Paradise (පැරඩයිස්) ජුනි 28 සිට – ප්‍රසන්න විතානගේ ඉන්දියානු සිනමාවට එක් වෙයි
ප්‍රසන්න විතානගේ මෙරට වර්තමාන සිනමාවේ සිටින විශිෂ්ට කලාකරුවෙකු වගේම, විදේශීය රටවල විවිධ සිනමාවේදීන් හා නිර්මාණකරුවන් සමඟින් සබඳතා තිබෙන ලාංකීය සිනමා අධ්‍යක්ෂකවරයෙක්. ඔහු විසින් මීට පෙර අධ්‍යක්ෂණය කරන ලද ගාඩි (2019), තුන්දෙනෙක් (2018), ඔබ නැතුව ඔබ එක්ක (2012) වැනි සිනමාපටවලටත් විදෙස් ශිල්පීන්; විශේෂයෙන්ම මලයාලම් සිනමා ක්ෂේත්රයට සම්බන්ධ නිර්මාණකරුවන් කිහිප දෙනෙකුම සම්බන්ධ වුනා.
1991දී ‘සිසිල ගිනි ගනී’ හරහා සිනමාවට පිවිසි ප්‍රසන්න විතානගේ මේ වනවිට වෘතාන්ත චිත්‍රපට දහයක් පමණ අධ්‍යක්ෂණය කර තිබෙනවා. විදෙස් ශිල්පීන් සම්බන්ධ වූ නමුත්, ඔහු මෙතෙක් අධ්‍යක්ෂණය කළ එම සියලුම නිර්මාණ සිංහල බසින් තිරගත වුනු ලාංකීය චිත්‍රපටයි.
නමුත් ලාංකීය සිනමාවට එහා අඩියක් තබමින්, ඉන්දියානු මලයාලම් බසින් තිරගත වන ඔහුගේ පළමු විදෙස් සිනමාපටය තිරගත කිරීමට දැන් සියලු කටයුතු සූදානම්…
එළඹෙන ජුනි 28 වනදා සිට ලෝ පුරා සිනමා හල් රැසකදී ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ පළමු විදේශීය සිනමාපටය වන Paradise (පාරාදීසය) තිරගත වීම ඇරඹෙනවා.
පසුගිය වසර මුල භාගයේදී මාතලේ – රිවස්ටන් ප්‍රදේශ ආශ්‍රිතව මෙහි රූපගත කිරීම් සිදුවූ අතර ජනප්‍රිය දකුණු ඉන්දියානු සහ ලාංකීය නලු නිළියන් රැසක්ම මෙහි රංගන දායකත්වය ලබා දෙනවා.
Paradise චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ ලෝ පුරා මලයාලම් සිනමා රසිකයින් අතරෙ හි අතිශය ජනප්‍රියත්වයට පත්ව සිටින දර්ශනා රාජේන්ද්‍රන් (Darshana Rajendran) සහ රෝශන් මැතිව් (Roshan Mathew) දෙදෙනායි.
Paradise සිනමාපටයෙ හි කතා තේමාව ගෙතෙන්නේ ශ්‍රී ලංකාවේ සංචාරයකට පැමිනෙන කේරළ ප්‍රාන්තයේ තරුණයෙකු සහ තරුණියක වටායි. ශ්‍රී ලංකාව පුරා අතිශය උග්‍රව පැතිරී යන ආර්ථික අර්බුදකාරී තත්වයකදී, සිය විවාහ සංවත්සරය සැමරීම සඳහා මෙරට සංචාරයට පැමිණෙන කේරළ ජාතිකයින් දෙපළට ලංකාවේදී මුහුණ දෙන්නට සිදු වන අර්බුදකාරී සිද්ධි දාමයකුයි, Paradise චිත්‍රපටයට පාදක වී තිබෙන්නේ…
සිය සංචාරය අතරතුරේදී මුහුණු වසා ගත් සොරුන් තිදෙනෙකු විසින් මෙම කේරළ ජාතිකයින් දෙපළ බිය වද්දා ඔවුන්ගේ බඩු භාණ්ඩ සොරකම් කරන අතර, අසල තිබෙන පොලිසීයේ සහාය පැතුවත් රටේ තිබෙන ආර්ථික අර්බුදය නිසා සොරුන් ගැන සොයන්නට පොලීසියට හැකියාවක් ලැබෙන්නේ නැහැ.
