නැහැ. ඇය තම සැමියාගේ සිරුර අමතා කියන්නේ මෙවැනි ප‍්‍රකාශයක්.
‘අනේ මගේ ඩාලිං බලන්න ඔයාගේ අවසන් ගමන අපි නිර්මාණය කරපු හැටි.’

ජීවිතය හැමවිටම අප විසින්ම නිර්මාණය කරගන්නා කිසිවක් තමයි. මෙම චිත‍්‍රපටය ගොඩනැගෙන්නේ ජීවිතය හා සමානව මරණයද නිර්මාණය කළහැකි බව අවධාරණය කරමින්. මේ සියල්ලම වට කරන දෘෂ්ටිවාදය තමයි උන්නතිකාමය. අද කාලෙ නවකතා දහයක් කියෙව්වොත් ඉන් අඩකම කතාව ගොඩනැගෙන්නෙ පහළ සිට ඉහළට නැගුණු කෙනෙකු පිළිබඳව බව මම හරියටම දැනගත්තේ 2013 ස්වර්ණ පුස්තක සම්මාන ජූරිය වෙනුවෙන් නවකතා එකසිය ගණනක් කියවීමේදී.

මේ සිනමාපටයේ නම Que-Sera (කේ-සේරා) වීම අහම්බයක් නොවන්නේ ඒ නිසයි.Que Sera, Sera What ever
will be, will be යනු 1956දී ප‍්‍රථමවරට ප‍්‍රකාශයට පත්වුණු ජනප‍්‍රිය ගීතයක්. එය ලියන ලද්දේ ජේ ලිවින්ග්ස්ටන් සහ රේ ඉවාන්ස් ඇතුළු ගී ලියන කණ්ඩායමක් විසින් බවයි කියැවෙන්නේ. මෙය ඇල්ෆ‍්‍රඞ් හිච්කොක්ගේ The man who knew too much (1956) නමැති චිත‍්‍රපටයට ඇතුළු වන අතර එය ගයන්නේ ජේම්ස් ස්ටුවට් සමග එහි රඟපාන ඩොරිස් ඬේ විසින්. මෙම ගීතයේ එන ගේය පැදි තුන එය කියන්නාගේ ජීවිතයේ අවධි තුනක ප‍්‍රගතිය ප‍්‍රස්තුත කරගනිමින් ගෙතී තිබෙන්නක්. එනම් ළමාවිය සහ පේ‍්‍රමයෙන් බැඳෙන තරුණ වියේ සිට මව්පියන් බවට පත්වීම දක්වා එය විහිදෙනවා.

මෙමර් Que Sera sera ගීතය ඇල්ෆ‍්‍රඞ් හිච්කොක් තම චිත‍්‍රපටය තුළ භාවිත කරන ආකාරයට නොවේ පරාක‍්‍රම ජයසිංහ කේ-සේරා චිත‍්‍රපටය සඳහා යොදාගන්නේ. හිච්කොක් එය පැහැර ගත් දරුවකු තානාපති කාර්යාලයක සිරකරගෙන සිටියදී දරුවා සොයා ගැනීම සඳහා මව සහ පියා යොදා ගන්නා උපක‍්‍රමයක් ලෙස යොදා ගනිද්දී පරාක‍්‍රම එමගින් තම චිත‍්‍රපටයේ මුඛ්‍ය තේමාව ප‍්‍රකාශයට පත් කරනවා. කොටින්ම කිවහොත් මේ ගීතය පිළිබඳ සිහිගැන්වීම චිත‍්‍රපටයේ දෘෂ්ටිවාදයේ ප‍්‍රකාශනයක්.

ඉංග‍්‍රීසි ගීතයේ ගීපදවල අර්ථ පරාසය තුළ සිදුවන්නේ අනාගතය පිළිබඳ ප‍්‍රශ්න කිරීමක්. ගයන්නිය කුඩා දැරියකව සිටියදී තම මවගෙන් නගන ප‍්‍රශ්නය නම් ලොකු මහත් වූ විට තමා කවරකු වේද යන්නයි. Que Sera Sera මව ඊට දෙන පිළිතුරයි. එම ස්පාඤ්ඤ වදන්වල අරුත නම් වෙන දෙයක් වේවි (Whatever will be will) යන්නයි. කේ-සේරා චිත‍්‍රපටයේ එම ගීතය සම්පූර්ණයෙන්ම නොගයන සේරා හැඟුම්බරව ගයන්න Que Sera Sera Whatever will be will be යන පද පමණයි. චිත‍්‍රපටය තුළ එය ඇගේ ආත්මීය විලාපයක්.

සිනමා පටයක් යනු ප‍්‍රබන්ධයක් වන අතරම එය නියෝජනීය (representative) කලාවක්ද වෙනවා. මේ නිසා සිනමා නිර්මාණයක් යනුම යථාර්ථයේ ව්‍යාජ ප‍්‍රකාශනයක්. මේ සිනමාපටය කිසිසේත් අවතාර පිළිබඳ කතාවක් නොවෙයි. අවතාර මෙහි නියෝජනය කරන්නේ මළවුන් තමයි. හැබැයි ඇය ගීත ගයන අවතාරයක්. මේ නිසා සොහොන් බිම පවා සෞන්දර්යාත්මක අඩවියක් බවට පත්වෙනවා.

මේ සියල්ල පැහැදිලි කරන්නේ පරාක‍්‍රම ජයසිංහ මෙම චිත‍්‍රපටය නිර්මාණය කරන්නේ සිනමා කලාව පිළිබඳ බොහෝ ඇසූ පිරූ තැන් ඇත්තකු ලෙස බවයි. දෙරණ සම්මාන උළෙලේදී හොඳම අධ්‍යක්ෂට හිමි සම්මානය ලබාගනිමින් ඔහු ඬේවිඞ් ලීන්ගේ ප‍්‍රකාශයක් සිහිපත් කළා. ලීන්ට අනුව සිනමා අධ්‍යක්ෂණය කොතරම් දුෂ්කරද යත් එය දෙවැනි වන්නේ මිනිරන් කැණීමට පමණයි. පරාක‍්‍රම ජයසිංහට ඬේවිඞ් ලීන්ගේ ප‍්‍රකාශය ඒ මොහොතේ සිහිපත්වීම අහම්බයක් නොවෙයි. ඔහුට හොඳම චිත‍්‍රපට අධ්‍යක්ෂ සඳහා වූ සම්මානය හිමිවීමද අහම්බයක් නොවෙයි. එය වූ කලී කෘතහස්ත ජූරියක විචක්ෂණශීලී ගැඹුරු සිනමා කියවීමක් විසින් කරන ලද අලූත් සොයා ගැනීමක්.

සමන් වික‍්‍රමාරච්චි – Ravaya

 

Share

About the Author

Cinema.lk A


 
Popular
 
  • 11054457_1409705939357865_5822327755300679673_n
  • 10350634_880714251944840_8448217158647864537_n
  • spring depart
  • 598556_431654790279257_1742531492_n [1024x768]
  • madras-cafe-4a
  • aba and coba
  • 174_2
  • mahin2