Sri Lanka's Best Cinema Portal

 


රන් කෙවිට 2 ළඟදීම

0
Posted June 13, 2013 by Cinema.lk A in Articles

ඉස්කෝලේ නිවාඩු කාලෙක ජනිත් නගරයේ ඉඳන් එයාගේ ගමේ යාළුවා සුරන්ගේ ගෙදරට එනවා. සිතූ පැතූ දේ ලබාදෙන කෙවිටක් ඇති අද්භූත ගොපලු යකාගෙන් වැඩ ගන්න මෙ දඟ මිතුරෝ දෙන්න අපිට මුණ ගැහුණේ රන්කවිට – 1 චිත්‍රපටියෙන්. ඔන්න ඊළඟ නිවාඩු කාලෙත් දැන් ඇවිත්. සුරන් ගමේ ඉඳන් නගරයේ ජනිත්ලගේ ගෙදරට යන්න තීරණය කරලා. නිකම්ම නිකං නෙවෙයි සුරන් යන්නේ ගොපලු යකාත් එක්කමයි. ළඟදීම තිරගත වෙන රන්කෙවිට – 2 චිත්‍රපටයෙන් දැක බලා ගන්න ලැබෙන මේ වික්‍රමය ගැන අධ්‍යක්‍ෂ උදයකාන්ත වර්ණසූරිය අපිට කිව්වෙ මෙහෙම.

 

• රන් කෙවිට 2 නිර්මාණය කරන්න හිතුවෙ රන් කෙවිට 1ට ලැබුණ ජනප්‍රියත්වය නිසාද?

අනිවාර්යයෙන්ම ඔව්. රන් කෙවිට පළමු චිත්‍රපටය අති සාර්ථක වුණා. මුළු ළමා පරපුරටම එය අලුත්ම අත්දැකීමක් වුණා. මොකද මෙතෙක් කල් සිනමාවේ නොතිබුණු විදියේ චිත්‍රපටයක්. විශේෂයෙන්ම එහි තිබුණ විශ්මිත දර්ශනවලට පුදුමාකාර විදියට දරුවෝ ඒකට කැමැති වුණා. ඒ හැම දෙයක් එක්කම රන් කෙවිට – 1 ජනප්‍රිය වුණා ඒ ජනප්‍රියත්වය තමයි මාව දෙවැනි නිර්මාණයටත් පෙලැඹුවේ.

• රූගතකිරීම් සිද්ධ වුණේ කොහොමද?

රූගත කිරීම් ආරම්භ කරලා දැනට අවුරුදු හතරක් විතර වෙනවා. මගේ අනිත් චිත්‍රපට වගේම මම ඉතාම මහන්සියෙන් කැපවීමෙන් කරපු චිත්‍රපටයක්. සමහර වෙලාවට මගේ අනිත් චිත්‍රපටවලටත් වඩා මහන්සි වෙන්න වුණා. මොකද මේකෙ තියෙන විස්මත දර්ශන රිදී තිරයට ගේනවා කියන එක ලේසි වැඩක් නොවෙයි. ඒ සඳහා අපි ලංකාවේ තියෙන ඩිජිටල් තාක්‍ෂණය යොදා ගත්තා. ඒ වෙනුවෙන් අවුරුදු දෙකක විතර කාලයක් මිඩංගු වුණා. මේක එක චරිතයක් තියෙනවා ගොපලු යකා කියලා. ඒ චරිතය තනිකරම ගොඩනැඟුවේ ත්‍රිමාන සජීවීකරණ තාක්‍ෂණය උපයෝගී කරගෙන.

• ජනප්‍රිය සිනමාවේ අත්හදා බැලීම් කරන කෙනෙක් විදියට ඇයි ඔබ ළමා චිත්‍රපටයක් කරන්න යොමු වුණේ?

ළමා කියන්නෙත් ඇත්තටම ජනප්‍රිය විනෝදාත්මක සිනමාවටම එකතු කරගන්න පුළුවන් කතා තේමාවක්. ළමා චිත්‍රපටයක් අනිවාර්යයෙන්ම ජනප්‍රිය චිත්‍රපටයක් විය යුතුයි. මම විවිධ තේමාවන් යටතේ චිත්‍රපට කරන්න කැමැති කෙනෙක්නේ. මම කවදාවත් එක තේමාවකට එක රීතියකට සීමා වුණ කෙනෙක් නෙමෙයි. මගේ සිනමා ජීවිතය ගත්තම විවිධ රීතීන්, විවිධ කතා තේමාවන් ඔස්සේ කරපු විවිධ නිර්මාණ තියෙනවා. ළමා චිත්‍රපටයත් එහෙම හිතලා හදපු චිත්‍රපටයක්. මගේ ලොකු ආසාවකුත් තිබුණා ළමයි වෙනුවෙන් හොඳ නිර්මාණයක් කරන්න. රන් කෙවිට -1 උපරිම ජනප්‍රියත්වය ලබපු නිසා ඒකම දිගුවක් ලෙස මේක කළා.

• ත්‍රිමාන සජීවීකරණ තාක්‍ෂණය ලංකාවේ සිනමා කෘතීන්වලට තවමත් ආගන්තුක මට්ටමකද තියෙන්නේ?