අවසානයේදී ඒ ප්‍රදේශයේ වතුයායක කම්කරුවන් තිදෙනෙකු මෙම සොරකම කළ බවට පොලිසීය විසින් සැක කරන නමුත්, සැබෑවටම මෙම සොරකම කළේ ඔවුන් තිදෙනාද යන්න ඔවුන්ටත් විසඳිය නොහැකි ගැටලුවක් බවට පත්වනවා.
Paradise චිත්‍රපටයට පාදක වන්නේ මෙම අර්බුදකාරී සිද්ධි දාමයයි…
ප්‍රධාන චරිත රඟන දර්ශනා සහ රෝශන්ට අමතරව මහේන්ද්‍ර පෙරේරා, ශ්‍යාම් ප්‍රනාන්දු, සුමිත් ඉලංගෝ, සෙබස්තියන් මෝහන්රාජා, සංජීව දිසානායක, මොහොමඩ් සම්සුදීන්, රොහාන් රණතුංග, නිරාජා රාජේන්ද්‍රන්, සමන්ත මංජුල වැනි ලාංකීය ශිල්පීන් බොහෝමයකුත් මෙහි චරිත රැසක් නිරූපණය කරනවා.
මෙරට දක්ෂ චරිතාංග නලුවෙකු වන මහේන්ද්‍ර පෙරේරාගේ භූමිකාව ඉන් සුවිශේෂී වන අතර ඔහු රඟපාන්නේ බණ්ඩාර නැමැති පොලිස් නිලධාරියෙකුගේ චරිතයයි. ශ්‍යාම් ප්‍රනාන්දු විසින් සංචාරක මඟ පෙන්වන්නෙකුගේ චරිතයක් රඟපානවා.
මේ වනවිට විදෙස් සිනමා උළෙල ගණනාවක ප්‍රදර්ශනය කරමින්, ජාත්‍යන්තර සම්මාන රැසක් දිනාගන්නටත් පැරඩයිස් සිනමාපටයට හැකි වී තිබෙනවා.
බූසන් අන්තර්ජාතික සිනමා උළෙලේදී ජයග්‍රහණය කළ හොඳම ආසියානු සිනමාපටයට හිමි Kim – Jiseok සම්මානය ඉන් සුවිශේෂී යි. එමෙන්ම ප්‍රංශයේ වීසූල් අන්තර්ජාතික සිනමා උළෙලේදී සහ, ස්පාඤ්ඤයේ ලස් පල්මාස් අන්තර්ජාතික සිනමා උළෙලේදී පැරඩයිස් වෙනුවෙන් ජූරියේ විශේෂ සම්මාන දිනාගන්නටත් ප්‍රසන්න විතානගේට හැකිවුනා.
17වන ආසියානු සිනමා උළෙලේදී හොඳම චිත්‍රපටය – හොඳම අධ්‍යක්ෂණය – හොඳම සංස්කරණය – හොඳම තිර පිටපත වෙනුවෙන් නිර්දේශ වූ Paradise චිත්‍රපටය, නිව් යෝර්ක් හි ඉන්දීය චිත්‍රපට උළෙලටත් නිර්දේශ වුනා.
Jaya Jaya Jaya Jaya Hey, C U Soon, Koode වැනි මලයාලම් සිනමාපට තුළින් ජනප්‍රියත්වයට පත් වුනු දර්ශනා රාජේන්ද්‍රන් රසිකයින්ගේ හදවතට වැඩියෙන්ම සමීප වූයේ 2022 වසරේ තිරගත වූ Hridayam චිත්‍රපටයත් සමඟයි.
රෝශන් මැතිව් Anandam, Thottappan, Kappela, Moothon ආදී මලයාලම් චිත්‍රපට රැසකට රංගනයෙන් සම්බන්ධ වූ අතර ඉන්පසුව චියාන් වික්‍රම්ගේ Cobra දමිළ චිත්‍රපටයටත්, ආලියා භාත්ගේ Darlings හින්දි චිත්‍රපටයටත් සම්බන්ධ වීමට ඔහුට අවස්ථාව ලැබුනා.
චිත්‍රපටයේ නිල පූර්ව ප්රචාරක පටයට:
Paradise චිත්‍රපටයේ සංස්කරණ කටයුතු සිදු කරන්නේ ඉන්දියානු ජාතික සම්මානයෙන් පවා පිදුම් ලැබූ ශිල්පියෙකු වන A. Sreekar Prasad විසිනුයි. වර්තමාන ඉන්දියාවේ සිටින ප්‍රමුඛතම චිත්‍රපට සංස්කරණ ශිල්පියා වන ඔහු Ponniyin Selvan, RRR, Saaho, Kaala, Sarkar වැනි අතිශය දැවැන්ත නිර්මාණ ගණනාවක පසුපස සිටිනවා.
පැරඩයිස් හි කැමරාකරණය සිදුකළ රාජිව් රවී (Raajev Ravi), ප්‍රසිද්ධ මලයාලම් චිත්‍රපට රාශියකම අධ්‍යක්ෂකවරයෙක්. ඔහු විසින් අධ්‍යක්ෂණය කළ Kammatti Paadam, Annayum Rasoolum, Thuramukham ආදී චිත්‍රපට ලාංකීය ප්‍රේක්ෂකයින් අතරේ ද එක ලෙසම ජනප්‍රියයි.
The Ghazi Attack, Pizza, Yatra වැනි ඉන්දියානු චිත්‍රපට රැසක සංගීත අධ්යක්ෂණයට සම්බන්ධ වූ ක්රිෂ්ණ කුමාර් හෙවත් K, Paradise සිනමාපටයේ සංගීත නිර්මාණකරණය සඳහාත් එක්ව තිබෙනවා. රාජිව් රවී සහ ක්රිෂ්ණ කුමාර් දෙදෙනාම මීට පෙර ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ චිත්‍රපටවලට සම්බන්ධ වූ ඉන්දියානු ජාතික ශිල්පීන්.
චිත්‍රපටයේ තිර පිටපත රචනා කර තිබෙන්නේ ප්‍රසන්න විතානගේ සහ අනුෂ්කා සේනානායක එකතුවෙනි. කලා අධ්‍යක්ෂණය ධම්මික හේවාදුත්තයි. වේෂ නිරූපණය ප්‍රියන්ත දිසානායකගෙනි. දමින්ද මඩවල චිත්‍රපටයේ සහාය අධක්ෂකවරයායි.
චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ ද ඉන්දියාවේ,කේරළ ප්‍රාන්තයේ පිහිටා තිබෙන Newton Cinema විසිනුයි. අග්‍රගණ්‍ය ඉන්දියානු සිනමාවේදියෙකු වන මනි රත්නම්ගේ Madras Talkies චිත්‍රපට ආයතනයත් මෙහි නිෂ්පාදනයට සම්බන්ධ වී තිබීම විශේෂත්වයක්!
කේරළයේ මලයාලම් බසින් පමණක් නොවෙයි; දමිළ – ඉංග්‍රීසි සහ සිංහල බාසාවලිනුත් මෙය ලෝ පුරා තිරගත කරන්නට සියලු කටයුතු සූදානම්.
එළඹෙන ජූනි 28 වනදා සිට දිවයින පුරා තිබෙන සිනමාශාලා රැසකදී පැරඩයිස් චිත්‍රපටය රස විඳීමට ඔබට පුලුවන්!
Written by Kavinu Weerakkody