නව තාක්‍ෂණය, ඩිජිටල් තාක්‍ෂණය, ත්‍රිමාන සජීවීකරණ තාක්‍ෂණයෙන් තවදුරටත් සිනමාව පෝෂණය කිරීමේ අදහසින් තමයි මම රන් කෙවිට – 2 නිෂ්පාදනය කළේ. බොහෝ විට මේක සාර්ථක වුණොත් රන් කෙවිට තවත් නිෂ්පාදනයක් වෙයි. ඇත්තටම මම එතැනදී හුඟක්ම හිත යොමු කළේ අද සිනමාව සජීවීකරණ තාක්‍ෂණයෙන් උපරිම ඉහළට ගිහින් තියෙනවා. ලංකාවේ තවමත් තියෙන්නේ ආරම්භක අවස්ථාව. හොලිවුඩ් සිනමාව ගත්තම අද හැදෙන්නම ඒ වගේ සිනමාකෘති. ඉතින් අපිටත් එහෙම කරන්න බැරිකමක් නෑ. එහෙම කරන්න කරපු උත්සාහයක් හැටියට තමයි මම රන් කෙවිට හඳුන්වන්නෙ.

• ළමයි වෙනුවෙන් හැදුන රන් කෙවිට – 2 චිත්‍රපටයෙන් ඇත්තටම ළමයි වෙනුවෙන් මැදිහත්වීමක් වුණා කියලා ඔබ හිතනවද?

ළමා චිත්‍රපට කිව්වම එක එක ජාතියේ ළමා චිත්‍රපට තියෙනවානේ. හඳයා කියන චිත්‍රපටය, ගත්තොත් ඒ කාලේ තාක්‍ෂණය තිබුණේ නෑ. නමුත් ඒක ඊට වඩා බොහොම සංවේදී විදියට කතෙක් මූලික කරගෙන හදපු චිත්‍රපටයක්. ඒ වගේ විවිධාකාර ළමා නිර්මාණ තියෙනවා. මේක ඇවිල්ලා තාක්‍ෂණය පාවිච්චි කරලා කරපු නිර්මාණයක්. මෙහි එන ගොපලු යකා කියන්නේ ලාංකික ජනප්‍රවාදයේ ප්‍රචලිත අද්භූත මිනිස් සත්ත්වයෙක්. අපි කවුරුත් දැකලා නෑ. ගොපලු යකා කියන්නෙ මොකෙක්ද කියලා. නමුත් අපි ඔවුන් ගැන කතා අහලා තියෙනවා. හරකුන්ට අරක් ගත් යකෙක් විදියටත් සැලකෙනවා. දෙවියෙක් විදියටත් සැලකෙනවා. ඒ චරිතය මූලික කරගෙන තමයි මම මේ කතාව ගොඩනැඟුවේ. මේක ඇත්තටම සැබෑ කතාවක් නෙවෙයි. ෆැන්ටසි ස්ටෝරි එකක්. සිනමාව කියන්නෙම විස්මිත මායාවක්නෙ ගොඩක් දේවල් මවන්න පුළුවන්. ඒ මායාව ළමයි චිත්‍රපටයක් විදියට රසවින්දනය කළොත් මට ඒක හොඳටම ඇති.

• රන් කෙවිට – 2 රංගන දායකත්වය ගැන මතක් කළොත්…?

චිත්‍රපටයේ ප්‍රධානම ළමා චරිත දෙක නිරූපණය කරන්නේ හිෂාම් සම්සුදීන් සහ හරිත් සමරසිංහ, ඒ වගේම ආනන්ද වික්‍රමගේ සුසන්ත, චන්ද්‍රමාලි, සමන් හේමරත්න, දමිතා සළුවඩන, අසේල ජයකොඩි, ‍ෙදාන්ගයි, ආනන්ද අතුකෝරල, කුමාර තිරිමදුර, ජනේෂ් සිල්වා, චතුර පෙරේරා, සංගීතා කදානි, බෙනට් රත්නායක, මධුෂානි ජනිත්‍රි වැනි ප්‍රවීණ නළු නිළියන් රැසක් රංගනයෙන් දායක වුණා. විශේෂයෙන්ම කියන්න ඕන ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන චමින්ද වාස් මෙහි ආරාධිත රංගනයක යෙදෙනවා.

• එතකොට ප්‍රදර්ශනය වෙන්නෙ…..?

ළඟදීම සිනමා එන්ටර්ටේන්මන්ට් සහ රිද්මා මණ්ඩලයේ සිනමාහල්වලදී රන් කෙවිට – 2 ප්‍රදර්ශනය වීමට නියමිතය.

 

 

සුභාෂිණී ගුණරත්න – Mawbima

Share

About the Author

Cinema.lk A


 
Popular
 
  • 11054457_1409705939357865_5822327755300679673_n
  • 10350634_880714251944840_8448217158647864537_n
  • spring depart
  • 598556_431654790279257_1742531492_n [1024x768]
  • madras-cafe-4a
  • aba and coba
  • 174_2
  • mahin2